Sports

මම ඊළග ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කරනවා

Tuesday, 30 July 2024 - 10:12 am

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු

2024 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙරේදා (28 දා) සමත්වූවාය.

ශ්‍රී ලංකාව මීට පෙර 2004, 2005, 2006 සහ 2008 වසරවලදී පැවැති එක්දින ආසියානු කුසලාන තරගාවලිවලදී මෙන්ම 2022 වසරේ පැවැති විස්සයි-20 ආසියානු කුසලාන තරගාවලියේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදුවිණි.

ඒ සෑම අවස්ථාවකම මෙන්ම මෙවරද අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාව වීම විශේෂත්වයක් විය. 2004 වසරේ දී ඇරඹි ආසියානු කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකාව ශූරතාව ලබාගත් පළමු අවස්ථාව ද මෙය විය.

තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු –

ප්‍රශ්නය – ලකුණු 166ක් කියන්නෙ ලොකු ගාණක්, කොයි වගේ බරක්ද ඔබට දැනුණෙ?

පිළිතුර – “මම දන්නවා විකට් එක ගොඩක් හොඳයි කියල බැට් කරන්න. ඒ නිසා මම මගේ සුපුරුදු විදියට බැට් කළා. මට දුර්වල පන්දුවක් වැටුනහම ගැහුව. ඒ ගොල්ලන්ගෙ ෆීල්ඩ් එකට අනුගත වෙලා මම බැට් කළා. මට හර්ෂිතාගෙන් ලොකු සහයෝගයක් ලැබුණ. එයාට පුළුවන් බෝලෙ බලල එයා පහරවල්වලට ගියා. මම හිතුව අපට දිනන්න පුළුවන් කියලා, හැබැයි ලේසි වුණේ නැහැ. ඉන්දියාව කියන්නෙ ගොඩක් හොඳ කණ්ඩායමක්, මම හිතනව අද අපි හොඳම ඉනිම ක්‍රීඩා කළා කියලා. ඒ නිසා අපට දිනන්න පුළුවන් වුණා.”

ප්‍රශ්නය – ඔබ දැවී ගියේ මහත් කණස්සල්ලෙන්, ඒ වෙලාවේ ඔබට දැනුණේ මොනවද?

පිළිතුරු – “මම උත්සහා කළේ තව ලකුණු 20ක් හෝ 30ක් ඉක්මනට ලබාගන්න. එහෙම වුණා නම් මම දන්නව මගේ කණ්ඩායමේ ඉන්න තරුණ ක්‍රීඩිකාවන් කොහොම හරි තරගය ඉවර කරනව කියල. ඒ නිසා තමයි මම දැවී යන විට කණස්සල්ලෙන් ගියේ. ඒ කොහොම වුණත් ඔවුන් ක්‍රීඩා කළ විදිය මාව පුදුමයට පත් කළා. විශේෂයෙන් හර්ෂිතා, කවීෂා ක්‍රීඩා කළ විදිය.

ප්‍රශ්නය – ඇත්තටම බයක් දැනුණේ නැද්ද අවසාන මහා තරගය ගැන?

පිළිතුරු – “ඇත්තටම බයක් දැනුනෙ නෑ. මම දන්නව අපි හොඳටම ක්‍රීඩා කළොත් ලෝකයේ ඉන්න ඕනෑම කණ්ඩායමක් පරාජයට පත්කළ හැකි බව. විශේෂයෙන් ඉන්දියාව කියන්නෙ ලේසියකට ගන්න පුළුවන් කණ්ඩායමක් නෙමෙයි. අපි ඔවුන් වෙනුවෙන් ගොඩක් ප්ලෑන් හැදුව, සමහර ප්ලෑන් හරිගියා, සමහර ප්ලෑන් වැරදුන, එහෙම වුණා කියල අපි ගේම් එක අතෑරියෙ නෑ. හැම වෙලාවෙම අපි ගේම් එකේ එල්ලිල හිටිය. අන්තිමට අපිට දිනන්න පුළුවන් වුණා.”

ප්‍රශ්නය – ප්‍රේක්‍ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නෙ?

පිළිතුර – “ඇත්තටම ගොඩක් සතුටුයි, ලොකු ප්‍රේක්‍ෂකයන් ප්‍රමාණයක් අද තරගය නැරඹීමට පැමිණ තිබුණ. ඒක මටත් මගෙ කණ්ඩායමටත් ලොකු ශක්තියක් වුණා. ඇත්තටම මට ගොඩක් සතුටුයි මගේ රටේ මිනිස්සුන්ට ක්‍රිකට්වලින් සතුට ගෙනත් දෙන්න පුළුවන් වුණ එක ගැන. ගොඩක් අයගෙන් සුබපැතුම් හම්බවුණ. ගොඩක් අය ආශිර්වාද කළා. ඒ සෑම දේකටම සියලු දෙනාටම ස්තුතියි කියල කියන්න ඕන.”

ප්‍රශ්නය – ලෝක කුසලානය සඳහා මොන වගේ සූදානමක් ද තියෙන්නෙ?

පිළිතුර – “ලෝක කුසලානය කියන්නෙ වෙනස්ම තරගාවලියක්. අපි ලෝක කුසලානය ලේසියට ගන්නෙ නෑ. අපි ඉන්න කාණ්ඩයෙ ගොඩක් හොඳ කණ්ඩායම් ඉන්නෙ. අපි ඒ නිසා ලේසියට ගන්නෙ නෑ. තරගයෙන් තරගය හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනව.”

ප්‍රශ්නය – තව කොපමණ කාලයක් ඔබ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවාද?

පිළිතුර – “මට පුළුවන් කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනව. මගේ බලාපොරොත්තුව ඊළඟ ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීම” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය.

සිසිර ජයසූරිය

 
 


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT