මෙවර ජනාධිපතිවරණයට දැනට (අගෝස්තු 07 වන විට) අපේක්ෂකයින් 22 දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇත. ඒ අතර ස්වාධීන අපේක්ෂකයින් 10 දෙනෙකුද සහ තවමත් පිළිනොගත් පක්ෂයක් විසින් නම් කළ අයෙකු ද ඇත. බෞද්ධ භික්ෂුන් දෙනමක් ද 22 කණ්ඩායම තුළ ඇත. ඇප මුදල් තැන්පත් කිරීමට අගෝස්තු 14 දින දහවල් 12 වනතුරු කල් ඇත. අවසන්වරට 2019 නොවැම්බර් 16 පැවැත්වූ ජනාධිපතිවරණයට 35 දෙනෙකු තරග කළේය. ඒ අතර හිටපු මන්ත්‍රීවරු ගොන්නක් ද විය. මෙවර ද එම තත්ත්වයේ වෙනසක් නැත. පිළිගත් පක්ෂයක් හරහා ඉදිරිපත් වෙන අපේක්ෂකයකු රුපියල් 50,000 ක සහ අනෙකුත් අපේක්ෂකයින්ට රුපියල් 75,000 ඇප මුදල් තැන්පත් කිරීමට නියම කර ඇති තත්ත්වයක් තුළ ඉවක් බවක් නොමැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ඇත. මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙවර මැතිවරණයට අපේක්ෂකයින් කී දෙනෙකු තරග කිරීමට ඇප බැඳීමට අවස්ථාව ඇතිද? දැනට ඇප තැන්පත් කළ දේශපාලන පක්ෂ 12 අතරින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය පමණි.
නවවැනි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය (එජාපය/ලාංඡනය ‘අලියා’), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප/‘අත’) හෝ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ/‘සීනුව’) තම පක්ෂ ලාංඡනය යටතේ ඉදිරිපත් වන්නේ නැත. එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවර ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇත. ඒ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමුවරට ප්‍රධාන පක්ෂයක නායකයකු ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමුවන අවස්ථාවයි.
දේශපාලන සුළි කුණාටුවකට හසුවී සිටින ශ්‍රීලනිපය සීසීකඩ වී ඇත. එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ වැඩි කොටස වික්‍රමසිංහ ජනාධිපතිගේ කඳවුරේ ය. තවත් කොටසක් සමගි ජනබලවේගය (සජබ) සමගය. හිටපු ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන තනිවම ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් වී ඇත. ශ්‍රීලනිපයට තමන්ගේම අපේක්ෂකයෙකු නැත.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙම ජාතික මැතිවරණයට ඇප මුදල් තැන්පත් කළේ ජාතික ජන බලවේගයේ (ජජබ) අපේක්ෂකයා ලෙසිනි.
ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ද ඉහත සඳහන් කළ ලාංඡන ඡන්ද පත්‍රිකාවේ නොමැති වනු ඇත.
පළමුවැනි වරට ජනාධිපතිවරණයක් පැවැත්වූයේ 1982 ඔක්තෝබර් 20 දිනය. එදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන පක්ෂ තුනම-එජාපය (ජේ. ආර්. ජයවර්ධන/ඡන්ද 3,450,811 -52.91%), ශ්‍රීලනිප (හෙක්ටර් කොබ්බැකඩුව/ඡන්ද 2,548,438-39.07%) සහ ජවිපෙ (රෝහණ විජේවීර/ඡන්ද 273,428-4.19%%) තම ලාංඡනය යටතේ මෙවර තරග නොකරයි. තරග කළ සමස්ත අපේක්ෂකයින් ගණන 6 කි.
දෙසැම්බර් 19, 1988 පවත්වනු ලැබූ දෙවන ජනාධිපතිවරණයේදී ද එජාපය (රණසිංහ ප්‍රේමදාස 2,569,199-50.43%) සහ (සිරිමාවෝ බණ්ඩාරනායක (2,289,860-44.95%) තරග බිමේ විය. තරග කළ සමස්ත අපේක්ෂකයින් ගණන 3 කි.
අවසන් වරට 2019 නොවැම්බර් 16 පැවැත්වූ ජනාධිපතිවරණයට ද ‘අලියා’, ‘අත’ සහ ‘සීනුව’ ලාංඡනය යටතේ අපේක්ෂකයින් ඉදිරිපත් වූයේ නැත. ඒ අවස්ථාවේදී ප්‍රධාන අපේක්ෂකයින් වූ ගෝඨාභය රාජපක්ෂ (ඡන්ද 6,924,255 -52.25%), සජිත් ප්‍රේමදාස (ඡන්ද 5,564,239 -41.99%) සහ අනුර කුමාර දිසානායක (418,553 -3.16%) පිළිවෙළින් ‘පොහොට්ටුව’, ‘හංසයා’ සහ ‘මාලිමාව’ ලාංඡන යටතේ තරග කළේය. මෙවර ‘හංසයා’ අතුරුදන්ය. පිට පිට තුන්වරක් ජනාධිපතිවරණවලදී ප්‍රධාන අපේක්ෂකයින් ඉදිරිපත් කළ ‘හංසයා’ ආගිය අතක් නොමැතිවීම වෙනමම විමසා බැලිය යුතු කරුණකි. විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා (2010), මෛත්‍රිපාල සිරිසේන (2015) සහ සජිත් ප්‍රේමදාස (2019) තරග කළ එම ලාංඡනය මෙවර නැත.
‘පොහොට්ටුව’ දැඩි තැටමීමකින් පසුව නම් කළ ජනාධිපති අපේක්ෂක මෙවර ජනාධිපති සටනේ ස්ථානගත වන ආකාරය සම්බන්ධයෙන් නිශ්චිතව කිව නොහැක. පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වන බවට ඉඟි පළ කර තිබූ ආන්දෝලනාත්මක ව්‍යාපාරික ධම්මික පෙරේරා (ජාතික ලැයිස්තු මන්ත්‍රී) අන්තිම මොහොතේ ඉවත් වීම සහ ඒ වෙනුවට නාමල් රාජපක්ෂ නම් කිරීම ශ්‍රී ලංකා දේශපාලනයේ සැබෑ මුහුණුවර නැවතත් අවධාරණය කළේය. ඇත්තටම පොහොට්ටු පක්ෂයට දෙවන පෙළ නායකත්වයක් නොමැතිද? එම පක්ෂයේ මැති ඇමැතිවරුන් 100 ක් පමණ වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එකතු වීම ඇත්ත වශයෙන්ම පුදුමයට කාරණාවක් ද නොවේ. නායකත්වය එක පවුලකට පමණක් සීමාවූ දේශපාලන පක්ෂයක් මේ සියවසේ තිබිය නොහැක.
අවසන්වරට පැවැත්වූ ජනාධිපතිවරණයට සාපේක්ෂව ජජබ ප්‍රබල ඉදිරි පිම්මක් පැන ඇත. ‘මාලිමාව’ නියෝජනය කරන ධාරාවේ සැලකිය යුතු වර්ධනයක් ඇත. එය මෙතෙක් කල් ප්‍රධාන සන්ධාන ලෙස සැලකුව දේශපාලන ධාරාවන්වලට දැඩි බලපෑමක් එල්ල කර ඇත. ජවිපෙ නායකත්වය දෙන එම ධාරාව වික්‍රමසිංහට, ප්‍රේමදාසට සහ නාමල් රාජපක්ෂට එල්ල කරන තියුණු දේශපාලන අභියෝගය විමසා බැලිය යුතු වන්නේ රට බංකොලොත් කිරීමට ඔවුන්ගේ පක්ෂ වගකිවයුතු බැවිනි.
භූමියේ ඇතිවී ඇති තත්ත්වය දේශපාලනය උඩු යටිකුරු කළ 2022 ‘අරගලය’ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් කිරීම තුළ විමසිය යුතුය.
මෙවර සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ (සජබ/‘දුරකථනය’) ජනාධිපති අපේක්ෂකයාය. සජබ තරුණ පක්ෂයකි. ලියාපදිංචිය සිදුවූයේ 2020 මුල් කාලයේදීය. ඒ අවසන්වරට පැවැත්වූ මහ මැතිවරණයට තරග කිරීමටය. ආරවුල්කාරී පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තුළ සජබ ලෙස මැතිවරණ කොමිසම ලියාපදිංචි කළේ අපේ ජාතික පෙරමුණයි. ඒ පසුව අධිකරණය විසින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන ලද ඩයනා ගමගේ සහ ඇයගේ සැමියා වූ සේනක ද සිල්වා ගේ පක්ෂයයි.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඕෂල හේරත් (අභිනව නිවහල් පෙරමුණ) සජබ ලියාපදිංචියට එරෙහිව අධිකරණයේ පිහිට පැතු බව රහසක් නොවේ. රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ අධිකරණ ක්‍රියාදාමයක් තුළ ගෙදර යැවූ හේරත් එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග 2020 අගෝස්තු මහ මැතිවරණයේදී කොළඹට ‘අලියා’ ලාංඡනයෙන් තරග කළේය. එජාපයට මුළු දිස්ත්‍රික්කයෙන්ම ලැබුණේ ඡන්ද 14,000 ගණනකි. දැන් දෙදෙනාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත. මෙය පුදුමාකාර දේශපාලනයකි.
ජාතික දේශපාලන භූමියේ පිළිගත් පක්ෂ තම ලාංඡනය යටතේ තරග නොකිරීම හේතුවෙන් ‘සන්ධාන’ දේශපාලනයට වඩා වැඩි වටිනාකමක් හිමිවී ඇත. එම තත්ත්වය තුළ පක්ෂ දේශපාලනය දැඩි පරිහානියකට ලක්වී ඇත. මෑත කාලයේ ලියාපදිංචි කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය/නෙළුම් මල) සහ සජබ ද ලියාපදිංචි පක්ෂ නැවත ලියාපදිංචි ක්‍රියාවලිය තුළ බිහිවූ පක්ෂය. ඡන්දදායකයින් මිලියන 17.1 නියෝජනය කිරීමට ලියාපදිංචි දේශපාලන පක්ෂ 84 තිබීම අවධාරණය කරන්නේ උද්ගතවී ඇති අතිශය දරුණු දේශපාලන ව්‍යාකූල භාවයයි. යම්කිසි ජාතික මැතිවරණයක් ඉලක්ක කර ‘සන්ධාන’ ඇටවීමේ ක්‍රියාවලිය දේශපාලන ‘පරිසරය’ අපිරිසිදු කර ඇත.
ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 90 ළඟා වීම සහ දේශපාලන ‘පරිසරය’ දූෂණය වීම අතර සම්බන්ධතාවයක් ඇත. දැනට ලියාපදිංචි කර ඇති පක්ෂවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනයට ලක් කිරීමේ වැඩපිළිවෙළක්වත් නැත. අවම වශයෙන් මහ මැතිවරණ, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කර ඇති/නියෝජනය කරන පක්ෂ වර්ගීකරණය කිරීමක්වත් නැත. සමස්ත දේශපාලන මාෆියාව පක්ෂ සහ සන්ධාන බිහිකිරීම තමන්ට රිසි පරිදි කරගෙන යෑමට අවශ්‍ය පරිසරය පක්ෂ ලියාපදිංචි ක්‍රියාවලිය තුළම ස්ථාපිත කර ඇත.
මැති සබය නියෝජනය කරන පිළිගත් පක්ෂ අතර ද එජාපය සහ ශ්‍රීලනිපය නියෝජනය වීම පිළිවෙළින් එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට (වජිර අබේවර්ධන සහ දිස්ත්‍රික්ක ආසනයකට අන්ගජන් රාමනාතන්/යාපනය) සීමාවී ඇත. ශ්‍රීලනිපය නියෝජනය කරන ඉතිරි මහජන නියෝජිතයින් 13 දෙනා මැතිසබයේදී නියෝජනය කරන්නේ පොහොට්ටු පක්ෂයයි. ජවිපෙ නැත, ඇත්තෙම නැත. ජවිපෙ මන්ත්‍රීවරු දෙදෙනා සහ පත්කළ මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මැති සබයේදී නියෝජනය කරන්නේ ජජබ ය. මෙම තත්ත්වය එක්තරා ආකාරයකට දේශපාලන පක්ෂවල අනන්‍යතාවය නැති කිරීමට හේතු වී ඇති බව අවධාරණය කර යුතුය. කෙටිකාලීන හදිසි දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට කඩිමුඩියේ සන්ධාන පිහිටුවීම දේශපාලන පක්ෂ ක්‍රමය සුන්නද්දූලි කර ඇත.
සන්ධාන ගොඩනැඟීමේ වරදක් නැත. ප්‍රධාන පක්ෂ වටා නැතහොත් එම පක්ෂවල නායකත්වයෙන් එලෙසම අනන්‍යතාවය ආරක්ෂා කරමින් පවතින තත්ත්වය තුළ සන්ධාන ගොඩනැඟිය හැක. නමුත් ශ්‍රී ලංකා දේශපාලන මොඩලය තුළ ප්‍රධාන පක්ෂ දියකර ඇත. පක්ෂ ව්‍යවස්ථා කිසිදු වටිනාකමක් නොමැති ලියවිලි බවට පත්වී ඇත.
දැනට ක්‍රියාත්මක මැතිසබයේ පක්ෂ 15 ක් ඇත. එම පක්ෂ 15 අතර ආසන බෙදී ගොස් ඇති ආකාරය මෙසේය: පොහොට්ටු පක්ෂය (145), සජබ (54), ඉලංකෙයි තමිල් අරසු කඩ්චි (10), ජජබ (3), ඊ පී.ඩී.පී (2) සහ අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් (2). ශ්‍රීලනිපය සහ එජාපය ඇතුළු ඉතිරි පක්ෂ 9 එක ආසනය බැගින් නියෝජනය කරයි. පාර්ලිමේන්තුව මේ ආකාරයට බෙදීම රටක ස්ථාවර භාවයට දැඩි බලපෑමක් ඇති කරයි. ජාතික ලැයිස්තු ආසන 29න්, පහක් එක බැගින් එජාපය ඇතුළු පක්ෂ අතර බෙදී ගොස් ඇත.
ඇත්ත වශයෙන්ම මෙම අවාසනාවන්ත තත්ත්වය පූර්ණ විමර්ශනයකට ලක්කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළ යුතුය. මෙම දේශපාලන ක්‍රමය තුළ බංකොලොත් ශ්‍රී ලංකාවට කිසිදිනෙක ඔළුව ඉස්සිය නොහැක.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුව නම්කළ දේශපාලක පක්ෂ අතර නැත. එම පක්ෂය මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන අග්‍රාමාත්‍යවරයාට අමතරව තව මන්ත්‍රීවරු දෙකක් සිටිති. ඒ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ අග්‍රාමාත්‍යවරයාගේ එකම පුත්‍රයා වන යදාමිනිය. විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ/ආසන 5) සහ නීතිඥ උදය
ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය/ එක ආසනයයි) ගේ පක්ෂ ද අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය මෙන්ම පාර්ලිමේන්තුව නම් කළ පක්ෂ අතර නැත. ඒ එම පක්ෂ සියල්ල තම ලාංඡනය යටතේ අවසන් මහ මැතිවරණයේදී තරග කර නොමැති බැවිනි. පොහොට්ටු පක්ෂයේ යෝජනාවෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දිනේෂ් ගුණවර්ධන තම කණ්ඩායමේ පක්ෂපාතීත්වය වික්‍රමසිංහ කඳවුරට මාරු කිරීම නැවත නැවතත් අවධාරණය කරන්නේ කිසිදු සම්බන්ධතාවයක විශ්වාසයක් දැක ගත නොහැකි බවයි.
මෙවර ජනාධිපතිවරණයේදී වීරවංශ සහ ගම්මන්පිල මන්ත්‍රීවරු දෙදෙනාම මව්බිම ජනතා පක්ෂයේ ප්‍රධානී ව්‍යවසායක නීතිඥ දිලිත් ජයවීර සමග කඳවුරු බැඳගෙන ඇත. එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජයවීර ය. මීට පෙර එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කර නොමැත. ජයවීර එම පක්ෂයේ නායකත්වයට පත්වන්නේ මෑතකදීය. නායකත්වයේ වෙනසත් සමගම එම පක්ෂයේ හිටපු නායක පාර්ලිමේන්තුව ද නියෝජනය කර ඇති හේමකුමාර නානායක්කාර ජ්‍යෙෂ්ඨ නායකයා ලෙස පත්වීම ලැබීම ද වර්තමානයේ ක්‍රියාත්මක දේශපාලනයේ ලක්ෂණය.
ලියාපදිංචි කළ පක්ෂ නැවත නැවතත් ලියාපදිංචි කරන ක්‍රමවේදයක් වෙනත් රටවල ක්‍රියාත්මකදැයි සොයා බැලිය යුතුය. පොහොට්ටු පක්ෂය මෙන්ම සජබ ද මුල් නම වෙනස් කර ඇත. මව්බිම ජනතා පක්ෂය සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද එයමය.
පක්ෂ සන්ධාන ගතවීම, පක්ෂ නිශ්චිත දිස්ත්‍රික්කයක් සඳහා තරග කිරීමට සන්ධාන ගතවීම සහ එම තත්ත්වය හරහා ඇතිවිය හැකි කිසිදු පක්ෂයක් තමන්ගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුවට පත්කළ මහජන නියෝජිතයාට වග නොකියන අවස්ථාවන් බොහෝ ඇත. පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රී අලි සබ්රි රහීම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගුවට හොරෙන් රුපියල් මිලියන 78 (ලක්ෂ 780) කට වඩා වටිනාකමක් ඇති රත්තරන් සහ ‘ස්මාර්ට්’ ජංගම දුරකථන 2023 මැයි 23 පිට කිරීමට කළ උත්සාහය නිලධාරීන් ව්‍යර්ථ කළේය. ඔහුට පැනවූ රුපියල් මිලියන 7.5 (ලක්ෂ 75) දඩය වහාම ගෙවා දැමූ ‘එතුමා’ එදිනම පාර්ලිමේන්තු සැසියට ද සහභාගි විය.
පාර්ලිමේන්තුව එම මන්ත්‍රීවරයා ට අපූරු දඩුවමක් ප්‍රකාශයට පත් කළේය. එනම් මාසයක් (දින 8) පාර්ලිමේන්තුවට සහභාගි වීම තහනම් කිරීමයි. සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් පක්ෂයේ සාමාජිකයකු වූ රහීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පත් වූයේ ‘මුස්ලිම් නැෂනල් එලයන්ස්’ යන පක්ෂය හරහාය. අදටත් එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටී. ඊට හේතුව අදාළ පක්ෂ දෙකම බරපතල දඩුවමකට යටත් කළ එම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වරදට සරිලන විනය ක්‍රියාමාර්ගයක් නොගැනීමයි.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට රහීම් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය හොඳටම ප්‍රමාණවත්ය. රහීම් මන්ත්‍රී අදටත් කිසිදු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත කටයුතු කරයි. ව්‍යවස්ථාදායකය නියෝජනය කරන කිසිදු පුද්ගලයෙකුට විශේෂ වරප්‍රසාද හිමිවිය නොහැක. රහීම් මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් පසුව කීවරක් ඩුබායි හි සංචාරය කර ඇතිද? රහීම් මන්ත්‍රීවරයාට අවශ්‍ය නම් ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ හැකිය.
දේශපාලනය පිරිහීමට බොහෝ කරුණු කාරණා ඇත. එයින් ප්‍රධානතම කරුණක් වන්නේ ඡන්දයෙන් පත්වෙන මන්ත්‍රීවරු සහ පත්කළ මන්ත්‍රීවරු ශ්‍රී ලංකාවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ එක පක්ෂයකට බැඳී නොසිටීමයි. මෙවර ජනාධිපතිවරණය පිල් මාරු කිරීම නවතම තලයකට පත් කර ඇත. පොහොට්ටු මන්ත්‍රීන් 145 න්, 120 කට අධික ජනතා නියෝජිතයන් පක්ෂය හැර යෑම දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ඇත. ඡන්දදායකයා කුණු කූඩයට දමා ඇත.
දේශපාලන පක්ෂවල උන්නතිය සහ පෞද්ගලික වාසි නොතකා පාර්ලිමේන්තු ක්‍රමය පිරිසිදු කිරීමේ ක්‍රියාමාර්ගයකට රට අනිවාර්යයෙන්ම යොමු විය යුතුමය. දේශපාලන පක්ෂ ශක්තිමත් කිරීමට මැතිවරණ කොමිසමේ ද මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුය.
ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබෙන අවාසනාවන්ත තත්ත්වය වෙනස් කිරීම ජනාධිපතිවරණයේදී මාතෘකාවක් විය යුතුය.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ