Entertainment

සාධාරණ, සරල, ජනහිතකාමී මැතිවරණ හා දේශපාලන ක්‍රමයක අවශ්‍යතාව

Tuesday, 20 August 2024 - 9:24 am

රටෙහි වත්මන් බරපතළ තත්ත්වයට පාදකවී ඇති මෙම මුල්බැසගත් ප්‍රධානතම සාධකය වන නුසුදුසු, දූෂිත දේශපාලනඥයන් බිහිකරන, දේශපාලන හා මැතිවරණ ක්‍රමවල දෝෂ නිවැරදි කර නීතිගත කිරීම, තව වසර 05 කින් කල් දැමීමට ඉඩදිය නොහැක. එබැවින්, ළඟ එන විධායක ජනපතිවරණ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රකාශනවල අඩංගු කළ යුතු, ‘සැබෑ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක්’ සඳහා අනිවාර්ය පූර්ව අවශ්‍යතා වන ඡන්ද සමානාත්මතාවය, කුසලතාවය, නිරවද්‍යතාවය සහ සහේතුකභාවය මත පදනම්ව, යාවත්කාලීන කළ සරල සහ සාධාරණ ‘සිස්ටම් චේන්ජ්’ පැකේජයක් අවශ්‍යය.

පසුගිය දශක කිහිපය මුළුල්ලේ, අපගේ පාර්ලිමේන්තුව තුළ, බලයට කෑදර, ඥාති සංග්‍රහය පෙරටු කරගත් නිසි සුදුසුකම් හා කුසලතාවයන් නොමැති ගතානුගතික දේශපාලනඥයන්ට රජ කිරීමට ඉඩ සැලසූ අපේ දේශපාලන හා මැතිවරණ ක්‍රමයේ දුර්වලතා නිසා, 2022 හි ‘සාමකාමී නව පරපුරේ අරගලය’ යනුවෙන් ඓතිහාසික ජනතා නැඟිටීමක් සමග රටෙහි ‘බංකොලොත්භාවය’ ද ප්‍රකාශයට පත් කරන ලදී.

එසේම කපටි දේශපාලකයන් විසින් වැඩි බහුතරයක් හිමි ඊනියා ‘ස්ථාවර ආණ්ඩුවක’ අවශ්‍යතාවය උලුප්පා දක්වමින්, ‘ඡන්ද සමානාත්මතාවය’ විකෘති වන, සංකීර්ණ ව්‍යවස්ථා ප්‍රතිපාදන හරහා, ප්‍රධාන පක්ෂවලට වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගැනීමේ උපාය, ලියුම්කරු ඇතුළු තවත් කිහිප දෙනකු විසින් ජාතික පුවත්පත් මෙන්ම රජය විසින් 2015 සිට පත් කරන ලද මහජන කමිටු, කොමිෂන් සභා සහ ඡන්ද දායකයන් සඳහා කැප වූ රාජ්‍ය නොවන සංවිධාන හරහා ජනගත කර ඇත.

එනිසා රටෙහි වත්මන් බරපතළ තත්ත්වයට පාදකවී ඇති මෙම මුල්බැසගත් ප්‍රධානතම සාධකය වන නුසුදුසු, දූෂිත දේශපාලනඥයන් බිහිකරන, දේශපාලන හා මැතිවරණ ක්‍රමවල දෝෂ නිවැරදි කර නීතිගත කිරීම, තව වසර 05 කින් කල් දැමීමට ඉඩදිය නොහැක. එබැවින්, ළඟ එන විධායක ජනපතිවරණ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රකාශනවල අඩංගු කළ යුතු, ‘සැබෑ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක්’ සඳහා අනිවාර්ය පූර්ව අවශ්‍යතා වන ඡන්ද සමානාත්මතාවය, කුසලතාවය, නිරවද්‍යතාවය සහ සහේතුකභාවය මත පදනම්ව, යාවත්කාලීන කළ සරල සහ සාධාරණ ‘සිස්ටම් චේන්ජ්’ පැකේජයක් ප්‍රතිලාභ සමග පහත සඳහන් පරිදි පියවරාත්මකව ඉදිරිපත් කරමි.

  1. ජාතික මැතිවරණ කොමිසම (NEC) විසින් දැනටත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන, පක්ෂවල ජාතික ඡන්ද ප්‍රතිශතය අනුව, සරලව සහ නිවැරදි ලෙස ජාතික ආසන 196 බෙදාදීම. 2. එක් එක් පක්ෂය විසින් හිමි කරගත් එම ජාතික ආසන සංඛ්‍යාව, තම දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිශතය අනුව, එක් එක් දිස්ත්‍රික්කයට අනුයුක්ත කිරීම. 3. නව පරපුරේ ඉල්ලීම අනුව, පක්ෂ/කණ්ඩායම් විසින් සුදුසු අපේක්ෂකයන් කුසලතා පදනමින් තේරීම සහතික කිරීම සඳහා, NEC විසින් රට පුරා ඒකීයත්වයක් රැකෙන පරිදි සකස්කරන ලද, පොදු සුදුසුකම් නිර්ණායක මාලාවක් හා ලකුණු ලබාදෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක්, මැතිවරණ කොට්ඨාශ මට්ටමින් සිදුකිරීම. 4. එම කුසලතා ලකුණු අනුව සකස් කළ මූලික මැතිවරණ කොට්ඨාශ උප – ලැයිස්තු, තම දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තු ලෙස ඉදිරිපත් කිරීම. දිස්ත්‍රික්ක 10ක හෝ ඊට අඩුවෙන් තරග කරන පක්ෂවලට එක් මධ්‍යම සංචිත නාමයෝජනා ලැයිස්තුවක් (ජවිපෙ විසින් කලින් සිදුකළ පරිදි) කුසලතා අනුපිළිවෙළින් NEC වෙත ඉදිරිපත් කිරීමට අවසර දීම. 5. තවද සියලුම මැතිවරණ කොට්ඨාශ නාමයෝජනා උප – ලැයිස්තු සහ මධ්‍යම සංචිත නාමයෝජනා ලැයිස්තුවල සෑම නම් 5ක් ඇතුළත, අවම වශයෙන් කාන්තාවන් එක් කෙනකු සහ වයස අවුරුදු 35 ට අඩු තරුණ/තරුණියන් එක් කෙනකු සිටීම අනිවාර්ය කිරීම මගින් පාර්ලිමේන්තුවේ සහ පළාත් සභා තුළ කාන්තා සහ තරුණ නියෝජනය (20% බැගින්) සහතික කිරීම. ඒ සඳහා, සම්මුඛ පරීක්ෂණ ක්‍රමය තුළ, කාන්තාවන්ට සහ තාරුණ්‍යයට විශේෂ ලකුණු ලබා දීම. 6 ඉහත සඳහන් මූලික නාම යෝජනා ලැයිස්තු, දිස්ත්‍රික් මැතිවරණ සහකාර/ නියෝජ්‍ය කොමසාරිස්තුමාගේ සටහන් ඇතිව NEC ට ඉදිරිපත් කළවිට, ඒවා NEC විසින් නිශ්චිත කාල රාමුවකට යටත්ව, මහජන විරෝධතා හා අනුමැතිය සඳහා භාෂා 3 කින් ජාතික පුවත් පත්වල පළ කිරීම. 7 ඉන් අනතුරුව, NEC ගේ සටහන් හා උපදෙස් අනුව පක්ෂ විසින් තම අවසාන නාම යෝජනා ලැයිස්තු සංශෝධනය කර NEC වෙත යවා, අවසන් අනුමැතියෙන් පසුව ඉහත සඳහන් පුවත් පත්වල නැවත පළ කිරීම. (මෙහි ඇති විශේෂ ප්‍රතිලාභ නම්, 1 ඥාති සංග්‍රහය හා බල තණ්හාව පෙරටු කරගත් කළු සල්ලිකාර නුසුදුසු ‘හෙන්චයියන්’ වෙනුවට, මහජන පූර්ව අනුමැතිය ඇතිව, සැබෑ කුසලතා මත පදනම් වූ ‘රට පළමු-දේශපාලන වෘත්තිකයන්’ පත්වන හෙයින්, ඔවුහු සම්මුතිවාදී වාද විවාද හරහා පාර්ලිමේන්තුවේ ගෞරවය පවත්වා ගනිමින් ‘රටට හා සැමට ජය’ තත්ත්වයක්ද උදාකරනු ඇත. ඒ අනුව නව පරපුරේ ප්‍රධාන ඉල්ලීම හා ප්‍රශස්ථ මැතිවරණ ක්‍රමයක සියලු අරමුණු නිසි ලෙස ඉටු වීම. 2 අනෙක් විශේෂ වාසිය වනුයේ, 2017 හි අනුමත වූ සංකීර්ණ මිශ්‍ර ඡන්ද (MMV) ක්‍රමය තුළ, මේ දක්වා සිදු කළ නොහැකිවූ, ඡන්ද සමානාත්මතාවය පිළිඹිඹු කරන ආසන වෙන්කිරීමක් තහවුරු කරන අතරතුර, පැරණි FPP ක්‍රමය යටතේ විශාල ඡන්ද දායකයන් පිරිසකගේ අපේක්ෂාව වූ මැතිවරණ කොට්ඨාශ 160 ට අවම වශයෙන් මන්ත්‍රී 01 බැගින් පත් කිරීමට අමතරව විශාල ඡන්ද කොට්ඨාශ සඳහා අතිරේකව 36 දෙනකු පත් කිරීමට ද ඇති හැකියාවයි.

උදාහරණයක් වශයෙන්, මැතිවරණ කොට්ඨාශ 15ක් ඇති කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉහත අංක 02 අනුව, පක්ෂ ‘A’ ට ආසන 11ක් ලැබී, මැතිවරණ කොට්ඨාශ 9 ක් ජයගෙන ඇත්නම්, එම මැතිවරණ කොට්ඨාශ උප ලැයිස්තුවල ඉහළින්ම සිටින නාමිකයන් (බහු මන්ත්‍රීන් ඇතුළුව) පළමුව තේරේ. ඉතිරි ආසන ඇතොත්, ඒවා සඳහා, පක්ෂය විසින්, වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති කොට්ඨාශවල නාමිකයන්, අදාළ කුසලතා ලැයිස්තුව අනුව තේරීමෙන් ආසන 11 සම්පූර්ණ වේ. එලෙසම, කොළඹ දිස්ත්‍රික් ආසන හිමිවන අනික් පක්ෂවලටද, මන්ත්‍රීන් පත්වනු ඇත. මධ්‍යම සංචිත ලැයිස්තු ලියාපදිංචි කර ඇති ආසන හිමි පක්ෂවලට, තම අභිමතය අනුව තම සංචිතයෙන් මන්ත්‍රීන් නම් කිරීමට ඉඩ දිය හැක. මන්දයත්, පෙර සඳහන් කළ පරිදි, සියලුම අපේක්ෂකයන් ‘රට පළමු- දේශපාලන වෘත්තිකයන්’වනු ඇති බැවිනි. ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 29 පහත අරමුණු ඉටුකිරීම සඳහා පත්කර ඇති බැවින්, ඔවුනට මැතිවරණ කොට්ඨාශ පැවරීම යෝග්‍ය නොවේ.)

8 ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29 දෙනා, ‘සෙනෙට්’ මට්ටමේ බහුශ්‍රැතයන් ලෙස, බහු ප්‍රජා ජනගහන අනුපාතයන්ද සලකා බලා, දිස්ත්‍රික් මට්ටමේ නම් කිරීම සඳහා, නිශ්චිත, විනිවිද පෙනෙන නිර්ණායකයන් ඇතුළු ක්‍රමවේදයක් පැනවීම. ඒ අනුව, ඡන්දයෙන් තේරීපත් නොවූ මැතිවරණ අපේක්ෂකයෝ මෙම කාණ්ඩය යටතේ සුදුස්සන් නොවෙති. 9. සුපරීක්ෂණය කළ හැකි සහ විගණනය කළ හැකි ක්‍රියාකාරී සැලැස්මක් සහිතව, යෝජිත පක්ෂ මැතිවරණ ප්‍රකාශනය. නඩු පැවරිය හැකි ලේඛනයක් බවට සන්නාම ගතකිරීම. 10. සියලු පක්ෂවල ප්‍රධාන කාර්යාල වගකිව යුතු, ‘පොදු ප්‍රචාරක වියදම් සූත්‍රයක්’ නියම කිරීම තුළ, ‘සමතලා පිටියක්’ සහතික කරන අතර, ප්‍රචාරණය සඳහා මූල්‍ය ශක්තිය නොමැති නියම සුදුස්සන්ටද අවස්ථාවන් ලබා දීම. (මෙය දැනට නීතිගත කර ඇත.) 11. දැඩි සුදුසුකම් සහ ඉහළ මුදල් තැන්පතු අවශ්‍යතා පනවා, කූට හා තැරැව්කාර දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අධෛර්යමත් කිරීම. 12. පැති මාරු විගඩම තහනම් කර, අදාළ ලියාපදිංචි කුසලතා ලැයිස්තුවේ සඳහන් අනුරූප නමකින් මන්ත්‍රී පුරප්පාඩු පිරවීමට ඉඩ දීම. 13. පළාත් සභා හා මහා මැතිවරණ සමග අදාළ ජනමත විචාරණද එක දිනක පැවැත්වීම හා විද්‍යුත් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීම හඳුන්වාදීම.

අනෙක් ප්‍රතිලාභ මැතිවරණ හා දේශපාලන පරිපාලන ක්‍රමවල, උපරිම වියදම් ඵලදායිතාවයක් සහතික කිරීම සඳහා ඉහත සරල ක්‍රමවේදය, විශේෂයෙන්ම ‘බංකොලොත් රටක’ මහා භාණ්ඩාගාරයට දරා ගැනීමට පහසු වන සේ සකස් කර ඇති අතර, ඉන් ලැබෙන තවත් ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ.

I. ශ්‍රී ලාංකිකත්වය, සාධාරණත්වය සහ නිරවද්‍යතාවය දක්වා විහිදෙන ‘ඡන්ද සමානාත්මතාවය’ පිළිබඳව, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රකාශනයට සහ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පූර්ණ ලෙස අනුගත වීම තුළ, ගෝලීය ප්‍රශංසාවට ලක්වීම. II. කාන්තා/තරුණ, හා අඩු වශයෙන් ඡන්ද ලබා ගත් පක්ෂද නිසි ලෙස ඇතුළත් කර ගැනීම, හා ක්‍රමයේ විනිවිදභාවය ඇතිකිරීම තුළ, ‘ශ්‍රී ලාංකීය’ ජනතාවගේ සහ සියලුම පක්ෂ/ කණ්ඩායම්වල අපේක්ෂාවන් මෙන්ම ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වීම. III. ‘මිශ්‍ර ඡන්ද (MMV) හා ‘මනාප’ ක්‍රම අහෝසි කිරීම නිසා, මැතිවරණ ක්‍රියාවලිය ඉතා සරල හා වඩාත් අර්ථවත්වී ප්‍රචණ්ඩත්වයෙන්ද තොර වනු ඇත. iv. දූෂිත මනාප ඡන්දය ලකුණු කිරීම අහෝසි වීම තුළ, ‘බූරුවන්’ගේ ලැයිස්තුවලින් ‘අශ්වයන්’ තෝරා ගැනීමේ අසීරු කාර්යයෙන් සරල ඡන්දදායකයන් නිදහස් වේ. v. සංකීර්ණ MMV ක්‍රමය යටතේ අත්දුටු විවාදාත්මක අනියම් අනුපාත, ප්‍රමාදයන්ට තුඩු දෙන ‘’Overhang’ ප්‍රශ්න හා ආසන සංඛ්‍යාව අයාලේ වැඩිවීම මතු නොවනු ඇත. vi. සෑම මැතිවරණයකදීම, ඡන්ද දායකයන් විසින් යෙදිය යුත්තේ එක ‘X’ සලකුණක් පමණක් බැවින් එක දිනක මැතිවරණ 01කට වඩා පැවැත්විය හැක. vii. පක්ෂ ප්‍රචාරණ වියදම්, කාලය සහ ශ්‍රමය අපතේ යෑම විශාල ලෙස අඩු වනු ඇත. viii. මැතිවරණ ප්‍රතිඵල මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රකාශ කළ හැක. ix. සමස්ත මැතිවරණ අභ්‍යාසය සාමකාමී හා පරිසර හිතකාමී වනු ඇත. x. වර්තමාන පාර්ලිමේන්තු සභා ගැබ තුළ, කැපවූ ‘සෙනෙට්’ ඝනයේ බහුශ්‍රැත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29ක් සඳහා ඉඩකඩ ඇති නිසා, දෙවැනි ස්ථරයක් ලෙස බාහිරව ‘සෙනෙට් සභාවක්’ වැනි අමතර වියදම් සහිත ආයතනයක් අවශ්‍ය නොවේ. xi. ‘පක්ෂ මැතිවරණ ප්‍රකාශනය’ නඩු පැවරිය හැකි ලේඛනයක් බවට සන්නාම ගත වීම තුළ, එය කෙරෙහි විශ්වාසය තබා තම ඡන්දය තීරණය කිරීමට ජනතාව පෙළඹෙනු ඇත. xii. ‘හතු පිපෙන්නා’සේ මතුවන කූට හා තැරැව්කාර දේශපාලන පක්ෂ අධෛර්යමත් කිරීම; ‘පක්ෂ – මාරු’ මගඩිය අහෝසි කිරීම හා බහු මැතිවරණ පැවැත්වීම වැනි රචකගේ ‘අනෙකුත්’ සිස්ටම් චේන්ජ් යෝජනා තුළින්, මැතිවරණ ක්‍රමයේ ගුණාත්මක භාවය සහ ඵලදායිතාවය ඉහළ නැදවෙනු බව නිසැකය. xiii. දිස්ත්‍රික් මට්ටමින් අචල ආසන සංඛ්‍යා තීරණය කර, පළාත් සභා මැතිවරණය සඳහාද මෙම ක්‍රමය යොදා ගැනීමට හැකි වීම. xiv. කාර්යාලීය වියදම්, කාලය හා ශ්‍රමය බෙහෙවින් අඩුවේ.

‘ජනතාව පදනම් කරගත් සහේතුක දේශපාලන පරිපාලන ක්‍රමයක්’

  1. විධායක ජනාධිපති ක්‍රමය වසර 02න් අහෝසි කර, දෙමුහුන් ආකාරයේ විධායක නොවන ජනාධිපති ක්‍රමයක් ඇතිකිරීම, 2. අවශ්‍ය නම් වැඩි බලතල සහිතව පළාත් සභා ‘කොට අදින අලි’ බවට පත්කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය සහ ප්‍රතිලාභ සහේතුක කිරීම; 3. පළාත් පාලන මැතිවරණය නිර්දේශපාලනීකරණය කර, සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) විසින් යෝජිත ‘ජන සභා’ තුළින් ‘ග්‍රාම රාජ්‍ය’ සංකල්පයට අනුව ‘ග්‍රාම නිලධාරි වසම්’ (GND) මට්ටමින්, ස්වාධීන අපේක්ෂකයන් නම් කිරීම සහ 4.‘තිරසාර ජාතික කැබිනට් ක්‍රමයක්’ ස්ථාපනය කිරීම සඳහා, පක්ෂ ලබාගත් ජාතික ඡන්ද% අනුව ඇමැති ධුර පිරිනැමීම තුළින් සමස්ත දේශපාලන ක්‍රමය සහේතුක කර, ජාතික සමගිය සහ සාමය ඇතිකිරීම සඳහා ‘ශ්‍රී ලාංකිකත්වය’ පෝෂණය කිරීම ලියුම්කරුගේ මුඛ්‍ය පරමාර්ථය වේ.

ප්‍රතිලාභ

1 වසර 30කට පසුව, පිළිකුලට ලක් වූ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වේ.

2 පාර්ලිමේන්තුව එකම උත්තරීතර ආයතනය බවට පත් වේ.

3 ජනාධිපති වරණයක අධික පිරිවැය දැරීමෙන් බදු ගෙවන්නන් නිදහස් වේ.

4 LG යාන්ත්‍රණයේ සැබෑ අරමුණු සාක්ෂාත් වී, ජනතාව පදනම් කරගත් සුහුරු පාලනයක් ඓතිහාසික යථාර්ථයක් බවට පත්වනු ඇත.

5 පරිධියේ ජනතාවට අපක්ෂපාතී, දූෂිත නොවන, අර්ථවත් හා කාර්යක්ෂම සේවයක් ලැබේ.

6 දූෂිත දේශපාලඥයින් බෝකරන වත්මන් තෝතැන්න වෙනුවට රට පළමු-දේශපාලන වෘත්තිකයන් සඳහා නවතවානක් නිර්මාණය වේ.

7 LG ආයතන ජනතාව වෙත දරන නාස්තිකාර වියදම් නැවතී, සම්පත් ඉතිරි වේ.

8 පළාත් පාලන මැතිවරණය ඉවත් කිරීමත් සමග බදු ගෙවන්නන්ට රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි වන අතර මැතිවරණ දිනයේ පමණක් අපතේ යන මිනිස් පැය මිලියන ගණනක් ද රටට ඉතිරි වනු ඇත.

10 සමබර පළාත් සංවර්ධනය නිසා ජාතික සංහිඳියා ප්‍රයත්නයන් සාර්ථක වනු ඇත.

11 පරිධියේ සිටින පළාත් සභා නියෝජිතයින්ට නිසි පිළිගැනීමක් ලැබෙනු ඇත.

12 පා.මන්ත්‍රීවරුන් 225දෙනාගේ කාර්යභාරය

නීති/ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික/විමධ්‍යගත අයවැය සහ මූල්‍ය පරිපාලනයට සීමා වීම තුළ ඔවුන්ගේ ඵලදායිතාවය වැඩිවේ.

13 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන සහ වරප්‍රසාද ලබාදීම සහේතුක කළ හැක.

14 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් අවශ්‍ය නොවනු ඇත.

15 පහළ සිට ඉහළට දිවෙන ප්‍රවේශය රටෙහි ප්‍රධාන තීරණ ගන්නා ආයතනය දක්වා දීර්ඝ වීම.

16 ශ්‍රී ලාංකිකත්වය කුළුගැන්වීම තුළින් ජාතික සංහිඳියාව පෝෂණය කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීම.

17 ජාතිවාදී පක්ෂ විසින් අලවා තිබූ, ලංකාවේ ඇත්තේ සිංහල රජයක් යන ලේබලය ඉවත් වේ.

බර්නාඩ් ප්‍රනාන්දු –
හිටපු නියෝජ්‍ය මහා කළමනාකරු – ලංකා බැංකුව
විද්‍යුත් තැපෑල: jbvfe ando@yahoo.com


Top Stories
wedivistara

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කියනකල් ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නෙ - නලින්ද ජයතිස්ස

wedivistara

ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා කුඹුරු අක්කර 3,000 ක් ජලයෙන් යටවෙයි

wedivistara

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

Trending
wedivistara

UNP හා සමගි ජන බලවේගය එක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ යෝජනාවට SJB අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 20% කින් පහතට

wedivistara

එජාප - සජබ සහ සෙසු පක්ෂ එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක්

wedivistara

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

wedivistara

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුක​ළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවත​ට

wedivistara

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රජයෙන් සහන පැකේජයක්


NEWS ALERT