Sports

ඔර්ලාගේ මංගල ශතකයෙන් අයර්ලන්තයට ඉතිහාසගත ජයක්

Saturday, 17 August 2024 - 10:31 am

විශ්මි ගුණරත්නගේ වාර්තාගත ශතකය ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට්ගේ මංගල ශතකයට යට වෙද්දී මින් දින කිහිපයකට ඉහතදී ඉතිහාසයේ පළමු වරට විස්සයි20 තරගයකින් ශ්‍රී ලංකා කාන්තා පිල පරාජය කළ අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඊයේ තවත් ඉතිහාසගත ජයක් වාර්තා කළේ දෙපිල අතර පළමු එක්දින තරගය කඩුලු 3කින් ජය ගනිමිනි.

අයර්ලන්ත කාන්තා පිල එක්දින පිටියේදී ශ්‍රී ලංකා පිල පරාජය කළ පළමු අවස්ථාව ඊයේ සටහන් කර ගත්තේ බෙල්ෆාස්ට්හිදීය. එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 260කට සීමා කළ අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 49.2කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී තිබියදීය.

සිය මංගල එක්දින ශතකය ලෙස ලකුණු 122ක් රැස් කරමින් ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් අයර්ලන්තය ජයග්‍රහණය කරා ගෙන ගිය අතර, පන්දු 111ක් වැය වූ ඇයගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය.

ඇමී හන්ටර් පන්දු 45කින් 42ක් සහ සාරා ෆෝබ්ස් පන්දු 46කින් ලකුණු 30ක් ඉනිමට එක් කළ අතර, තෙවැනි කඩුල්ලට ඇමී සමඟින් ලකුණු 47ක් එක් කළ ඔර්ලා පසු පෙළ පිතිකාරිනියන් සමඟ එක්ව කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය. එහිදී ජේන්

මැගියර් සමඟින් 8 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 50ක සබඳතාවක් ගොඩනැඟීමට ඔර්ලාට හැකි වූවාය. පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි කඩුලු 4ක් බිඳ දැමුවාය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේදී නයිකා චමරි අතපත්තු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය ද ඉනිමට අගනා ආරම්භයක් දුන් විශ්මි ගුණරත්න වාර්තා රැසක් සමඟ සිය මංගල එක්දින ශතකය රැස් කළාය.

දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 19ක් රැස් කළ හර්ෂිතා දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි හසිනි පෙරේරා ලකුණු 122ක සබඳතාවක් ගොඩනැඟමින් විශ්මිට අගනා සහායක් දුන්නාය. තමා මුහුණදුන් 97 වැනි පන්දුවෙන් මංගල එක්දින ශතකය වාර්තා කළ විශ්මි ඊලඟ පන්දුවෙන් දැවී ගියේ ආර්ලින් කෙලීගේ පන්දුවක් හමුවේ ලෙයා පෝල් උඩ පන්දුවක් රැක ගැනීමෙනි. හසිනි පන්දු 72කින් ලකුණු 40ක් රැස් කළේ හතරේ සහ හයේ පහරක් බැගින් එල්ල කරමිනි. සුගන්දිකා කුමාරි ලකුණු 18ක් ඉනිමට එක් කළ අතර, සචිනි නිසංසලා සහ අනුෂ්කා සංජීවනි ලකුණු 17 බැගින් ඉනිමට එක් කළාය. පන්දු යැවීමේ ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ඇලනා ඩල්සෙල් සහ

ආර්ලින් කෙලී කඩුලු 2 බැගින් දවා ගත්හ.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය හෙට (18) බෙල්ෆාස්ට්හිදීම පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා පිල – 260/8 (ඕවර 50) විශ්මි ගුණරත්න 101, හසිනි පෙරේරා 46, හර්ෂිතා සමරවික්‍රම 19, සුගන්දිකා කුමාරි 18 (ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් 25/3, ඇලනා ඩල්සෙල් 37/2, ආර්ලින් කෙලී 42/2)

අයර්ලන්ත කාන්තා පිල – 261/7 (ඕවර 49.2) ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් නොදැවී 122, ඇමී හන්ටර් 42, සාරා ෆෝබ්ස් 30, රෙබෙකා ස්ටොකල් 19 (කවිෂා දිල්හාරි 54/4. අචිනි කුලසූරිය 24/1, සචිනි නිසංසලා 44/1, උදේශිකා ප්‍රබෝධනි 47/1)

විශ්මි වාර්තාගත ශතකය

අයර්ලන්තයට එරෙහිව ඊයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ශතකයක් රැස් කිරීමට ආරම්භක පිතිකාරිනි විශ්මි ගුණරත්න සමත්වූවාය.

මේ ශතකය සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් පිටියේදී ශතකයක් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්වීමට විශ්මිට හැකි විණි. ඊයේ වන විට ඇයගේ වයස අවුරුදු 18යි දින 360ක් වූ අතර, ඇයට පෙර මේ වාර්තාවට හිමිකම් කීවේ අවුරුදු 19යි දින 154කදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් ශතකයක් වාර්තා කළ චමනි සෙනෙවිරත්නය. ඇය 1998 වසරේ එම ශතකය රැස් කර තිබිණි. පිරිමි කණ්ඩායම වෙනුවෙන් අඩුම වයසකදී ශතකයක් රැස් කර ඇත්තේ අවුරුදු 19යි දින 187කදී අසංක ගුරුසිංහ වන අතර, ඒ 1986 වසරේ පාකිස්තානයට එරෙහිවය.

ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ දෙවැනි ක්‍රීඩිකාව සහ ඕනෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ශතකයක් වාර්තා කළ තෙවැනි ක්‍රීඩිකාව බවට ද විශ්මි පත්වූවාය.

කාන්තා එක්දින ඉතිහාසයේ මින් පෙර ශතක වාර්තා කර තිබුණේ නායිකා චමරි අතපත්තු පමණි. ඇය එක්දින ශතක 9ක් රැස් කර තිබේ. ජාත්‍යන්තර පිටියේදී චමරි අතපත්තුට (එක්දින 9යි, විස්සයි20 3යි) අමතරව චමිනි සෙනෙවිරත්න 1999 වසරේ පාකිස්තානයට එරෙහිව ටෙස්ට් ශතකයක් වාර්තා කර තිබේ.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT