දළදා වහන්සේ සතර නම අතුරෙන් එක් නමක් තව්තිසා දෙව් ලොවෙහි ය. එක් නමක් නා ලොවෙහි ය. එක් නමක් ගන්ධාරපුරයේ ය. එක් නමක් ලක්දිවෙහි ය. නුවර දළදා මාළිගාව හා සම්බන්ධ ඓතිහාසික වටිනාකම් සහිත පූජනීය වස්තූන් රාශියකි. පැරැණි රජවරු, බිසෝවරු, අදිකාරම්වරු, දිසාවේවරු, අගමැතිවරු, ජනපතිවරු, මැති ඇමැතිවරු හා විදේශීය ජන නායකයන් විසින් ශ්‍රී දළදා වහන්සේට පූජා කරනු ලැබූ අනර්ඝතම පූජා වස්තු සමූහයක් ශ්‍රී දළදා මාළිගාවේ මහ අරමුදලේ ගබඩා කර තිබූ බව ද සැබෑය. එහෙත් එම පුරාවස්තු බැතිමතුන්ට හෝ සංචාරකයන්ට නැරඹීමට අවකාශයක් නොවීය. එම ගැටලුව හොඳින් තේරුම් ගත් දළදා මාළිගාවේ බස්නායක නිලමේවරයා විසින් ‘ශ්‍රී දළදා කෞතුකාගාරයක්’ ස්ථාපනය කොට ඓතිහාසික හා පූජනීය වශයෙන් වටිනාකමක් ඇති පූජා වස්තු එහි තැන්පත් කිරීමට කටයුතු කෙරිණි.
මේ වන විට ශ්‍රී දළදා කෞතුකාගාරය දැකබලා ගැනීමට පැමිණෙන විදේශීය සංචාරකයන් අති විශාලය. පසුගිය දිනෙක ශ්‍රී දළදා කෞතුකාගාරය නැරඹීමට ගොස් එයට ඇතුළුවීමට පෝලිමේ සිටීමට ද සිදු විය. එය සිත්තැවුලක් නම් නොව, ආඩම්බරයකි. සෙංකඩගල පමණක් නොව මෙරට හෙළ උරුමය ලොවට ප්‍රදර්ශනය කරන ‘ශ්‍රී දළදා කෞතුකාගාරය’ මෙරටට අභිමානයකි. හෙළ උරුමය ගැන සුපසන් හැඟීම් සමුදායක් මනසෙ පෙළගැසෙන විට කෞතුකාගාරය තුළ තැන්පත් ‘රන්සිවි ගෙය’ අසල මම නතර වෙමි. දළදා පෙරහැර මංගල්ලයන්හිදී සධාතුක ධාතු කරඬුව තැන්පත් කිරීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පූජා කරන ලද රන්සිවි ගෙයයි. (රන්හිල් ගෙය) ඉතිහාස වාර්තාවලට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් විචිත්‍රවත් අයුරින් ‘රන්සිවි ගෙය’ නිර්මාණ කරවා පූජා කර ඇත්තේ 1753 වර්ෂයේදී ය. රන්සිවි ගෙය සමඟ සධාතුක ධාතූන් වහන්සේ තැන්පත් කොට පෙරහැර කරඬුවක් ද රාජසිංහ රජතුමා විසින් දළදා පෙරහැරට පූජා කර ඇත. ශතවර්ෂ දෙකක පමණ කාලයක් මුළුල්ලේ පෙරහැර කරඬුව වඩම්වමින් මහාර්ඝ සාමයික සේවයක් ඉටු කළ ‘රන්සිවි ගෙය’ පසුකාලීනව ශ්‍රී දළදා මාළිගයේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ජාතියේ සහ බුදු සමයේ සෞභාග්‍යවත් අතීතය සිහිපත් කරන සිහිවටනයක් සේ අද එය සුරක්ෂිතව පවතී.
වසර 240 ට පෙර කාලයේදී නිර්මාණය වූ රන්සිවි ගෙය පෙරහැර කරඬුව වැඩමවීමට නොහැකි ලෙසට පුරාවෘත්තයක් බවට පත් වෙමින් තිබියදී, 1990 වර්ෂයේදී නව රන්සිවි ගෙයක් නිර්මාණය කර තිබේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් නිර්මාණය කරවා දළදා හාමුදුරුවන්ට පූජා කරන ලද රන්සිවි ගෙයට සමාන ‘රන්සිවි ගෙය’ නිර්මාණය කිරීමේ භාරදූර කටයුත්ත සම්පූර්ණ කර ඇත්තේ මිලිනා සුමතිපාල මැතිනියගේ උපදෙස් මත ජගත් සුමතිපාල ඇතුළු පවුලේ සාමාජිකයන් විසිනි. රජවරුන් විසින් සිදු කළ යුතු ශාසනික කටයුත්තක් ව්‍යාපාරික පවුලක් විසින් සිදු කිරීම විශේෂ සිද්ධියකි. එමෙන්ම එම රන්සිවි ගෙය ද මේ වන විට ශ්‍රී දළදා කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. කිසිදු වෙනසක් නැත. බැලූ බැල්මට රන්සිවි ගෙය දෙකම එකම හැඩතල ය. එය නම් විශ්වකර්ම නිර්මාණයකි. එහෙයින් එම රන්සිවි ගෙය නිර්මාණය කරවා දළදා මාළිගාවට පූජා කරන ලද ජගත් සුමතිපාල මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් එහි තතු විමසා බැලුවෙමු.
“1990 මගෙ විවාහ මංගල්‍යය සිද්ධ වෙච්ච දවසෙ සමන්තයි, ඇයගේ සහෝදරයා උපාලි කරුණාරත්නයි, මම නුවර දළදා වඳින්න ගියා. ඒ අවස්ථාවේ දළදා මාළිගාවට විශේෂ පූජාවක් කරන්න අදහසක් පහළ වුණා. එවකට සිටි දියවඩන නිලමේ නිරංජන් විජේරත්න මහතාව මුණගැහිලා මගෙ අදහස පැහැදිළි කළා. පිච්චිලා විනාශ වෙච්ච විදුලි බුබුළුවලට අලුත් ඒවා දාමු කියලා නිරංජන් යෝජනා කළා…”
‘එහෙම නෙමෙයි… විශේෂ පූජාවක් කරන්න පුළුවන් නම් හොඳයි’ කියලා මම කිව්වා…’
“නිරංජන් කල්පනා කරලා ‘හොඳ දෙයක් තියෙනවා. බලමු කරන්න පුළුවන් ද…’ කියලා දළදා මාළිගාවේ පහළ මහළෙ තැන්පත් කර තිබූ රන්සිවි ගෙය අසලට අපව කැඳවාගෙන ගියා. රන්සිවි ගෙය වහල තිබුණු වෙල්වට් රෙද්ද ඉවත් කර අපිට පේන්න සැලැස්සුවා…”
‘රාජසිංහ රජතුමා පූජා කළාට පස්සෙ මේක නවීකරණය වෙලා නෑ. දළදා කරඬුව වඩම්මවනකොට දෙවතාවක් ඈතා පිටින් වැටිලා හානි වෙලත් තියෙනවා. මේ විදිහට ම අලුත් රන්විසි ගෙයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් නම් බොහොම හොඳයි. මේ කටයුත්තට මහානායක හාමුදුරුවන්ගේ අවසරය ගන්නත් ඕන. ඇසළ පෝයට පෙර හදලා ඉවර කරන්නත් ඕන…’ නිරංජන් කිව්වා…” විවාහ වෙච්ච දවසෙ එවැනි පින්කමක් කරන්න ලැබීම මොනතරම් භාග්‍යයක්ද? මට පුදුම සතුටක් ඇති වුණා. නිරංජන්ගේ කතාව අහගෙන සිටිය සමන්ත ගොඩක් සතුටු වෙනවා මම දැක්කා. ඒත් වැඩේ බරපතළයි. ප්‍රථම රන්සිවි ගෙය ලී කැටයම්, රන්, රිදී සිතුවම් ඒ ආකාරයෙන්ම නිර්මාණය කළ යුතු බවත් නිරංජන් කිව්වා. සියුම් නිර්මාණයන් කරන්න තියෙන කාලයත් සීමිතයි. අති දුර්ලභ පින්කම මගහැර ගන්නත් බෑ. මම දෙලොවක අතරමං වුණා. කල්පනා කරමින් ඉන්නකොට පැරැණි රන්සිවි ගෙය තියෙන ආකාරයටම ලී කැටයම් සහ ලී වැඩ නිර්මාණය උපාලි කරුණාරත්න භාර ගත්තා. රන්, රිදී වැඩ සහ රන්සිවි ගෙයි ඉතිරි වැඩ ටික කරගන්න ජීවක ස්වර්ණසිංහට කතා කළා. මගෙ වාසනාවට ජීවක දළදා මාළිගාව අසලින් ගමන් කරමින් හිටියේ. විනාඩි කිහිපයකින් ජීවකත් මාළිගාව ඇතුළට ආවා. නිරංජන් වැඩේ පැහැදිළි කරලා පැරැණි රන්සිවි ගෙය රන්, රිදී නිර්මාණ ඒ ආකාරයෙන්ම කරන්න පුළුවන් ද කියලා ජීවකගෙන් විමසුවා. සීමිත කාලය ගැනත් දැනුම් දුන්නා. රන්, රිදී ඇතුළු අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදෙනවා නම් නියම කාලසීමාවට රන්සිවි ගෙය නිර්මාණය කරන්න පුළුවන් කියලා ජීවක කිව්වා. අවශ්‍ය රත්තරං, රීදි ඇතුළු අමුද්‍රව්‍ය මට දෙන්න පුළුවන්කම් තිබුණා. ඒත් අලුත් රන්සිවි ගෙය නිර්මාණය කිරීමට මල්වතු, අස්ගිරි මහානායක හාමුදුරුවන්ගේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වුණා. උන්වහන්සේ සමඟ ඒ ගැන සාකච්ඡා කිරීම නෙරංජන් භාරගත්තා. රන්සිවි ගෙය නිර්මාණය කිරීමේ සිහිනය දකිමින් මම කොළඹ ආවා. සති දෙකකට පසු නිරංජන් කතා කරලා මල්වතු, අස්ගිරි මහානායක හාමුදුරුවන්ගේ අනුමැතිය ලැබුණු බව දැනුම් දුන්නා…”
“ඒ වෙනකොට ස්වර්ණාභරණ හා මැණික් වෙළෙඳසැලක් මට තිබුණා. ඒ වෙළෙඳසැලේ තිබුණු රත්තරං බාර්වලින් පවුම් 100 ක්, රිදී කිලෝ 25 ක් රන්සිවි ගෙය නිර්මාණයට පරිත්‍යාග කළා. උපාලි කරුණාරත්න දැව නිර්මාණ පැරැණි රන්සිවි ගෙය ආකෘතියටම සිදු කළා. ලී කැටයම් නිර්මාණය කිරීමට ගං සූරිය, කොළොං ආදී දැව වර්ග යොදාගෙන තිබුණා. ජීවක ස්වර්ණසිංහ රන්, රිදී නිර්මාණ පැරැණි රන්සිවි ගෙය හැඩ තලවලටම නිම කළා. දළදා මාළිගාව තුළම රන්සිවි ගෙය වැඩ කටයුතු කරගෙන ගොස් ඇසළ පෝයට දින කිහිපයකට පෙර සියලු වැඩ අවසාන කරන්න අපේ නිර්මාණකරුවන් සමත් වුණා…” ජගත් සුමතිපාල මහතා දැඩි උනන්දුවෙන් රන්සිවි ගෙය ගැන කතා කරන බව හැඟේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නිර්මාණය කරවා දළදා මාළිගාවට පූජා කරන ලද රන්සිවි ගෙය සහ ජගත් සුමතිපාල මහතා නිර්මාණය කර පූජා කරන ලද රන්සිවි ගෙය අතර බැලූ බැල්මට කිසිදු වෙනසක් නැති බව පෙර ද සඳහන් කළේය. රන්, රීදි, ලී කැටයම් නිර්මාණ එකම හැඩතල ය. එවකට මහනුවර ආට්ස් ඇන්ඩ් ක්‍රාෆ්ට් ආයතනයේ විශේෂඥයෙක් වූ ජීවක ස්වර්ණසිංහ මහතාට ලබාදුන් උපදෙස් මත ශ්‍රී වික්‍රම රාජසිංහ නිරිඳුන් විසින් කරවා ශ්‍රී දළදා මාළිගාවට පූජා කරන ලද රන්සිවි ගෙය සතු ප්‍රමාණය, ස්වරූපය, ප්‍රමිතිය, අන්තර්ගත ලෝහ විශේෂ සියල්ල ඒ ආකාරයෙන්ම පැවතෙන ආකාරයට නව රන්සිවි ගෙය නිර්මාණය කිරීමට ඔහු සමත් විය. සාම්ප්‍රදායික කැටයම් ශිල්පීන්, වඩු කාර්මිකයන් සහ වාත්තු ශිල්පීන් ද එම නිර්මාණ කටයුත්ත සඳහා සම්බන්ධ කරගෙන තිබුණහ. ඒ සියලුදෙනාගේ විශේෂඥ දැනුම, කැපවීම සහ ජගත් සුමතිපාලයන්ගේ අධිෂ්ඨාන ශක්තියෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් එදා ඉදිකොට දළදා මාළිගාවට පූජා කළ රන්සිවි ගෙයට සර්වප්‍රකාරයෙන් සමාන රන්සිවි ගෙයක් නිර්මාණයක් කෙරිණි. එම නිර්මාණයේ සාර්ථකත්වයට මල්වතු පාර්ශ්වීය මහානායක රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සි මහා නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක පාලිපානේ චන්ද්‍රනන්ද නාහිමියන්ගේ උපදෙස්, නිරන්තර අධීක්‍ෂණය ආශීර්වාදයක් වී ඇති බව ද සැබෑය. සියලුදෙනාගේ අධිෂ්ඨාන ශක්තිය, නොපසුබට වීර්ය සහ විශ්වයේ ආශීර්වාදයෙන් නිර්මාණය කෙරුණු නව රන්සිවි ගෙය මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගේ ආශීර්වාදයෙන් දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මහතාගේ සැදෑබර ප්‍රශංසාවත් ලබමින් මිලිනා සුමතිපාල මහත්මිය සහ පවුලේ සාමාජිකයන් විසින් 1990 වර්ෂයේ පෙරහැර මංගල්‍යයට පෙර දළදා මාලිගාවට පූජා කර ඇත. එම ඓතිහාසික උත්සවයට එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ආර්යාව හේමා ප්‍රේමදාස ඇතුළු විශාල ආරාධිතයන් පිරිසක් ද සහභාගි වී සිටියහ. එවකට එම රන්සිවි ගෙය නිර්මාණය කිරීමට වැය වී ඇති සම්පූර්ණ මුදල රුපියල් ලක්‍ෂ 20 ට වැඩිය.
“මුදල් නොව වැදගත්, සතුට. මුදල් ඕන තරම් හම්බ කරන්න පුළුවන්. ඒත් මෙවැනි පින්කම් කර සතුටු වෙන්න ලැබෙන්නෙ කලාතුරකින්. අදටත් ඒ පින්කම මතක් වෙනකොට සිත සතුටින් පිරෙනවා. ඒ සදාකාලික සතුට උරුම කර දුන් හිටපු බස්නායක නිලමේ නිරංජන් විජේරත්න මහතාට, මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන්ට අදටත් මම පින් දෙනවා. ඒ පින්කම සාර්ථක කරගැනීමට උපාලි මල්ලි ද විශාල කැපකිරීමක් කළා. ඒ පින්කම මතක් කරලා අදටත් මම ඔහුට ස්තූති කරනවා…” රන්සිවි ගෙය පූජා කිරීමේ පින්කම සිහිපත්වීම ම සතුටක් බව ඔහුගේ කතාවෙන් හැඟේ. ඔහු සමඟ සම්මුඛ වී කතා කළා නම් රන්සිවි ගෙය ගැන තවත් තතු විත්ති සාකච්ඡා කිරීමට ඉඩ තිබිණි. අනතුරුව අපි කේ. මීගහකුඹුර මහතා මුණගැසී දළදා පෙරහැර ගැන තතු විත්ති සාකච්ඡා කළෙමු. ඔහු පවසන ආකාරයට 1828 වර්ෂයෙන් පසු පෙරහැරේ දළදා කරඬුව වඩම්මවා නැත. දළදා කරඬුව වෙනුවට පෙරහැර වඩම්වනුයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පූජා කරන ලද සාධාතුක කරඬුවය. එමෙන්ම වර්තමානයේ පැවැත්වෙන පෙරහැර මංගල්‍යය සකස් වී ඇත්තේ 1753 වර්ෂයේ සිට ය.
පළමුවෙනි විමල ධර්මසූරිය රජතුමා (ක්‍රි.ව. 1592 – 1604) සිය රාජ්‍ය උරුමය තහවුරු කරගැනීම සඳහා සීතාවක කුරුවිට, දෙල්ගමුව රජමහා විහාරයෙහි වැඩ සිටි දළදා වහන්සේ සෙංකඩගල පුරයට වැඩම වීය. ස්වකීය රාජ මාළිගය ආසන්නයේම ඉතා මනහර මාළිගාවක් ඉදිකරවා දළදා වහන්සේ එහි වඩා හිඳුවා නන් විධ පූජාවෙන් මුනිඳු දළදා පිදූහ. එම පළමු දළදා මාළිගාව පෘතුග්‍රීසින් විසින් විනාශ කළ හෙයින් දෙවන රාජසිංහ රජු පැරැණි දළදා මාළිගාව තිබූ තන්හිම දෙවන දළදා මාළිගාවක් දෙමහල් කොට ගොඩනැගීය. එම දළදා මැඳුර ද ලන්දේසීන් විසින් විනාශ කළෙන් ඔහුගේ පුත් දෙවන විමලධර්මසූරිය රජතුමා මහනුවර තෙවන දළදා මාළිගාව තෙමහල් කොට කර වීය. එම දළදා මැඳුර ජරාජීර්ණ වී තිබෙනු දුටු ඔහුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සිව්වන දළදා මාළිගාව දෙමහල් කොට ඉදි කළේය. අද දැක ගැනීමට ඇත්තේ එම ඉපැරැණි දළදා මාළිගාවය. ශ්‍රී දළදා වහන්සේ නිරුපද්‍රිතව වැඩ සිටිනුයේ එම මාළිගාව තුළ ය. සෙංකඩගලපුරය ලෝක උරුම නගරයක් බවට පත් වී ඇත්තේ ශ්‍රී දළදා මාළිගාව නිසා ය.
බොහෝ වේලාවකට පසුව ශ්‍රී දළදා කෞතුකාගාරයෙන් පිට මං වූ මම නැවත වරක් නිවන නමැති අමාරසය ගෙන දෙන්නා වූ දෙව් මිනිසුන් විසින් පුදනු ලැබූ දළදා වහන්සේ නමදිමි.