මානව සම්බන්ධතා බිඳවැටීම සහ පුද්ගලයින් සමාජයේ හුදකලාවීම සියදිවි නසාගැනීමට ප්‍රධාන හේතුවක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසයි.
අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
නූතන මිනිසා, අනෙක් අය සමග සිදුකරනු ලබන ගනුදෙනුවලට වඩා මෙවලම් සමග සිදුකරනු ලබන ගනුදෙනුව ප්‍රබලවීම මානව සබඳතා බිඳවැටීමට එක් හේතුවක් ලෙස මහාචාර්ය මොහොමඩ් මහීෂ් පෙන්වා දෙයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
'අපි දකිනවා සියදිවි නසාගැනීම් ලෝකයේ වැඩිපුරම වාර්තා වෙන්නේ ලෝකයේ දියුණු නූතන රටවල. නමුත් ශ්‍රී ලංකාව එහෙම දියුණු නූතන රටකුත් නෙමෙයි. නමුත් අපට පේනවා මානව සම්බන්ධතා බිඳවැටීම්, පුද්ගලයින් සමාජය අතර හුදකලාවීම මේකට එක් ප්‍රධාන හේතුවක්. එකක් තමයි අපි අපිව තේරුම් ගන්නේ නැති එක සහ අපි අනිත් අයත් එක්ක තිබෙන මේ සම්බන්ධතාවය බිඳවැටීම. මෙය පාලනය කරගැනීමට නම් අපි අපිව නැවත කියවා ගත යුතුයි. අපේ සංස්කෘතිය සාරධර්ම නැවත කියවා ගත යුතුයි. මිනිස් ආසාවන්, අභිලාශයන් බිඳවැටීම, බලාපොරොත්තු ඉටු කරගත නොහැකි වීම මේකට ප්‍රධානම හේතුව වෙනවා. එකක් තමයි තමුන්ගේ අවශ්‍යතාවය ඉක්මවා යෑම. අවශ්‍යතාවයට එහා ගිය ලොකු ආසාවන් එක්ක ජීවත්වීම.'
'ඊට පස්සේ අපි හිතනවා අපි තෘප්තිමත් නොවීම, විශාල වශයෙන් බලාපොරොත්තු තබා ගැනීම උදාහරණයක් ලෙස රටේ ආර්ථික ප්‍රශ්නයක් ඇති වුණා ඒ තුළ අපට පේනවා මේකට හුරු වෙන්න බැරි මිනිස්සු මේ රට දාලා යනවා. ඒකෙන් පේනවා ඔවුන්ගේ පෞර්ෂය තුළ අපට අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා අපි හිතනවා අනිවාර්යෙන්ම... රුද්යාඩ් කිප්ලින් කියන කවියෙක් ඔහුගේ එක පොයම් එකක කියනවා...'ඔබ සතුව තිබෙන ඔබේ සියලුදේ නැති වුණාට කමක් නැහැ, ඔබට ජීවිත් වීමට තිබෙන ආසාව නැති කරගන්න එපා. ඔබට ජීවත්වීමට තිබෙන ආසාව ඔබට තිබෙනවා නම් ඒ නැති වුණ හැමදෙයක්ම ඔබට ලබාගන්න පුළුවන්' කියලා.'
'අපිට අපේ තිබෙන ප්‍රශ්න, ගැටලුවලට විසඳුම් අප වටාම තියෙනවා. අපි සමග මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපට තිබෙනවා සොබාදහම, අපට තිබෙනවා කලාව, අපිට තිබෙනවා ආගම ධර්මය. එතකොට අපේ ප්‍රශ්න විසඳගන්න අවශ්‍ය කරන වටපිටාව, පසුබිම අපි ළඟම තියෙනවා. ඒක අපි හොයාගෙන යන්නේ තැති එක අපේ අඩුපාඩුව කියලා විශ්වාස කරනවා.'
මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා සඳහන් කර සිටියේ, ජංගම දුරකථන භාවිතය T-56 ගිනිඅවියකට වඩා භයානක බවය.
ජංගම දුරකථන හේතුවෙන් මිනිසා, මිනිසුන් අතරම තනිව ඇති බව ද ඒ මහතා පෙන්වා දුනි.
'ඉස්සර ගැමී සමාජයේ අපිට ප්‍රාථමික සමාජය සමග සම්බන්ධතා තිබුණා. අපි ආච්චිලා සීයලා එක්ක අපේ ගමේ අයත් එක්ක, වැඩිහිටියොත් එක්ක, සොබාදහම එක්ක අපි නිතරම ගනුදෙනු කළා. නමුත් අද වෙනකොට අපි මේ නූතනත්වය ඒ කියන්නේ පුද්ගල අර්ථකරණය, නූතන සමාජයේ මිනිසා මිනිස්සු එක්ක කරන ගනුදෙනුවට වඩා මෙවලම් එක්ක තියෙන ගනුදෙනුව වැඩි වෙලා. උදාහරණයක් කියනවානම් මම දැකලා තියෙනවා, දවසක් මම කුලියාපිටියේ ඉඳන් බස් එකේ එනකොට මට එහා පැත්තෙන් දුවෙක් ඇවිත් වාඩි වුණා. සාමාන්‍යයෙන් බස් එක පැය දෙකක් එනවා. එයා ඒ පැය දෙකම කිසිම කෙනෙක් එක්ක ගනුදෙනුවක් නැහැ. අඩු ගානේ බලන්නෙවත් නැහැ. ජංගම දුරකථනය එක්ක තමයි එයාගේ සම්බන්ධතාවය. ඉස්සර අපි එහෙම නෙමෙයි. එහා පැත්තේ එක්කෙනා එක්ක කථා කරනවා. මේක නූතනයි දියුණුයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සු මිනිස්සු අතර තනිවෙලා.'