වර්ෂ 1903 ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම භූවිද්‍යා රාජ්‍ය ආයතනයේ ප්‍රධාන ඛනිජ විද්‍යාඥයා ලෙස කටයුතු කළ ආනන්ද කුමාරස්වාමි මහතාගේ උපදෙස් මත කරන ලද ගවේෂණ තුළින් ශ්‍රී ලංකාව තුළ මිනිරන් ඛනිජය විශාල ලෙස නිධන්ව තිබෙන බව සොයා ගැනුණි.
එම ගවේෂණයෙන් පසු මෙරට මිනිරන් නිධි සිතියම්ගත කර ඇත. ඒ අනුව මාතර සිට ත්‍රිකුණාමලය දක්වා මිනිරන් නිධියක් ද ගාල්ල දිස්ත්‍රික්කයේ සිට කොළඹ දිස්ත්‍රික්කය පුරා තැන තැන මිනිරන් නිධි පිහිටා ඇත. තවද කුරුණෑගල, ගලේවෙල ප්‍රදේශවල සිට කන්ද උඩරට දක්වා මිනිරන් නිධි ඇත. නමුත් ලෝකයේ මිල අධිකම සුවිශේෂී මිනිරන් කන්ද පිහිටා තිබෙනුයේ දොඩම්ගස්ලන්ද, කහටහන ප්‍රදේශයට සහ මැල්සිරිපුර, රාගෙදරට මායිම්වය. එම කඳු පන්තියේ දකුණු පස කෙළවරේ නැඟෙනහිර බෑවුමේ මැල්සිරිපුර රාගෙදර මිනිරන් පතල පිහිටා තිබේ.
ප්‍රථම වරට රාගෙදර මිනිරන් පතල ආරම්භ කර ඇත්තේ 1830 ගණන්වලය. එමෙන්ම මෙරට විශාලතම සහ වටිනාම මිනිරන් සහිත පතල රාගෙදර මිනිරන් පතල බව ඉංග්‍රීසි ජාතිකයන් හඳුනාගෙන තිබිණි. මෙරට පතල් ඉතිහාසයේ ලෝකයට වැඩිම මිනිරන් ප්‍රමාණයක් ලබාදී ඇත්තේද රාගෙදර පතලෙනි. එමෙන්ම මෙරට මිනිරන් නිෂ්පාදනයේ 50%ක් නිෂ්පාදනය කර ඇත්තේ රාගෙදර පතලෙනි. මේ පතල පවත්වාගෙන ගිය, ද මෙල් නමැති ව්‍යාපාරිකයා ලොව දැවැන්තම මිනිරන් ව්‍යාපාරිකයා ලෙස ප්‍රකටව සිටි බවට වාර්තා වෙයි. මැල්සිරිපුර නගරය බිහිවී ඇත්තේ ද රාගෙදර පතල නිසා බව සඳහන් වේ. ‘මැල්සිරිපුර’ නම පටබැඳී ඇත්තේ රාගෙදර පතලේ අයිතිකරුගේ නාමය ද සම්බන්ධ කරගෙනය.
දෙවැනි ලෝක යුද්ධය පටන් ගන්නා කාලය වනවිට මෙරට මිනිරන් පතල් 3000ක් තිබුණි. ජපානයට පසු ආසියාවේ ආර්ථික වශයෙන් ශක්තිමත්ම රට ලෙස ශ්‍රී ලංකාව දියුණු වී තිබුණේ මිනිරන් කර්මාන්තය නිසායි. එකල ලෝකයේ මිනිරන් නිෂ්පාදනය කරපු රටවල් අතර අපේ රට පළමුවැනි ස්ථානයේ පසුවුණි.
වසරකට මිනිරන් ටොන් 35,000කට වැඩි ප්‍රමාණයක් අපනයනය කළා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 1960 ගණන්වල මෙරට පෞද්ගලික වතු, රජය සතු කර ගත්තා. ඒ සියලුම මිනිරන් පතල් රජය සතු වුණා. ඒ වගේම රජය සතුවීමත් සමග මෙරට විශාල කර්මාන්ත සංඛ්‍යාවක් වැසී ගියා. අවසානයේ මෙරට ඉතිරි වුණේ මිනිරන් පතල් 2යි. බෝගල සහ රාගෙදර පතල් අතහැර දමා තිබුණි. පසුව අවුරුදු 30 ගණනකට පසු ලංකාවේ කැණීම් කෙරුණේ කහටගහ, බෝගල පතල් දෙක පමණි.
මම ජර්මනියේ බර්ලින් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගෙන අවුරුදු 2ක් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවෙක් ලෙස රැකියාවක් කොට ලංකාවට ඇවිත් මෙරට ප්‍රථම ඛනිජ සම්පත් ගවේෂණ ආයතනය ආරම්භ කළෙමි. මේ රට සංවර්ධනය කිරීමට නම් පොළව යට තිබෙන ඛනිජ සම්පත් එළියට අරගෙන අගය එකතු කර නිෂ්පාදන වශයෙන් ලෝක වෙළඳපොළට නිකුත් කළයුතු බව මම විශ්වාස කළෙමි. ලෝකයේ සංවර්ධිත රටවල් බොහෝමයක් දියුණුවෙලා තියෙන්නේ ඒ ඒ රටවල්වල ඛනිජ සම්පත් කැණීම් කර වෙළෙඳාම් සිදුකිරීමෙන් ලැබෙන ආදායමෙනි. ඒත් යල්පැන ගිය ක්‍රම භාවිතයෙන් ඛනිජ සම්පත් කැණීම් කර සාර්ථක ප්‍රතිඵල ගන්න බැරි බවට අධ්‍යයනවලින් තහවුරු වුණා. විශේෂයෙන් සාම්ප්‍රදායික ක්‍රම භාවිතයෙන් අඩි 200කට වඩා දුරකට පතල් බහින්න බෑ. මෙරට පතල් වැසී යෑමට මේකත් ලොකු බලපෑමක් වුණා.
අතහැර දමා තිබූ රාගෙදර පතල මම මිලදී ගත්තේ 2011දීය. මේ පතල මම මිලදී ගත් බව දැනගත් පසු ලෝකයේ සිටින දැවැන්තම මිනිරන් සමාගම් 8/10ක්ම නියෝජිතයන් ලංකාවට ඇවිත් මා සමග සාකච්ඡා කළා. ඊට අමතරව තවත් ලොව පිළිගත් ව්‍යාපාරිකයන් රාශියක්ම ඇවිත් සාකච්ඡා කළා. මිනිරන් පතල අධ්‍යයනයක් කරලා මා සමග සම්බන්ධවෙලා වැඩ කරගෙන යෑමට බොහෝ ආයෝජකයන් කැමති වුණා. සමහර ආයෝජකයන් 6,7 වතාවක් ලංකාවට ඇවිත් මා සමග සාකච්ඡා කළා. USD Million 400 – 600කට මුදල් ආයෝජනය කිරීමටත් එකඟ වුණා. ඒකට ප්‍රධාන වුණේ මිනිරන් අතර තිබුණ පරමාණුක ස්තරවල වටිනාකම ගැන මා ලෝකයටම සන්නිවේදනය කිරීම නිසායි. ග්‍රැෆීන් යනු නැනෝ තාක්ෂණයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යකි. මේ වනවිට ලෝකයේ තාක්ෂණය, උපකරණ රාශියක් නිෂ්පාදන කිරීමට ග්‍රැෆීන් භාවිතා කරනවා. ග්‍රැෆීන් ඛනිජය වානේවලට වඩා 200 ගුණයක් ශක්තිමත්ය. ඒත් පුළුන් පොදක් තරමට සැහැල්ලුයි. ග්‍රැෆීන් හරහා ප්‍රතිරෝදකයක් නොමැතිව විදුලියට ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. දත්ත ගොඩක්ම තබා ගැනීමේ Chip නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යකි. ඉලෙක්ටි්‍රක් වාහනවල බැටරිය නිෂ්පාදනය කිරීමට ග්‍රැෆීන් අමුද්‍රව්‍ය අත්‍යවශ්‍යයි. සරලව කියනවා නම් ග්‍රැෆීන් යනු මේ ලෝකයේ විනාශකාරි ගමන හැරවීමට තිබෙන ඖෂධයක්. අපේ භාෂාවෙන් කිව්වොත් කෝකටත් තෛලය වැනි ඛනිජයකි.
මම මේ කර්මාන්තය දියුණු කිරීමට උත්සාහ කරන්නේ මට සල්ලි හම්බ කරන්න නෙවේ. පතුලට වැටිලා තිබෙන මේ රට සංවර්ධනය කරන්න. අපේ රට ලෝකයට ණය නැති රටක් බවට පත් කරන්න මෙරට මිනිරන් කර්මාන්තය දියුණු කළොත් ග්‍රැෆයිඩ් ග්‍රැෆීන් කන්ටේනර් 10 – 15ක් පිටරට යනකොට IMF අපට දෙන USD Billion 3.9 මුදල උපයන්න පුළුවන්. මගේ පතල තවම අඩි 300ක් නැහැ. තව අඩි 4000-5000ක් පහළට කැණීම් කරන්න පුළුවන්. අවුරුදු 500කට වැඩි කාලයකට මිනිරන් ග්‍රැෆීන් නිෂ්පදනය කරන්න පුළුවන්. ඒත් මිනිරන් කර්මාන්තය දියුණු කරන්න කිසිම රජයකින් අපිට උදව්වක් කළේ නෑ.
මේ අද රටේ එක් අංශයක පමණක් මගේ අත්දැකීමයි. තවත් එවැනි සම්පත් නොසලකා නිසි ඵලදායිතාවක් ගන්නට ක්‍රියාකර නොමැති සම්පත් බොහෝමයකි.
(සාකච්ඡාවකින් සකස් කෙරිණි)
සුනිත්‍ය බලශක්ති අධිකාරියේ
හිටපු සභාපති
රාගෙදර මිනිරන් පතලේ සභාපති
බලශක්ති හා කර්මාන්ත ඉන්ජිනේරු
කීර්ති වික්‍රමරත්න