Local

මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය

Wednesday, 15 May 2024 - 4:19 pm

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කළේය.

රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත බවට සැකපිට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් මේ දිනවල රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ගේ අවධානය යොමු කෙරුණා. මෙහිදී පළමුව අවධාරණය කළ යුතුව ඇත්තේ මිනිස් ජවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණුවන බවයි.

ඒ වගේම මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 288ක් පමණ ලැබී තිබෙනවා. ඊට ආදළව මිනිස් ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියෙකු ඇතුළු කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා තිබෙනවා.

ඔවුන් මෙම මිනිස් ජාවාරම සිදු කිරීම සඳහා ප්‍රචාරක කටයුතු සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය හරහායි. එහිදී ඉහළ වැටුප් ඇතුළු විවිධ වරප්‍රසාද ගැන සඳහන් කර තිබෙනවා. මෙම මිනිස් ජාවාරමට ගොදුරුවූවන් රැල්ලක් ලෙස ඊට හසුව තිබෙනවා. ඒ නිසා මෙවැනි රැවටීම් වලට හසු නොවන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම මිනිස් ජාවාරම සම්බන්ධව තවත් තොරතුරු ඇත්නම් ඒවා 0112 401 146 අංකයට අමතා ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී යුද්ධයෙන් මරණයට පත් වූ හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ සෙබළුන්ගේ වැටුප් හා දීමනා වයස අවුරුදු 55 ඉක්මවා ලබා දීමට තීන්දු කර තිබෙන බව ද සඳහන් කළ යුතුයි. වයස අවුරුදු 55න් පසුව ඔවුන්ට වැටුප හෝ විශ්‍රාම වැටුපක් හිමි නොවීම සම්බන්ධයෙන් ඇතිව තිබූ දුෂ්කරතාව පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ත්‍රිවිධ හමුදාවට පමණක් සීමා වී තිබූ මෙම සහනය සිවිල් ආරක්ෂක නිළධාරීන්ට ද ලබාදිය යුතුව තිබෙනවා.

එනිසා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමට අප බලාපොරොත්තු වනවා.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය විසින් හමුදාවෙන් නීත්‍යානුකූල ලෙස ඉවත් නොවී සේවය හැර ගිය පිරිස් වෙනුවෙන් ලබාදුන් පොදු සමා කාලය මේ මස 20 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා. පොදු සමාව ලබාගැනීම සඳහා දැනට 15,000ක් පමණ ඉදිරිපත්ව සිටිනවා. 2024 මාර්තු මාසයේ දී හමුදාවෙන් නීත්‍යානුකූල නොවන අයුරින් ඉවත්ව ගිය සංඛ්‍යාව 357ක් ලෙස වාර්තා වී තිබෙන බව ද සඳහන් කළ යුතුයි. එසේම නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගොස් සිට නැවත සේවයට වාර්තා කළ ප්‍රමාණය 799ක් ලෙස වාර්තා වනවා. මෙය සුවිශේෂී තත්ත්වයක් බව සඳහන් කළ යුතුයි.

තවද රණවිරුවන් සඳහා ඉඩම් ලබා දීමේ දී සහන සලසා දීමටත් එය කඩිනම් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පිහිටුවා තිබෙනවා. උරුමය වැඩසටහනට සමගාමීව සිදුවන මෙම කර්තව්‍ය සඳහා ඉඩම් අමාත්‍යාංශය ද ඉහළ දායකත්වයක් ලබාදී තිබෙනවා. මෙය රණවිරු සුබසාධනය වෙනුවෙන් ගත් සුවිශේෂී පියවරක් බව සඳහන් කළ යුතුයි.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT