Local

ජනතාව වෙනුවෙන් දුක් විඳින්න මා සූදානම් ජනාධිපති රනිල් මඩකළපුව - දඹුල්ල මැතිවරණ රැලි අමතමින් කියයි

Monday, 26 August 2024 - 8:19 am

ජනතාව ජීවත් කරවීම යනු ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන හෙයින් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුව සහ දඹුල්ල මැතිවරණ ප්‍රචාරක රැලි අමතමින් පෙරේදා (24) පැවසීය.

ජනතාවට ආහාර ලබාදී ඔවුන් දුකින් මුදා ගැනීමේ වගකීම සහ යුතුකම ජනාධිපතිවරයා ලෙස තමාට පැවරී තිබෙන බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මඩකළපුව ශිවානන්දා ක්‍රීඩාංගණයේදී සහ දඹුල්ල බස් නැවැතුම්පොළේදී මෙම ජන රැලි පැවැත්වුණු අතර විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

ලොව වෙනත් කිසිම රටක් මෙතරම් වේගයෙන් බංකොලොත්බවින් මිදී නැතැයි ද රංජිත් මද්දුම බණ්ඩාර, හරිනි අමරසූරිය වැනි අයට අවශ්‍ය වූයේ යන ක්‍රමය නතර කරන්නට යැයිද කී ජනාධිපතිවරයා මැතිවරණයේදී එවැනි අය අතුගා දැමිය යුතු බව සඳහන් කළේය.

තමාගේ එකම අරමුණ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරගන්න නම් ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දිය යුතු බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මේ වේදිකාවේ මගේ ගුරුවරයකු ඉන්නවා. රාජකීය විද්‍යාලයේදී 12 -13 වසරවල ඉගැන්වූ ශිවලිංගම් මහතා මෙහි සිටිනවා. 1961 කාලේ ඔහු මට ඉගැන්නුවා. මට පමණක් නොව දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාටත් එතුමා ඉගැන්නුවා. ඉතින් රට ගොඩගැනීමේ ගෞරවයෙන් කොටසක් එතුමාටත් දිය යුතුයි. අනුර බණ්ඩාරනායක හිටපු කථානායකතුමාටත් මලික් සමරවික්‍රමටත් ඔහු ඉගැන්නුවා. මුළු කැබිනට් එකටම වගේ එතුමා ඉගැන්නුවා.

ඇතෑන්ස් අධිරාජ්‍යයාගේ ඉතිහාස කතාව පිළිබඳ එකල රාජකීය විද්‍යාලයේදී අපට ඉගැන්නුවා.

යම්කිසි බියගුලු ක්‍රියාවකින් හෝ අප සමඟ දුක් විඳින අනෙක් අය අතහැර දමා පැන ගොස් අපේ නගරයට අවමානයක් ගෙනත් නොදෙන බව එම ඉතිහාස කතාවේ කියවෙනවා.

2022දී වෙන කවුරුවත් නොමැති වූ විට මා අභියෝගය භාර ගත්තේ ඒ පුහුණුවීම තිබූ නිසයි. ඒ ඔබගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නයි. ඔබට සහන ලබා දෙන්නයි. තරුණ පරපුරට අනාගතයක් ලබා දෙන්නයි.

රටේ ස්ථාවරභාවය ලබා ගැනීමටයි. එමෙන්ම රට නිවැරදි මාවතට යැවීම සඳහායි. අප පුළුවන් ශ්‍රී ලංකා යනුවෙන් කියන්නේ ඒකයි.

මම අමාරු කාලයේ අභියෝගය භාර ගත්තා. විපක්ෂ නායකතුමාට මේ ගුරුතුමා හිටියේ නෑ. ඒ නිසා අත්දැකීම් නැතිව ඔහු පැනලා ගියා. හරි නම් විකල්ප අගමැති විය යුත්තේ විපක්ෂ නායකයි. ඔහුට ජනතාව රකින්න යුතුකමක් තිබෙනවා.

ජනතාව දුක් විඳින විට ඔහු කළේ දුව ගොස් හැංඟීමයි. ඔහු පෝලිම් ගැන ජනතාවගේ බඩගින්න ගැන හිතුවේ නැහැ. ජනතාව දුක් විඳින විට ඔහු පැනලා ගියා. ඔහු දුව ගොස් අවසන් කළේ පැරිස් ඔලිම්පික් එකෙන්.

මගේ මිත්‍ර අනුර කුමාරත් හොයාගන්න බැරි වුණා. මේ ඇමැතිවරු මා සමඟ හිටියා. අප මූල්‍ය අරමුදලට ගියා. දුෂ්කර තීන්දු ගන්න වුණා. ඒවා පහසු තීරණ නොවේ. අපට දේශීය ණය ගැනීම සීමා වුණා. මුදල් අච්චු ගහන්න බෑ.

වියදම් සඳහා ආදායම් හොයන්න වැට් වැඩි කරන්න සිදු වුණා. ආදායම් සීමා කළා. මේවා ලේහෙසි පහසු තීරණ නොවේ.

අවසානයේ ජනතාවත් ඒ බර භාර ගත්තා. මා ඔබ සැමට ස්තුති කරනවා.

අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන 13ක් නැති වී ගියා.

අප ගත් පියවර නිසා එම ආදායම ඩොලර් බිලියන 89ක් බවට පත්වුණා. එමඟින් රුපියල ශක්තිමත් වුණා. අප අස්වැසුම දුන්නා. සමෘද්ධියට අප වියදම් කළේ රුපියල් බිලියන 60යි. 16 ලක්ෂයකට එම සහනය ලැබුණා.

අස්වැසුමට අප බිලියන 183ක් වියදම් කරනවා. මේ වසරේ ලක්ෂ විසි හතරකට එම සහනය ලැබෙනවා. වකුගඩු රෝගීන්ගේ ආබාධිත දීමනා සියයට පනහකින් වැඩි කළා.

නොමිලේ සහල් දීම සඳහා රුපියල් බිලියන 11ක් වියදම් කළා.

මේවා අප දුන් සහන. රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් දහ දහසක් බවට පත් කළා. 2025 පාදක වර්ෂය ලෙස රුපියල් 25,000ක ජීවන වියදමක් ලබා දීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.

ආරම්භක මාසික වැටුප ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000 බවට පත් කරනවා.

විශ්‍රාම වැටුප් සඳහා රුපියල් 3000ක අන්තර් කාලීන දීමනාවක් දුන්නා. වැඩිහිටි ස්ථාවර ගිණුම් සඳහා පොලී අනුපාතය රුපියල් ලක්ෂ දහයට වැඩි නම් පොලිය සියයට දහයක් බවට පත්කළා. පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 5000ක් බවට පත් පත්කළා. පාසල් දියුණු කළා. උරුමය වැඩසටහන යටතේ අප දැන් සියලු දෙනාට සින්නක්කර ඔප්පු දෙනවා.

ලක්ෂ විස්සකට ඒ සහනය ලැබෙනවා. තට්ටු නිවාස ලක්ෂ දෙකහමාරකට ලැබෙනවා. වතුකරය සඳහා ඉඩම් අයිතිය ලබා දෙනවා. ලක්ෂ 25කට ඒ අයිතිය දෙනවා. උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන අරඹා තිබෙනවා. ඡන්දය නිසා එය නතර කර තිබෙනවා.

ඒ සඳහා වෙනම අධිකාරියක් ස්ථාපිත කොට ඊළඟ වසර තුනේදී එය ක්‍රියාත්මක කරනවා.

අවුරුදු දෙකක් ඇතුළත සාමාන්‍ය ආණ්ඩුවකට කරන්න බැරි වැඩක් අප කර තිබෙනවා.

මා මෙහි සිටින කාන්තාවන්ගෙන් ප්‍රශ්නයක් අහන්නම්. 2022 ජූලි මාසයේ සිට මේ වනතෙක් රතු පරිප්පු මිල සියයට 41කින් අඩුවී තිබෙනවා. තිරිඟු පිටි සියයට 29කින්ද කුකුළු මස් මිල සියයට 11කින්ද අඩුවී තිබෙනවා.

ඩීසල් මිල සියයට 28කින් අඩුවී තිබෙනවා. ගෑස් මිල සියයට තිස් එකකින් අඩුවී තිබෙනවා. බස් ගාස්තු රුපියල් හතළිහේ සිට 28 දක්වා අඩුවී තිබෙනවා. ගෑස් රුපියල් 5370 සිට 3600 දක්වා අඩු වී තිබෙනවා. ජීවන බර අඩුවී තිබෙනවා.

ගෑස් සිලින්ඩරය මගේ ලකුණ හැටියට ගත්තේ ඒකයි.

ජීවන බර සඳහා අප ලබා දී ඇති සහනවලට වඩා තවත් සහන අවශ්‍ය බව මේ කාන්තා පරපුර දන්නවා. ජීවන වියදම අඩු කරන්න නම් අප තවත් රුපියල ශක්තිමත් කළ යුතුයි. 2025 වන විට ඒ ශක්තිය ඇතිකොට තවත් සහන ලබා දෙනවා.

අවුරුදු දෙකක් මේ කටයුතු කළ නිසා තව වසර දෙක තුනකින් මේ සහන ලබා ගැනීම මට ප්‍රශ්නයක් නොවේ.

අපට දැන් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. ඖෂධ ලැබෙනවා. අප නැවත අපනයන කර්මාන්තය ක්‍රියාත්මක කරනවා. සංචාරක කර්මාන්තය දියුණුවට පත් කරනවා. වෙරුගල් සිට මඩකළපුව දක්වා අප සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. පොඩි හෝටල් වගේම ලොකු හෝටල්ද දානවා.

එමෙන්ම අම්පාරේ කල්මුණේ සිට අරුගම්බේ දක්වා දියුණු කරනවා. එමෙන්ම අප මෙහි කෘෂිකර්ම නවීකරණය ක්‍රියාත්මක කරනවා. ධීවර නවීකරණය ක්‍රියාත්මක කරනවා. ගෙදර ආදායම වැඩිකර දෙනවා. එමෙන්ම කල්කුඩා දියුණු කිරීමට කටයුතු කරනවා.

අප ණය ගත් මූල්‍ය අරමුදල ඇතුළු සංවිධාන සහ රටවල් දාහතක් සමඟ අප ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ බංකොලොත්භාවයෙන් පිටවීම සඳහායි. අපේ ණය ගෙවීමට ඒ අය 2042 දක්වා කාලය ලබාදී තිබෙනවා. එපමණක් නොව අපට ඩොලර් බිලියන දහයක සහනයක් ලබා දී තිබෙනවා. මෙය අප ඉදිරියට ගෙන යා යුතුයි.

මෙය වෙනස් කරන බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා කියනවා. මේ ගිවිසුම් වෙනස් කරන්න බැහැ. ගිවිසුම් වෙනස් කළොත් ආධාර ලබා දෙන එක නතර කරාවි. එවිට රුපියල කඩා වැටෙනවා. රුපියල ඩොලරයට හාරසීයක් විතර වේවි. නැවත පෝලිම් යුගයක් ඇතිවේවි. ගෑස් නැති වේවි.

මේ රට ගෙනියන හැටි ඔහුට තේරෙන්නේ නැහැ. අප මේ වැඩ කටයුතු කරද්දී කිසිවෙක් අපට ආධාර කළේ නැහැ. මට 2023 ඡන්ද කරන්න සල්ලි තිබුණේ නැහැ. මම ඒවායින් ජනතාවට සහන දුන්නා.

ඔවුන් මම ඡන්දෙ තියන්නේ නැතැයි උසාවියට ගිහින් නඩු දැම්මා. මේ ප්‍රශ්න මැද ඡන්දයක් තිබුණා නම් මොකද වෙන්නේ. මාස තුන හතරක් නිකරුණේ කාලය යොදවන්න සිදුවෙනවා. 2023 දවස් 365ම මට අවශ්‍ය වුණා. ඒ කාලයේ පැය 24ම අවශ්‍ය වුණා. පෝලිම් නැති වුණේ රට දියුණු වුණේ ඒ කැප කිරීම නිසයි. කිසිම රටක් මෙතරම් වේගයෙන් බංකොලොත්බවින් පිටවුණේ නැහැ. අප තමයි එය කළේ. ඒ අයට අවශ්‍ය මේ ක්‍රමය නවත්වන්නයි. ඔවුන්ට අවශ්‍ය උසාවියට ගිහින් තහනම් නියෝගයක් ගන්නයි.

අවසානයේ උසාවියෙන් මට විරුද්ධව තීන්දුවක් ගත්තා. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලා.

ජනතාව ජීවත් කරවන එක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයි. ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න මම ලෑස්තියි. මගේ යුතුකම තිබෙන්නේ ජනාධිපති ලෙස ජනතාවට ආහාර ලබාදීමයි. ඔවුන් දුකින් මුදා ගැනීමයි. ජනපති හැටියට මට ඊට වගකීමක් තිබෙනවා.

ඒ නිසා මම කරන්නේ එක ඉල්ලීමයි. ඔබේ අනාගතය ආරක්ෂා කර ගන්න රට ගොඩනඟන්න. සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරය ළඟින් කතිරේ ගහන්න. නැතිනම් ඔබට ගෑස් සිලින්ඩර් නැතුව ජීවත් වෙන්න සිදුවේවි.

ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

නැඟෙනහිර පළාතේ ජනපතිවරණ නැඹුරුව ගැන සමීක්ෂණයක් කරන ලෙස මා මිතුරු මහාචාර්යවරුන් කීපදෙනකුට පැවරුවා. ඒ හිතවත් මහාචාර්යවරුන් අද උදේ මා මුණගැසුණා. නැඟෙනහිර පළාතේ තරගය තියෙන්නේ අපේක්ෂකයන් දෙදෙනකු අතර පමණක් බවත් අනුර කුමාරට කිසිම අපේක්ෂාවක් නැඟෙනහිරින් තබාගත නොහැකි බවත් එම මහාචාර්යවරුන් මට පැවසුවා.

ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම සහ හුස්ම ගන්න පුළුවන් ආර්ථිකයක් ගොඩ ගැනීම යන හේතු මත මේ නැඟෙනහිර පළාත සියයට හැත්තෑවක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන රනිල් වික්‍රමසිංහ ජය ගන්නා බව ඒ මහාචාර්යවරුන් මට දැන්වුවා.

රටේ ප්‍රශ්න විසඳා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ රනිල් වික්‍රමසිංහ පමණයි.

ලංකාව බංග්ලාදේශයක් බවට පත් කිරීමට උත්සාහ කළ අවස්ථාව ඔබට මතක ඇති. එසේ වුණා නම් මේ රට නැවත ගොඩගන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවේ රට ගොඩගන්න ඉතිරි වුණේ මේ ලංකාවේ එකම එක මිනිහෙක් පමණයි.

ලබන වසරේ අය-වැය හදාගන්න ආකාරය පිළිබඳ මේ නැඟෙනහිරට ඇවිත් ඉලක්කම් සමඟ කියන්නැයි මා සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා.

රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා,

අපේ රටේ ආර්ථිකය කඩා වැටුණා. එසේ ආර්ථිකය කඩා වැටුණු මොහොතේ ඔබතුමා විශ්මකර්ම වැඩක් කළා. අපේ ජනතාවට ඔබ බොහෝ උපකාර කර තිබෙනවා. ජනපතිවරණයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැඟිය යුතුව තිබෙනවා. අපගේ ප්‍රධාන ඉල්ලීම එයයි. අනිවාර්යයෙන්ම ජනපති වැඩි ඡන්ද ලබා ජයග්‍රහණය කරනවා. එහි කිසිම සැකයක් නැහැ.

දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතා,

සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් වූ විට රටක් සංවර්ධනය කළ හැකියි. රනිල් වික්‍රමසිංහ ආරඹා තිබෙන්නේ ඒ ගමනයි. අප ගමන පටන් ගත්තා විතරයි මේ රියැදුරු වෙනස් කළොත් අපට නොමඟ යන්න සිදුවෙනවා. නැවත අත්හදා බලමින් ඉන්න කාලයක් නෑ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා,

මේ රටේ ජනතාව ජාතිය ආගම් භේදයකින් තොරව වැටුණු රට නැඟිටවූ රනිල් වික්‍රමසිංහ සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. රටේ අති බහුතරයක් ජනතාව මේ වන විටත් තීරණය ගෙන ඉවරයි. බංකොලොත් වූ රට රනිල් පියවරෙන් පියවර නඟාසිටුවන අයුරු අප හොඳින්ම දුටුවා. රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති ධුරයට පත් නොවුණා නම් මේ රට බංග්ලාදේශයටත් වඩා අන්ත තැනකට පත්වෙලා. රනිල් වික්‍රමසිංහ ජනපති කිරීම සඳහා ඔබ සියලු දෙනාම අත්වැල් බැඳගන්න.

සංචාරක ක්‍රීඩා හා ඉඩම් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා,

වසර දෙකකට පෙර මේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය තිබූ හැටි පොඩ්ඩක් මතක් කර ගන්න. රනිල් වික්‍රමසිංහ මේ වන විට පැවැත්වූයේ රැස්වීම් පහයි. මේ වන විටත් ඔහු සමීක්ෂණවලින් උඩටම පැමිණ තිබෙනවා. නායකයකු කියන්නේ කොන්දක් තියෙන අභියෝග භාරගන්න මිනිහෙක්. ආර්ථිකය භාර නොගෙන හැංගි හැංගි ඉඳලා ආර්ථිකය හැදුවට පස්සේ ගහන පොර ටෝක් විශ්වාස කරන්න එපා.

ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා,

පාර්ලිමේන්තු ඡන්දයෙන් රනිල් ජනපති කිරීමේ තීන්දුව කොතරම් නිවැරදි දැයි අද අපට පේන්නට තිබෙනවා. එමෙන්ම අප කියන්නටත් පෙර ඊළඟ ජනපති රනිල් බව ඈත එපිට ගම්මානවල ජනතාව පවා මේ වන විටත් තීන්දු කර හමාරයි. මේ ජනාධිපතිවරණය 21වැනිදා නොව හෙට උදේ තිවුවත් ජනාධිපති වන්නේ රනිල්. ඡන්ද ලක්ෂ හැත්තෑවකට වඩා අරගෙන එළඹෙන ජනපතිවරණයේදී රනිල් ජනපති වීම ඒකාන්තයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,

දඹුල්ල කියන්නේ ඉතිහාසයේ සිටම බෑ කියපු දේවල්වලට පුළුවන් කියූ මිනිසුන් සිටින පින්බිමක්. මේ වේදිකාවේ කිසි දිනක එකට එකතු වෙන්න පුළුවන් කියා නොසිතූ පිරිසක් අද එකට එකතු වී සිටිනවා. පරම්පරා ගණනක් අප වෙන්වෙලා සිටියා. මේ රටේ ජනතාව වින්ද දුක් වේදනාව විසින් අප එකට එකතු කරනු ලැබුවා. බොහෝ නායකයන් අර්බුද අවස්ථාවේ තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ඉදිරියට දැම්මා. ප්‍රශ්න ගැටලු මැද්දේ ත්‍රිවිධ හමුදාවේ සලාක දීමනාම සියයට පනහකින් වැඩි කරන්නට ජනපති කටයුතු කළා. මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව සමඟ අප ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට ප්‍රතිඥා දෙනවා.

මෙම ජනරැලි අවස්ථාවන්ට මඩකළපුව දිස්ත්‍රික්කයේ, නැඟෙනහිර පළාතේ ජනතාව සහ මාතලේ දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාසයකම අතිවිශාල පිරිසක් සහභාගි වී සිටියහ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT