Local
අපරාධ සැකකරුවකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමේ බලපෑම
Friday, 14 March 2025 - 7:35 am
ඊයේ දිනයේ වාර්තා වුණ ලිංගික අපයෝජන සිදුවීමට අදාළව මේ වන විට සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තියනවා.. ඒ සැකකරුගේ ඡායාරූප ගණනාවක් (හඳුනාගැනීමේ සියලු ලක්ශනත් විස්තර කරමින්) සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා. බොහෝ අය එහෙම කරන්නේ සැකකාර තැනැත්තා රටම දැක ගැනීම තුළින් ඔහුට ඇතිවෙන ලැජ්ජාව නිසා වින්දිත තැනැත්තියට යම් ආකාරයක සාධරණයක් ඉටු වෙනවා කියලා හිතාගෙන ඒත් ඇත්තටම වෙන්නේ ඕකේ අනිත් පැත්ත මේ ක්‍රියාව නිසා සිදුවන පළවෙනි අගතිය සිදුවෙන්නේ වින්දිත කාන්තාවට... ඒ කොහොමද? අපි ඒක මෙහෙම පැහැදිලි කරගමු.. අපි හිතමු යම් අපරාධයක් සිදුවෙනවා..ඒ අපරාධය කරන මිනිහව අපරාධයට ලක්වෙන කෙනා හෝ වෙනත් කෙනෙක් හොඳටම දකිනවා..හැබැයි ඒ අපරාධකාරයා ඔහු හෝ ඇය මීට කලින් අඳුරන කෙනෙක් නෙවෙයි.. ඒ වගේ අවස්ථාවක පොලීසියට මේ අපරාධකාරයගේ නමක් ගමක් අනාවරණය කරගන්න බැරි වෙනවා.. ඒ නිසා පොලීසිය විසින් තමන්ට විමර්ශනය අතරතුර අනාවරණය වෙන තොරතුරු පස්සේ ගිහින් තමයි අපරාධකරුවාව හොයාගන්න වෙන්නේ... එහෙම ගිහින් පොලීසිය අපරාධ සැකකරුවෙක් අත් අඩංගුවට ගත්තා කියලා හිතමු.. මෙතෙනදි යම් ප්‍රශ්නයක් මතුවෙනවා.. ඒ තමයි පොලීසිය අපරාධය නොදුටුව නිසා පොලීසිය දන්නේ නෑ මේ තැනැත්තා ගැනද අපරාධයට ලක්වුණ තැනැත්තා හෝ ඇසින් දුටු සාක්ශිකාරයා කිව්වේ කියලා.. ඒ නිසා ඔවුන්ට සිද්ධ වෙනවා ඒ අපරාධය ඇසින් දුටු කෙනාගෙන් දැනගන්න 'මූ ද මිනිහා' කියලා හැබැයි ඒක පොලීසියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. මොකද පොලීසිය විසින් සැකකාරයා අල්ලගෙන ගිහින් 'මූ ද මිනිහා' කියලා ඇසින් දුටු සාක්ශිකරුවන්ගෙන් ඇහුවම 'මූ නෙවෙයි මිනිහා' වුණත් විවිධ හේතු ගණනාවක් මත ඔවුන් පෙළබෙන්න ඉඩ තියනවා 'ඔව් මූ තමයි මිනිහා' කියන නිගමනයට එන්න.. ඒ වැරැද්ද නොවෙන්න ඕන නිසා තමයි නීතිය විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටු කියලා ජාතියක් හඳුන්වලා දීලා තියෙන්නේ.. මේක සිදු කරන්නේ පොලීසියේ ඉල්ලීමෙන් සහ ගරු මහේස්ත්‍රාත්වරයාගේ නියමයෙන්..
මේකෙදි මොකද වෙන්නේ?
මේකේදි සැකකරුවාව විතරක් සාක්ශිකරුට පෙන්වන්නේ නෑ..සැකකරුවාට සමාන හැඩහුරුවක් තියන කීප දෙනක් අතර තමයි සැකකරුවා ස්ථානගත කරන්නේ..ඊට පස්සේ තමයි සාක්ශිකරුව කැඳවගෙන ඇවිත් ඒ සියලු දෙනා අතර සැකකරු ඉන්නවද කියලා අඳුරගන්න කියන්නේ...
එතකොට ඒ හඳුනාගැනීමේ විශ්වසනීයභාවයක් සහ ඒ මත රඳා පැවැතීමේ හැකියාවක් තියනවා..
මොකද එක්කෙනෙක්ව පොයින්ට් කරලා මූද කරේ කියල අහනවට වඩා 'මේ අතරින් කරපු කෙනා අඳුරගන්න කියන එකේ' reliability එක වැඩියි...
මේ වගේ අවස්ථාවක ඇසින්දුටු සාක්ශිකරු මගින් සැකකරුව හරියටම හඳුනගත්තොත් අන්න ඒ හඳුනාගැනීම සාක්ශියක් ලෙස නඩු විභාගයේදී අනුකූල කරගන්න පුළුවන්..
හැබැයි මේ පෙරෙට්ටු ආවට ගියාට කරන්න බෑ..
ඒකට විනිශ්චිත ක්‍රියාපටිපාටියක් තියනවා..
ඒ තමයි
⭕ සැකකරුව බන්ධනාගාරයට එක්කගෙන යන්න ඕනත් එහි සිට නැවත පෙරෙට්ටුව සඳහා ගෙන එන්න ඕනත් හිසේ සිට දෙපතුල දක්වා ආවරණය කරගෙන ( බොහෝ දෙනෙක් හිතන්නේ මේක සැකකරුට ආදරේට කරන දෙයක් කියලා..නමුත් ඒක නෙවෙයි මේක පිටුපස තියන හේතුව..ඒකට හේතුව තමයි පෙරෙට්ටුවට ඉදිරිපත් කරන්න කලින් පොඩි වෙලාවකට හරි සැකකරුව ඇසින් දුටු සාක්ශිකරුගේ ඇස ගැටුණොත් ඒකෙන් හඳුනා ගැනීමේ reliability එකට හානි වෙන්න පුළුවන්..මොකද මිනිස් මනස කියන්නේ අමුතු එකක්..සමහරවිට තමන් සිද්ධිය වෙලාවේ දැක්ක කෙනා අමතක වෙලා ගිහින් සැකකරුගේ රූපය මනසට කාවැදිලා ඇත්තටම අපරාධකරුවෙකු නොවන සැකකාරයෙක්ව වුණත් වරදවා මතකයේ තැන්පත් කරගන්න ඉඩ තියනවා)
⭕ පෙරෙට්ටුවට වෙනම ආවරණය කරපු කාමරයක් සකස් කරලා ඒකට සැකකරුගේ ස්වරූපයට,වයසට සමාන පුද්ගලයන් කීපදෙනෙක්වම දාලා ඒ අතර ඕනම ස්ථානයක සැකකරුට හිට ගන්න කියනවා..
⭕පෙරෙට්ටුව ආරම්භ කරන වෙලාවේදී ඉන්න පුළුවන් වෙන්නේ මහේස්ත්‍රාත්වරයාට, අධිකරණ කාර්‍ය මණ්ඩලයේ කීප දෙනෙකුට,සැකකරුගේ නීතිඥවරයාට සහ බන්ධනාගාර නිලධාරින් වැනි සීමිත පිරිසකට පමණයි.
⭕ පෙරෙට්ටු කාමරය සූදානම් කරාට පස්සේ
එච්චර වෙලාවක් වෙනම ස්ථානයක රඳවලා තියාගෙන හිටපු ඇසින් දුටු සාක්ශිකරුව පෙරෙට්ටු කාමරයට ගෙනැල්ලා ආපු කාරණය පහදලා දෙනවා..
⭕ඊට පස්සේ ඇසින් දුටු සාක්ශිකරුට පුළුවන් කවුද සැකකරු කියලා අත තියලා හඳුනාගැනීම කරන්න..
මේ කියපු දේවල් වලින් මොනමහරි දෙයක් නිසි ආකාරව සිදු නොවුණොත් පෙරෙට්ටුවකදී හඳුනාගැනීමේ සාක්ශිමය වටිනාකම අඩු වෙනවා..
ඒ කියන්නේ සැකකරුට පුළුවන් නඩු විභාගයේදී කියන්න පෙරෙට්ටුවට හරියාකාරව සිදු නොවුණ නිසා ඒ හඳුනාගැනීම මත පදනම් වෙලා මට දඩුවම් දෙන එක අසාධරණයි කියලා..
ඉතින් මේක කියෙව්වම තේරෙන්න ඕන අත් අඩංගුවට පත්වෙච්ච සැකකාරයගේ ඡායාරූප සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙද්දී ඒකෙන් මේ නඩුවට වෙන හානිය..
ඒ හානිය කොච්චරද කියනවනම් ඒකේ ප්‍රතිඵලයක් විදියට අතට අහුවුණේ ඇත්තම අපරාධකාරයා වුණ අවස්ථාවක වුණත් ඔහුව නිදහස් වෙන්නත් පුළුවන්..
ඉතින් කණගාටුවෙන් වුණත් කියන්න ඕන මේ සිද්ධියේදී වින්දිත කාන්තාවට යුක්තිය ඉටු කිරීමේ චේතනාවෙන් ඔබ ශෙයාර් කරපු ඒ ෆොටෝස් වලින් ඒ හානිය සිදුවෙලා තියන බව..
මේ එක කරුණක්..
ඊළඟ කරුණ තමයි විමර්ශන නිලධාරීන් විසින් යම් යම් අවස්ථාවලදී අත් අඩංගුවට ගැනීම සිදු කරන්නේ ඇත්තම අපරාධකරුවා නොවෙන්න පුළුවන්..
ඔහුට අපරාධ සැකකරු කියන්නේ ඒ නිසා..
මොකද එතන තියෙන්නේ 'මූ තමයි කරන්න ඇත්තේ' කියන සැකය පමණයි..
ඔහුව වරදකරුවා වෙන්න නම් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වලා ඔහු වැරදිකරු කියල අධිකරණයක් විසින් තීරණය කරන්න ඕන..
එතකන් පවතින්නේ 'innocent until proven guilty' කියන පූර්ව නිගමනය..
ඇත්තටම මේක මූලික අයිතිවාසිකමක්..
ඉතින් මේ විදියට ෆොටෝස් ශෙයාර් කරන එකෙන් වෙන්නේ සැකකරුවටත් විශාල අගතියක්..
මොකද යම් දවසක ඒ අපරාධය සිදු කරේ ඔහුයි කියලා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු නොවීම මත ඔහු නිදහස් වුණත් අපරාධකරුවෙක් ලෙස ලේබල් කරලා හතවටේ ශෙයාර් වුණ ඡායාරූප නිසා ඔහු සමාජය ඉදිරියේ අපරාධකරුවෙක්ම පමණයි..
(එහෙම පොලීසි වලින් වැරදි මිනිස්සු අත් අඩංගුවට ගන්නේ නෑ කියලා හිතනවනම් ඔබට සේයා ඝාතන නඩුව මතක් කරගන්න පුළුවන්)
මේ ලිපිය නඩු තීන්දු, වගන්ති, ව්‍යවස්ථා සහ legal terms නැතුව ඉතාම සරලව ලිව්වේ නීතිය ක්ශේත්‍රයේ නැති අනෙත් මිනිස්සුන්ට තේරෙන්න ඕන නිසා
ඒ නිසා මේ පැහැදිලි කිරීම ඔස්සේ අකමැත්තෙන් වුණත් මේ යථාර්ථය පිළිගන්න..
- පමුදි අනුත්තරා වීරසූරිය-