අනතුරුව පොලොන්නරු රජ සමයේ පළමුවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1150 – 1186) විසින්ද දළදා පෙරහැර පවත්වන ලද බව ඉතිහාසයේ සඳහන්ය. තවද දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ හා කෝට්ටේ යුගයන් හිදී ඇතු පිට රිදීමුවා, රන්මුවා, කරඬු වැඩම කළ බව පෙරහැර වංශකථාව පෙන්වා දෙයි.
එය මහනුවර ඇසළ මංගල්‍යය ලෙස සමාජ ගතවන්නේ ක්‍රි. ව. 1592 සෙංකඩලගලපුර රාජ්‍යයට පත් පළමුවැනි විමලධර්මසූරිය රජතුමාගේ පාලනයත් සමගය. දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා සිට දළදා හාමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් සිට නුවර යුගයේ දළදා පෙරහැර ආරම්භ කිරීමට පළමුවැනි විමලධර්මසූරිය රජතුමා මූලිකත්වය ගත්තේය. ඒ අනුව මේ දිනවල පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ එක්දහස් හත්සිය (1700) වැනි සිරි දළදා පෙරහැරය. මෙය මහනුවර පැවැත්වෙන හාරසිය විසිවැනි (420) පෙරහැර වෙයි.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප්සිටුවීමේ චාරිත්‍රය සිව්මහ දේවාලවලදී ඉකුත් පස්වැනිදා අලුයම සිදු කෙරුණි.
සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ කප කැපීම සහ කප වැඩම කිරීම පසුගිය ඉරිදා (04) අලුයම යෙදුනු සුබ මොහොතින් සිදු විය.
මහනුවර දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය එක්ව කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීම සිදු කළේය. ඒ සඳහා තෝරාගත් ගස වටා පිරිසිදු කර තිර ඇද සුවඳ පැනින් නාවා දුම් ඇල්ලීමෙන් අනතුරුව මෙම කාර්ය සිදු කෙරුණි.
මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තෙ මහතා විසින් රිදී පොරව භාරදී අදාළ වෘක්ෂය කැපීමට අවසර ලබාදීම සිදු කළේය. ඉන් පසු සකස් කරන ලද එම කප සුදු රෙදිකඩින් ඔතා උඩු වියන් යටින් පෙරහැරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත ඇතුපිටින් වැඩම කිරීම සිදු විය.
මෙසේ වැඩම කළ කප විෂ්ණු, නාථ, පත්තිනි හා කතරගම යන සිව්මහා දේවාලවල සිටුවීම සිදු කෙරුණි.
ඒ අනුව 2024 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්ලය වෙනුවෙන් ප්‍රථමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට ඉකුත් සඳුදා දින පටන් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහැර ආරම්භ විය.
දේවාල අභ්‍යන්තර පෙරහැර යනු පෙර රජ දවස සිට දෙවියන් වෙනුවෙන් සිදු කරන ලද පූජා විධියකි. ඇසළ පෙරහැර මංගල්ලයේ ආරම්භය සනිටුහන් කරන වග දෙවියන්ට දැනුම් දීම අභ්‍යන්තර පෙරහැරේ අරමුණයි.
පෙර වර්ෂයේ දිය කැපීමෙන් හා දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව සිව් මහා දේවාල වෙත ගෙවදින ඇසළ මහ පෙරහැරේ වඩම්මවනු ලැබූ රන් ආභරණ දේවාල අභ්‍යන්තරයන්හි තැන්පත් කිරීමෙන් අනතුරුව නැවත පිටතට වඩම්මවනු ලබන්නේ නව වසරේ පෙරහැර පැවැත්වීම සඳහාය.
වසරක් පුරා දෛනික කන්නලව්වලින් අනතුරුව දෙවි හාමුදුරුවන්ගේ රන් ආභරණ පිටතට වඩම්මවා මහජනතාවට දැක බලා ගැනීමටත් වැඳුම් පිදුම් ලබා ගනිමින් ආශිර්වාද කිරීමටත් අවස්ථාව උදාවන බවට දෙවි හාමුදුරුවන් වෙනුවෙන් දැනුම් දීමක් සිදු කරන්නේ සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහැර ඔස්සේය.
විෂ්ණු, නාථ, කතරගම සහ පත්තිනි දේවාලයන්හි සිදු කරනු ලබන මෙම පූජා විධි ක්‍රමය පෙර රජ දවස රාජ නියෝග මත සිදුවන්නකි.
සිව් මහා දේවාලයන්ට ආවේණික සම්ප්‍රදානුකූල සිරිතක් වන දේවාල අභ්‍යන්තර පෙරහැර සෑම දේවාලයකම දේව ආභරණ සහිතව වැඩසිටින්නා වූ දෙවි හාමුදුරුවන්ගේ දෙවොල වටා කුඩා රන් ආභරණයක් වඩම්මවමින් තෙවිටක් ප්‍රදක්ෂිණා කරනු ලබන චාරිත්‍ර විදියකි. කුඩා රන් ආභරණය ගෞරව පූර්වකව වඩම්මවන්නේ මුරායුධ සහ හේවිසි හඬ සහිත ශබ්ද පූජා මධ්‍යයේ උඩුවියන් යටි වියන් මධ්‍යයේය. එය දින පහක් පුරා සිව් මහා දේවාල අභ්‍යන්තරයේ පැවැත්වෙයි. අභ්‍යන්තර පෙරහැරට සහභාගි වන්නේ දේවාලයේ තේවා භාර පිරිස වන දේවාල ඇතුල් කට්ටලය සහ පිට කට්ටලය පමණි.
එම පිරිස දෙවියන්ට දන්වා සිටින්නේ දළදා පෙරහැර උදෙසා රන්ආභරණ පිටතට වඩම්මවාලන්නට සූදානම් බවය.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරනු ලබන්නේ මෙම අභ්‍යන්තර පෙරහැර පහ සිව් මහා දේවාල තුළ පැවැත්වීමෙන් අනතුරුවය. මහා රන් ආභරණය පෙරහැරේ වැඩමවීමට ප්‍රථම කුඩා රන් ආභරණ මූලිකවම පිටතට ගෙන පුද පූජා සිදුකොට අහවර වූ පසුව කුඹල් පෙරහැර ආරම්භ වේ. මේ චාරිත්‍රය විෂ්ණු, කතරගම, නාථ සහ පත්තිනි යන සිව් මහා දේවාල තුළම සිදුකරනු ලබයි.
මහා රන් ආභරණය පෙරහැරේ ගමන් කරන්නේ රන්දෝලිය බෑමෙන් අනතුරුව ය.
ශ්‍රී දළදා මාලිගාවේ වතාවත්වල දී, විශේෂයෙන් ම සෑම වසරක ම ඇසළ මාසයේදී ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීමේ දී ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී පත්තිනි සහ ශ්‍රී කතරගම යන සිවු මහා දේවාලයන්ට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. ඉතිහාස කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ 1753 වර්ෂයෙන් පසු ව, එනම් කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ සිට වර්තමානය දක්වා මෙම දේවාල, ශ්‍රී දළදා පෙරහැරේ වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇති බවයි.
ඓතිහාසික මහනුවර සිවු මහා දේවාලයන්හි භෞතික පිහිටීම පිළිබඳ ව සැලකීමේ දී ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු සහ ශ්‍රී පත්තිනි යන දේවාල තුන ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ පිහිටා ඇති අතර ශ්‍රී කතරගම දේවාලය කොටුගොඩැල්ල වීදියේ නගරය මධ්‍යයට වන්නට පිහිටා ඇත. මෙයින් ශ්‍රී නාථ හා ශ්‍රී පත්තිනි යන දේවාල දෙක දළදා මාලිගා චතුරශ්‍රය තුළ ප්‍රාකාරයකින් වට වී තිබෙනු දක්නට ලැබේ.
ඓතිහාසික ඇසළ පෙරහැරේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහැර නාථ දේවාලයේ පෙරහැරයි. බෞද්ධ සාහිත්‍යයට අනුව නාථ දේවාලය කැප වී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි.
ශ්‍රී ලංකාවේ හයවැනි රාජධානිය වූ ගම්පොල සිය රාජධානිය කොට ගත් තුන්වන වික්‍රමබාහු රජු (ක්‍රි.ව. 1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා රාජපුරුෂයන් ලවා ජය භූමියක් සෙවී ය. ඒ අනුව සෙංකණ්ඩ නම් බමුණා රාජපුරුෂයන්ගේ ඉල්ලීම අනුව තමා සිටි ලෙන අසලින් ගල්කැට කීපයක් රැගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබු පඳුරකට වීසි කළ විට ඉන් සුදු හාවකු මතු වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. තවත් ගල් කැටයක් වීසි කළ විට සිවලකු මතු වූ අතර, එම සිවලා හාවා ලුහුබැඳ ගියේය. හාවා තමා සැඟ වී සිටි පඳුර අසල ගස් බෙනය දක්වා දුව විත් ආපසු හැරී සිවලා පසුපස ලුහු බැන්දේය යන සිද්ධියක් ද, කොටියකු විසින් ලුහුබඳිනු ලැබූ මුවකු මෙම භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලුහුබඳින ලද සිද්ධියක් ද යන ආශ්චර්යජනක දේ අනුව මෙය ජයභූමියක් වශයෙන් සලකා තිබේ.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරෙහි ගමන් ගන්නා දේවාල පෙරහැර අතර දෙවනුවට ගමන් කරනුයේ ශ්‍රී විෂ්ණු දේවාලයේ පෙරහැරයි. ගුරුළා සිය රථය කරගෙන දස අවතාරයෙන් පෙනී සිටිමින් සෙත් ශාන්තිය සලසන, මතු බුදු බව පතන, බුද්ධ ශාසන භාරධාරී ව ආරක්ෂාව සලසන බවට පුරාතනයේ සිට ජනතාව විශ්වාස කරන විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කැප කොට ඇත. මෙම දේවාලයට අමතර ව, ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් කැපවූ තවත් ප්‍රධාන දේවාල කීපයක් ම දිවයිනේ පිහිටා තිබේ.
කොළඹ සිට මහනුවරට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයෙහි, මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන අලුත්නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැපවුණු එවැනි පැරණිතම දේවාලවලින් එකකි. අතීතයේ දී මහනුවර ඇසළ මහා පෙරහැරට කලින් පෙරහැර පැවැත්වෙන අලුත්නුවර දේවාලයේ සිට කප පේ කොට (වතාවත් සිදු කර) සිවු මහා දේවාලයන්ට කප් සිටුවීම සඳහා භාර දුන් බව කියැ වේ.
මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැඟීමෙන් අනතුරුව එය මහා දේවාලය වශයෙන් හැඳින්වීමට පටන් ගත් අතර රජවරුන් අභිශේෂකයෙන් පසු නළල් පටය බඳින චාරිත්‍රය ඉටුකරනු ලැබුයේ මෙම දේවාලයේ දී බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වේ. ඇසළ මහා පෙරහැරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත්, පෙරහැරින් පසු සිදු වන ‘වලියක් නැටුම’ පැවැත්වෙන දේවාලය වශයෙනුත් මෙම දේවාලය සුවිශේෂ ස්ථානයක් ගනී.
14 වන සියවස දී පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර ඓතිහාසික කතරගම දේවාලය 16 වන සියවස දී වඩාත් ජනප්‍රිය විය. මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවි නමින් කැපවී ඇත. කැති නැකතින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණු ප්‍රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත්තේ ය. මුහුණු සයකින් හා අත් දොළොසකින් යුත්, රක්ත වර්ණ ශරීරයකින් යුතු කතරගම දෙවියන් මොණරා සිය රථය ලෙස යොදා ගන්නා බව ජනතාව විශ්වාස කරන අතර කතරගම දෙවියන් උදෙසා සිදු කරන නර්තන අතර කාවඩි නැටුම ප්‍රධාන තැනක් ගනී.
බොහෝ සිංහල නගර සහ ග්‍රාමවල කතරගම දෙවියන් උදෙසා පවතින පූජ්‍යස්ථාන දැකගත හැකි වේ. ඔහු එක ආරක්ෂක දෙවි කෙනකු යැයි සලකා ඇත. වන්දනාකරුවන් ඉතා අසීරු ලෙස කැලය තුළින් පයින් ගමන් කර දෙවියන්ට වූ බාර ඔප්පු කර ඇත. වන්දනාකරුවන් ලෙස ලංකාවේ සහ ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජනතාව මෙන් ම සිංහලයන් ද හැඳින්විය හැකිය.
ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැඟිලිවලින් එක් ගොඩනැඟිල්ලක් වශයෙන් ඓතිහාසික සෙංකඩගල ශ්‍රී පත්තිනි දේවාලය ද සැලකේ. පති භක්තිය රැකි උත්තම කාන්තාවක ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ ඉමහත් පූජෝපහාරයට පත්වන පත්තිනි දේව මෑණියන් සත් වාරයක් ඉපදී ඇතැයි ජනප්‍රවාදයන්හි දැක්වේ. පත්තිනි දේවිය වරෙක ජලයෙන් ද, වරෙක මලෙන් ද, වරෙක නාග කඳුළෙන් ද, වරෙක කදුරු පොත්තෙන් ද, වරෙක පිනි බිඳුවෙන් ද, වරෙක අකුණු සරෙන් ද, අවසානයෙහි අඹෙන් ද උපන් බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.
විශේෂයෙන් පත්තිනි ඇදහිල්ල තුළින් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත් සැලසෙන බව විශ්වාස කෙරෙන අතර, සැඟවුණු ලෙඩ රෝග, කුෂ්ට රෝග, සුවපත් කරගැනීමට හා දරුවන් නොමැති අයට දරුවන් ලබාගැනීමට බාර හාර වන, උත්තම දේවතාවියක් ලෙස පත්තිනි දේව මෑණියෝ ගෞරවාදරයට බඳුන් වෙති. පත්තිනි දේවාලයේ පෙරහැර ඇසළ පෙරහැරේ අවසානයට ගමන් ගන්නා දේවාල පෙරහැරයි. මෙම දේවාල පෙරහැරේ වැඩම වන ඇතා පිට බැඳි රන්සිවිගෙය තුළ තැන්පත් කර තිබෙනුයේ පත්තිනි දේව මෑණියන්ගේ රනින් නිමවූ කුඩා ප්‍රතිමා වහන්සේ නමකි.
සිවු මහා දේවාලයන් හී ඇතුල් පෙරහැර රජ දවස සිට මේ වනතෙක් නොකඩවා සිදුකොට ඇත. දළදා සමිඳුන්ට පුද පූජා කිරීම සඳහා මහජනතාවට අවස්ථාව සලස්වමින් දළදා සමිඳුන් වීදි සංචාරය කිරීම සඳහා දෙවියන්ගේ ආශිර්වාදයක් දේව ඇල්ම බැල්මත් උන්වහන්සේලාගේ වැඩමවීමත් අපේක්ෂා කරමින් දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන් වේ.
කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ, වර්තමාන රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ටී. බී. වලිසුන්දර මහතා සමග සාකච්ඡා කොට සකස් කළේ,
සමන්ති වීරසේකර