Entertainment

මෙරට පළමු AI චිත්‍රපටය නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය

Sunday, 31 March 2024 - 4:38 pm

යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවද පැවසු ජනාධිපතිවරයා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාව ද සූදානම් කළ යුතු බව පෙන්වා දුන්නේය.

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අද ලෝක චිත්‍රපට කලාවට එක්වී තිබෙන අතර ඒ සමඟ ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ (30) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල අමතමිනි.

දිවයිනේ කීර්තිමත් ව්‍යවසායකයෙකු වන Kingdom of Raigam සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ මහතාගේ සංකල්පයක් මත රයිගම් ටෙලීස් මහලේකම් කාර්යාලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

2023 වසරේ තිරගත වූ ටෙලි නාට්‍ය, මාධ්‍ය වැඩසටහන් මෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති වැඩසටහන් ආදී අංශයන්ගේ විශිෂ්ටතා ඇගයීමට ලක් කරමින් කාණ්ඩ හතක් ඔස්සේ සම්මාන හැටකට අධික ප්‍රමාණයක් පිරිනැමීම මෙහිදී සිදු විය.

රයිගම් විශේෂ ප්‍රණාම සම්මාන ප්‍රදානයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වූ අතර අතුල රන්සිරිලාල් මහතා, ගිවන්ත අර්ථසාද් සහ ග්‍රේස් තෙන්නකෝන්  යන ප්‍රවීණ කලා ශිල්පීන් එහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබීය.

එමෙන්ම ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන “රයිගම් ප්‍රතිභා ප්‍රභා” ගෞරව සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහ මහතා වෙත පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ප්‍රවීණ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරා මහතා ද වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස සේමිණී ඉද්දමල්ගොඩ ද ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.

එමෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය මෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස ප්‍රසන්න ජයකොඩි විසින් අධ්‍යක්ෂණය කළ සහ වසන්ත කන්නංගර විසින් නිෂ්පාදනය කළ “එයා දැන් බැඳලා” ටෙලි නාට්‍යය ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.

වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස හිරු ටීවී සහ සිරස ටීවී යන නාලිකා ද්විත්වය ජනාධිපතිවරයා අතින් සම සම්මාන දිනා ගත් අතර, වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව සහ වසරේ සම්මානනිය නාලිකාව යන සම්මාන ද්විත්වයම දිනාගත් ස්වාධීන රූපවාහිනි ආයතනය ද ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම සම්මාන රාත්‍රිය ප්‍රවීණ ගායක ගායිකාවන් සහ ප්‍රවීණ රංගනවේදීන් විසින් ඉදිරිපත් කළ විශේෂාංගයන්ගෙන් වර්ණවත් විය.

සම්මානයට පාත්‍ර වූ සියලු කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සමඟ සමූහ ජායාරූපයකට පෙනී සිටි ජනාධිපතිවරයා, ප්‍රවීණ කලාකරුවන්, ගායක ගායිකාවන් ඇතුළු පැමිණි සිටි පිරිස සමඟ සුහද කතා බහකට ද එක්විය.

සම්මාන උළෙල ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

රයිගම් සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කළ මෙම සම්මාන ප්‍රදානෝත්සවය අද 20 වන සංවත්සරය සමරනවා. මෙම සම්මාන උළෙල සඳහා ලබා දෙන දායකත්වය වෙනුවෙන් මම රයිගම් සමූහ ව්‍යාපාරය වෙත ස්තූතිවන්ත වීමට කැමතියි.

පසුගිය විසි වසර තුළ රූපවාහිනිය තුළ දැවැන්ත විප්ලවයක් සිදුව තිබෙනවා. ජංගම දුරකථනය, ලැප් ටොප් පරිගණකය සමඟ අද රූපවාහිනිය අභියෝගයකට ලක්ව තිබෙනවා. අද Netflix, Amazon සමඟ ලෝකය ඉදිරියට යනවා. අපත් මේ සමඟ ඉදිරියට යා යුතුයි. අද අනෙකුත් රටවල් භාෂා ගණනාවකින් චිත්‍රපට නිර්මාණය කරනවා. ග්‍රීසිය වැනි කුඩා රටවලද එය සිදු වෙනවා. අපත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඒ නිසා යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීකරණය කර චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සංවර්ධන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට අපගේ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීමට අප කටයුතු කරන බව කිවයුතුයි. රූපවාහිනිය ආරම්භ කරන විට විශාල පිරිසකට ජපානයේ පුහුණු අවස්ථා ලබා දුන්නා. එම යුගයේ යශෝරාවය වැනි නව ටෙලි නාට්‍ය නිර්මාණය වීමට එය හේතු වුණා. අප නුදුරේදීම නැවත ඒ සඳහා කටයුතු කරන බවද මෙම මෙහිදී සිහිපත් කරනවා.

ඒ වගේම කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පසුගිය වසරේ සිට චිත්‍රපට කලාවට එක් වී තිබෙනවා. The Frost කෙටි චිත්‍රපටිය නිර්මාණ කර තිබෙන්නේ AI තාක්ෂණයෙන්. එම චිත්‍රපටවල තිර පිටපත පවා සකස් කර තිබෙන්නෙත් AI තාක්ෂණයෙන්. ඒ වගේම ඉන්දියාව Maharaja in Denims නිර්මාණය කරමින් සිටිනවා. එය ලංකාවටත් එනවා. අපත් මීට සූදානම් විය යුතුයි.

කෘත්‍රීම බුද්ධිය ලංකාවට හඳුන්වාදීම පිළිබඳ දැනට අප පත් කර තිබෙන කමිටුවට මම උපදෙස් ලබා දී තිබෙනවා මොරටුව විශ්වවිද්‍යාලය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සම්බන්ධ කර ගනිමින් ලංකාවේ පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කියලා. ඒ සඳහා රජයෙන් මුදල් ලබාදීමට කටයුතු කරන බව කිවයුතුයි.

මේ අයුරින් අපි නොසිතන ලෙස චිත්‍රපට කර්මාන්තය වෙනසකට ලක්වෙමින් තිබෙනවා. චිත්‍රපට සංස්ථාව නවීකරණය කරමින් සහ පළමු AI චිත්‍රපටය නිර්මාණය කරමින් අපි අලුත් ගමනකට මුල පුරමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ජේ. බී. දිසානායක  ඇතුළු ආරාධිත පිරිසක් ද ප්‍රවීණ රංගනවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්, ගායක ගායිකාවන්, කලාකරුවන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු සභාවනීය ආරාධිත පිරිසක් සම්මාන උළෙලට එක්ව සිටියහ.


Top Stories
wedivistara

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403කට නීතිමය පියවර

wedivistara

අයවැයෙන් ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට

wedivistara

UPDATE : කඳානේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

wedivistara

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද දැයෙන් සමුගනී

wedivistara

හරක් කටාගේ නඩුවේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කෙරේ

wedivistara

සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT