ලොව ඉහළ මට්ටමේ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් පර්යේෂණ මධ්‍යස්ථානයකි සිංගප්පූරුවේ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ආයතනය. එහි එක් පර්යේෂණාගාරයක ප්‍රධාන විමර්ශක තනතුර දරන මහාචාර්ය ජයන්ත ගුණරත්න සහ ඔස්ට්‍රේලියාවේ ට්‍රෝබ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිරුමා ආරුමුගම් සමග එක්ව මෙහෙයවන ලද පර්යේෂණ කණ්ඩායම සිදුකළ සාර්ථක පර්යේෂණයකින් නවතම සොයා ගැනීමක් සිදුකර ඇත.
එය නම් කඩින්කඩ නිරාහාරව සිටීමේ නැතහොත් අතරමැදි නිරාහාර (Intermittent Fasting) ක්‍රමවේදය සම්බන්ධ පර්යේෂණයකි. මෙම ක්‍රමවේදයෙන් හදවත් සෞඛ්‍යය වැඩි දියුණු කරන්නට හැකි බව ඔවුන් විසින් සොයා ගැනුණි.
මීට පෙර අප දැනුවත්ව සිටියේ හෘද සෞඛ්‍යය සඳහා සුදුසු ආහාර අනුභව කරන ලෙසය. එසේත් නැත්නම් කොලෙස්ටරෝල් අඩු ආහාර පාන ගන්නා ලෙසය. නමුත් මෙම නවතම සොයාගැනීම වන්නේ සෞඛ්‍ය සම්පන්න බව සඳහා ආහාරයට ගන්නා දෙය පමණක් නොව, ආහාර ගන්නා වෙලාව ද වැදගත් බවයි. අතරමැදි නිරාහාරය යනු ඔබේ කැලරි ප්‍රමාණය සීමා කිරීම සඳහා නියමිත කාල පරාසයන් තුළ ආහාර ගැනීම සහ නිරාහාරව සිටීම අතර මාරුවීමයි. වර්තමානයේ එය ලොව පුරා බර අඩුකරගැනීම සඳහා වඩාත් ජනප්‍රිය ජීවන රටා අනුවර්තනයන්ගෙන් එකකි. බර අඩුකර ගැනීමෙන් ඔබ්බට ගොස් මෙහි ප්‍රතිලාභ, වැඩි දියුණු කරන ලද හෘද සෞඛ්‍යය සහ හෘද වාහිනී රෝගවලින් ආරක්ෂා වීම සමග දිගු සෞඛ්‍ය සම්පන්න ආයු කාලයක් සඳහා ද මෙම ක්‍රමය යහපත් බව ඔප්පු කරන්නට මේ පර්යේෂණය සමත්ව ඇත.
“අප සමාජයේ සිදුවන මරණවලට ප්‍රමුඛම හේතුව හෘද වාහිනී රෝග වේ. කඩින් කඩ නිරාහාරව සිටීම මගින් සතුන් සහ මිනිසුන් දෙකොටසටම හෘද වාහිනී අවදානම් සාධක අඩු කරන බව ඉහළ තාක්ෂණයන් උපයෝගි කරගෙන කරන ලද අණුක වෙනස්කම් රටා සිතියම්ගත කිරීමක් මගින් අපි එහි විද්‍යාත්මක බව මෙහිදී තහවුරු කර තිබෙනවා යැයි මහාචාර්ය ගුණරත්න පවසයි. මෙය වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක්. මේ සඳහා ලොව සුපතළ විද්‍යාඥයන් සම්බන්ධ වුණා. ඒ අතර ඇමරිකාවේ ජෝන්ස් හොප්ස්කින් සරසවියේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්ය මාර්ක් මැට්සන් විශේෂයි. ඔහු අතරමැදි නිරාහාර පර්යේෂණවල පියා ලෙසත් විරුදාවලි ලබනවා” ගුණරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
RNA, ප්‍රෝටීන සහ ඒවායේ වෙනස් කිරීම්වල පැතිකඩ ගැඹුරින් සොයා බැලීමෙන් මහාචාර්ය ගුණරත්න සහ කණ්ඩායම අතරමැදි නිරාහාරය විවිධ පරිවෘත්තීය, ආසාදිත සහ හෘද ආරක්ෂණ මාර්ගවලට සැලකිය යුතු ලෙස බලපාන බව අනාවරණය කර ගත්හ. ඕනෑම වෙලාවක ඇති තරම් ආහාර ලැබීමේ ඉඩ ඇති මීයන් පාලිත කණ්ඩායම ලෙස තබා ගනිමින් කඩින් කඩ නිරාහාරව තබන ලද මීයන් පර්යේෂණයට යොදා ගනු ලැබිණි. මෙහි දෙවැනි කණ්ඩායමේ එක් කොටසක් පැය 12-16 අතර කාලයක් නිරාහාරව තබනු ලැබිණි. නිරාහාරව සිටින කාලය තුළ මීයන්ගේ හෘද ප්‍රෝටීන සහ ඒවායේ සිදුවන පශ්චාත් වෙනස් වීම් (modifications) හඳුනා ගැනීමට කටයුතු කරන ලදි. ඒ සඳහා යොදාගැනුණේ අති නවීන ප්‍රමාණාත්මක ස්කන්ධ වර්ණාවලීක්ෂ තාක්ෂණයයි. (state of the art quantitative Mass Spectrometry Technology). එසේම ජානවල ප්‍රකාශ වන සියුම් වෙනස්කම් කිසිවක් ඇත්නම් ඒවා හඳුනා ගැනීමට RNA අනුක්‍රමයන් ද යොදා ගැනුණ. ඉන්පසු එම දත්ත නවීන පරිගණක තාක්‍ෂණික මෙවලම් (algorithms & machine lea ing) යොදාගනිමින් සවිස්තරාත්මක විශ්ලේෂණයකට ලක් කිරීම් මගින් මෙම වෙනස්කම් හදවතේ ක්‍රියාකාරිත්වයට බලපාන්නේ කෙසේද යන්න තහවුරු කිරීමට හැකි විය.
පරිවෘත්තීය, සෛල සංඥාවන් සහ අපිජනක පිළිසැකසුම් (epigenetics) වලට සම්බන්ධ ප්‍රධාන ජීව විද්‍යාත්මක මාවත් කඩින් කඩ නිරාහාරව සිටීම මගින් නවීකරණය කරන ලද බව මහාචාර්ය ගුණරත්න මහතාගේ කණ්ඩායම සොයා ගත්තේය. නිරාහාරව සිටීම පැය 16 සහ දිනක් ආදි ලෙස නිරාහාරව සිටීමේ කාලය වැඩිවෙත්ම අදාළ වෙනස්කම් වඩාත් තීව්‍ර ලෙස දැකගත හැකි විය. ක්‍රියාකාරී අධ්‍යයනවලින් ද පෙන්නුම් කළේ, පාලිත කණ්ඩායම හා සසඳන විට නිරාහාර කණ්ඩායම්වල හෘද සෞඛ්‍යය යහපත් බවය. මෙම අධ්‍යයනය විසින් කඩින් කඩ නිරාහාරව සිටීම හෘද සෞඛ්‍යයට හිතකරය යන්නට සහයෝගය සපයනවා පමණක් නොව, හෘද සෛල තුළ එමගින් ඇති කරනු අණුක වෙනස්කම් පිළිබඳ සවිස්තරාත්මක විමසා බැලීමකට ද ඉඩ සලසාලයි.
“කඩින් කඩ නිරාහාර පර්යේෂණවලදී සොයාගැනුණු මේ අණුක සැකසුම් පිළිබඳ කරුණු, නොයෙක් හෘද වාහිනී ගැටලු විසඳීමට, ඖෂධ සංවර්ධනයට නව මංපෙත් විවර කරයි” මහාචාර්ය ගුණරත්න පවසයි.
“මේ පර්යේෂණය තවදුරටත් දිගු කරන්නට අපේ අවධානය යොමු වී තිබෙනවා. ඒ මොළය, අක්මාව සහ වකුගඩු ඇතුළු මූලික අවයවවල අණුක සැකැස්ම නැවත පණගැන්වීම කෙරෙහි කඩින් කඩ නිරාහාරව සිටීම කෙසේ බලපානවා ද කියා සොයා ගන්නට. එසේම ඒ අවයවවලට අදාළ නොයෙක් රෝගවලට එමගින් කෙරෙන බලපෑම සවිස්තරාත්මකව අධ්‍යයන කරන්නට. ඊට අතරමැදි නිරාහාරය තුළින් සිදුවන හිතකර අපිජනක පිළිසැකසුම් ඊළඟ පරපුරට සම්ප්‍රේෂණය කළ හැකි බව ද ආරුමුගම් මහතාගේ කණ්ඩායම මෑතක දී සොයා ගෙන තිබෙනවා.” මහාචාර්ය ගුණරත්න මහතා පැවසීය. ඒ අනුව අතරමැදි නිරාහාර ජීවන රටාව අපගේ සෞඛ්‍යයට පමණක් නොව අප දරු පරපුරේ සෞඛ්‍යයට ද වැදගත් වෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය විසින් බිහිකරන ලද කීර්තිමත් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයන්ත ගුණරත්න මහතා සහ ඔහුගේ කණ්ඩායම පසුගිය කාලය පුරා මනුෂ්‍ය වර්ගයාගේ යහ සෞඛ්‍යය උදෙසා සාර්ථක පර්යේෂණ රාශියක් සිදුකර ඇත. ඩෙංගු වෛරස් සහ ඊට සමාන වෛරස් ඛාණ්ඩ අධික සංඛ්‍යාවක් එක් රුධිර බිංදුවකින් හඳුනා ගැනීම, මුත්‍රාශයේ පිළිකා තත්ත්වය වේලාසනම එක් මුත්‍රා සාම්පලයකින් හඳුනා ගැනීම, දියවැඩියාව නිසා ඇස්වල ඇතිවන අන්ධතාවයට හේතුවන ප්‍රෝටීන හඳුනාගැනීම සහ එය වැළැක්වීමට අවශ්‍ය මාර්ග හඳුනාගැනීම එම පර්යේෂණවලින් කිහිපයකි.
මෙම නවතම සොයාගැනීම සිදුකළ මහාචාර්ය ජයන්ත ගුණරත්න මහනුවර ප්‍රදේශයේ උපන් අයකු වන අතර මහාචාර්ය තිරුමා ආරුමුගම් මඩකලපුව ප්‍රදේශයේ උපන් අයෙකි.
(A*STAR Research හි පළවූ ලිපියක අනුවර්තනයකි.)
මහින්ද සෙනරත් ගමගේ