රුසියාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට ටජිකිස්තානයේ පුද්ගලයන් 9 දෙනකු එරට ආරක්ෂක සේවා මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට රුසියානු ආරක්ෂක හමුදාවේ සහාය ද ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පුද්ගලයන් 144 දෙනකුට මරු කැඳවූ මොස්කව් ප්‍රහාරය සම්බන්ධව ඊට දින 18කට පෙර අමෙරිකාව විසින් සිදු කළ අනතුරු ඇඟවීමට රුසියානු බුද්ධි අංශය සහ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ අවධානය යොමුනොවීම ජාත්‍යන්තර බුද්ධි අංශවල කනස්සල්ලට හේතු වී ඇතැයි ද වාර්තා වේ. පාකිස්තාන, ටජිකිස්තාන සහ උස්බෙකිස්තාන ආගමික අන්තවාදීන් සම්බන්ධ විය හැකි ප්‍රහාරයක් පිළිබඳ කළ අනතුරු ඇඟවීම අමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියෙන් සහ මධ්‍යම බුද්ධි ඒජන්සියෙන් ලද වාර්තාවලට අනුව බවත්, ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දෙන එවැනි අනතුරු ඇඟවිම් සැහැල්ලුවට ගැනීමේ ප්‍රතිඵලය රුසියාවට අත්විඳීමට සිදුවූ බවත් ජාත්‍යන්තර බුද්ධි අංශ සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.
අමෙරිකාවේ අනතුරු ඇඟවීමේ වගකීම ඉරානය වැනි විරුද්ධවාදී රටවලට පවා නිකුත් කෙරෙන අතර, එම අනතුරු ඇඟවීම් අතිශය තියුණු සහ විශ්වාස කළ හැකි මාර්ගවලින් ලබා ගන්නා තොරතුරු බව ද ජාත්‍යන්තර බුද්ධි අංශ පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අමෙරිකානු බුද්ධි අංශ අනතුරු ඇඟවීම් ප්රකෝපකාරී ප්‍රකාශ බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රහාරයට දින තුනකට පෙර සඳහන් කර ඇතැයි ද, රුසියානු ආරක්ෂක අංශ පවා එම අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇතැයි ද ජාත්‍යන්තර බුද්ධි සේවා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.