නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුව අමතමිනි.
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තරුණ නායක නායිකාවන් ඇතුළු නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රටේ හෙට දවස භාර වන්නේ අද දවසේ තරුණ පරපුර බව පෙන්වා දුන් ජනාධිපතිවරයා Gen Z පරපුරට ඔවුන් ඉපදුණු දා සිට හැදි වැඩුණු, දියුණු වෙන තාක්ෂණ ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය ලබාදීමට කටයුතු කරන බවත්, ඩිජිටල් අළෙවිකරණය, සේවාදායකන්ට නිදහස් සේවාවන් සැපයීම Freelancing, විද්‍යුත් වාණිජ කාර්යයන් ආදි ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ආර්ථිකය ශක්තිමත් වන විට පිබිදී එන නවීන කෘෂි සංස්කෘතිය, පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය ආදී ක්ෂේත්‍ර තුළ රැකියා ලබා ගැනීමටත්, නව ව්‍යවසාය ආරම්භ කිරීමටත් තරුණයන්ට අවශ්‍ය පසුබිම සකසා දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය.
එසේම දේශපාලන ක්ෂේත්‍රය සඳහා තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයක් ස්ථාපිත කර නව පරපුරේ දේශපාලන දැනුම ඉහළ නැංවීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
තමාට අවශ්‍ය Gen Z පරපුර මේ රටේ නායකත්වය භාර ගැනීමට හැකි පිරිසක් ලෙස නිර්මාණය කිරීම බව පැවසූ ජනාධිපතිවරයා 2015 සහ 2020 දී බිඳ වැටුණු තාරුණ්‍යයේ අපේක්ෂා “පුළුවන් ශ්‍රී ලංකා” වැපිළිවෙළ තුළින් යළි මල් ඵල ගන්වා තිබෙන බවද පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය
මෙම ස්ථානයේ සිටින ඔබ සියලුදෙනා Gen Z පරපුරට අයත් පිරිසයි. ඉදිරියේදී රට භාරගත යුත්තේ ඔබයි. සෑම විටම සඳහන් වෙනවා Gen Z පරපුර සමාජයෙන් පිටස්තරයි කියලා. ඒ වගේම ඔවුන් ලංකාවේ දේශපාලනයෙන් පිටස්තරයි කියලා.
ජනතා විමුක්ති පෙරමුණ කියනවා වසර 75ක් මේ රටේ කිසිම දියුණුවක් ඇති වුණේ නැහැ කියලා. ඔවුන් ඒ බව ප්‍රකාශ කළේ මේ තරුණ සේවා සභාවේ සිටයි. මේ තරුණ සේවා සභාව 1948 තිබුණේ නැහැ. යෞවන සමාජ හදලා තරුණ සේවා සභාව ඇති කළේ මමයි. ඒ නිසා රට හැදුවේ නැහැ කියන එක පිළිතුරක් නොවෙයි.
නමුත් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වුණේ නැහැ. දැන් අප සිතිය යුත්තේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කොහාමද කියලයි. තරුණ පරපුර කියන්නේ අපි 2020 පොහොට්ටුවට ඡන්දය දුන් නමුත් අපේ බලාපොරොත්තු සුන් වුනා කියලයි. තවත් පිරිසක් කියනවා අපි 2015 යහපාලන ආණ්ඩුවට ඡන්දය දුන්නා නමුත් අපේ බලාපෙරොත්තු ඉටු වුණේ නැහැ කියලා. ඒ නිසා අපිට දේශපාලනය එපා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා.
එවිට ජනතා විමුක්ති පෙරමුණ කියනවා අපි ආණ්ඩුවේ හිටියේ නැහැ කියලා. එහෙම කියන්නේ මගේ මිත්‍ර හිටපු අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතායි. සජිත් ප්‍රේමදාසත්, අනුර කුමාර දිසානායකත්, විජයදාස රාජපක්ෂත්, මමත් හිටපු ඇමතිවරුන් බව සිහිපත් කරනවා.
මම 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදි සඳහන් කළා මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 03ක් හොයාගත්තේ නැත්නම් ආර්ථිකය කඩා වැටෙනවා කියලා. එහි ප්‍රතිඵලය වුයේ එක්සත් ජාතික පක්ෂය පරාජය වීමයි. එහෙමනම් මමත් දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. ඇත්ත කියපු නිසා කවුරුවත් මට ඡන්දය දුන්නේ නැහැ. නමුත් මම දේශපාලනයෙන් ඉවත් වුණේ නැහැ. මේ රට බේරා ගත යුතුව තිබු නිසා රට භාරගත්තා. මම රට භාරගත්තේ ඔබට අනාගතයක් ලබාදීම සඳහායි. ඒ නිසා අපි සියලුදෙනා එකට එක්ව මේ ගමන යා යුතුයි. මෙයින් ඉවත් වුවහොත් එය අපරාධයක් වෙනවා. මේ තීරණය වන්නේ ඔබේ අනාගතයයි.
අපි අවුරුදු 05ක් ඉදිරිය ගැන හිතනවද, අවුරුදු 25ක් ඉදිරිය දෙස බලා රට හදනවද කියා තීරණය කළයුතුයි. ඇතමුන් කිව්වා 2048 ගැන හිතලා වැඩක් නැහැ කියලා. නමුත් අපි කියන්නේ 2048 ගැන අවධානය යොමු කළ යුතුයි කියලයි. තායිලන්තය, වියට්නාමය වෙළද ආර්ථිකයක් බවට පත් වුණේ අනාගතය ගැන හිතලා. නමුත් අපි ඒ ගැන හිතන්නේ නැත්තේ ඇයි?
ප්‍රශ්නයක් වුණොත් කියනවා අපි මේකට සහනාධාර දෙන්නම් කියලා. නමුත් ප්‍රශ්න විසදීමක් සිදු වන්නේ නැහැ, මෙතෙක් සිදු වුණේ එයයි. ඒ නිසා මේ ඡන්දය වැදගත්. එදා මම මේ රටේ ආර්ථිකය ගොඩගත්තා. දැන් අප යන මාර්ගයක මොකක්ද කියලා තීරණය කළ යුතුයි.
අපි අපනයන ආර්ථිකයක් බවට පත් වෙනවද, නැත්නම් මේ මට්ටමේ සිට නැවත ණය අරගෙන තව අවුරුදු 15කින් වැටෙනවද කියා තීරණය කළයුතුයි. තව අවුරුදු 15 කින් ගෑස් නැතිව විදුලිය නැතිව දුක් විඳිමට අපට සිදු වෙනවා. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපනයන ආර්ථිකයක් කරා යාමට අවශ්‍ය ආර්ථික පරිවර්තන පනත සම්මත කර ගැනීමට අප කටයුතු කළේ. එය ක්‍රියාත්මක කිරීම සඳහායි මෙවර ජනාධිපතිවරණයේ දී මම ජනතා වරමක් ඉල්ලා සිටින්නේ.
තරුණයන් වෙනුවෙන් අපි “පුළුවන් ශ්‍රීලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් යොවුන් වසන්තය ඉදිරිපත් කර තිබෙනවා. එහි ඩිජිටල් අලෙවිකරණය, සේවාදායකන්ට නිදහස් සේවාවන් සැපයීමේ Freelancing, විද්‍යුත් වාණිජ්‍ය , සමාජ මාධ්‍ය පරිහරණය පිළිබඳ සඳහන් වෙනවා.
ඒ වගේම නව පුරපුර සමඟ කතිකාවක් (Gen Z Dialogue)ඇති කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. රටේ ප්‍රශ්න විසදා ගැනීම වෙනුවෙන් අප අතර සාකච්ඡා තිබිය යුතුයි. එය ජාතික මට්ටමේ, පළාත් මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමෙන් සිදු විය යුතුයි. ඒ වෙනුවෙන් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කරනවා. එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම තරුණ සේවා සභාවට භාර දෙනවා.
ඒ වගේම නැවත තරුණ පරපුර දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කළ යුතුයි. අපි ඒ සඳහා පහසුකම් සළසාදිය යුතුයි. පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාව සඳහා තරුණයන් සහභාගි කරවා ගැනීමට අප යෝජනා කළා. ඇතැම් කාරක සභා හොදින් ක්‍රියාත්මක වන අතර අනිත් ඒවා රැස්වෙන්නේ නැහැ. මේ අඩුපාඩුකම් සම්පූර්ණ කර ගෙන ඉදිරි පාර්ලිමේන්තුවේ මීට වඩා ශක්තිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම යොවුන් වසන්තයෙන් පිටත අනිත් අංශවල තරුණයන් පිළිබඳව ද ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. වසර 04ක් අපට රැකියා දෙන්න බැරි වුණා. ඒ නිසා ලබන වසරේ තරුණ පරපුර වෙනුවෙන් නව ආදායම් මාර්ග ලක්ෂයක් බිහි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ස්ථීර ලෙස ස්වයං රැකියවලට යොමුවන අයට ආධාර ලබා දිමට එහි විශේෂ කොටසක් විවෘත කෙරනවා.
ඒ වගේම දැනට වෘත්තිය පුහුණුව ලබන පිරිසට අමතරව තමන් කැමැති ආයතනයක වෘත්තීය පුහුණුව ලබා ගැනීමට තවත් තරුණ තරුණියන් 50,000කට මුදල් ලබා දෙනව. එසේනම් 150,000කට අපි 2025 වසරේදී රැකියා ලබා දෙනවා
ඒ සමඟම තරුණ තරුණියන්ට පුහුණුවක් ලබාදී රැකියා සඳහා බඳවා ගැනීමට කටයුතු කරන සමාගම්වලටත් සහාය ලබාදීමටත් අප බලාපෙරොත්තු වෙනවා. ආර්ථිකය දියුණු වීමත් සමඟ නව රැකියා අවස්ථා උදා වෙනවා.
ඒ වගේම වෘත්තීය පුහුණු අංශය වෙනස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දැනට ක්‍රියාත්මක වන සියලු වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර වෘත්තීය විද්‍යාලයක් ඇති කිරීම අපේ අරමුණයි. ඒ වගේම සෑම පළාතකම තාක්ෂණ හා කළමනාකරන විද්‍යාල ඇති කිරීමට අප කටයුතු කරනවා.
සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්ම, කර්මාන්ත ක්ෂේත්‍ර සංවර්ධනය වීමත් සමග නව රැකියා අවස්ථා බිහි වෙනවා.
ඒ වගේම ජන සභාවල තරුණ නියෝජනය ඇති කරනවා. සැම ග්‍රාම සේවා කොට්ඨාසයකම ජන සභාවක් ඇති කර තරුණ නියෝජනය ඉහළ දමනවා. එම කටයුතු තරුණ සේවා සභාව සමග එක්ව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙනවා.
එපමණක් නොවෙයි තමන්ට පාර්ලිමේන්තුවට පණිවිඩයක් එවා විවාදයක් ඉල්ලා ගත හැකි අයුරින් අලුත් නීතියක් ගෙන එනවා. ඒ අනුව ඡන්ද දායකයන් ලක්ෂයක් පෙත්සමක් අත්සන් කර යම් කාරණයක් සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියහොත් එය සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවට සිදු වෙනවා.
ඒ වගේම දෙවන මන්ත්‍රණ සභාවක් ආරම්භ කරනවා. ඒ සඳහා කාන්තා සහ තරුණ නියෝජිතයන් ඇතුළත් කරනවා. නැවත කාන්තා සහ තරුණ නියෝජිතයන් තෝරාපත් කරගැනීම පිළිබඳ සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට සිදු වෙනවා. මේ සියලු කටයුතුවලින් මම උත්සාහ කරන්නේ තරුණ පරපුර සමාජයට ඇතුළත් කිරීමයි.
ඒ වගේම හිටපු අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් මම කියෙව්වා. එහි රැකියා ගැන නිසියාකාරව සඳහන් වී නැහැ. තරුණ තරුණියන්ට සුදුසු රැකියා ඇති කිරීම, රැකියා විරහිත තරුණ තරුණයින්ට තොරතුරු ලබා ගැනීමට බැංකුවක් ඇති කිරීම, රජයේ රැකියා සඳහා බදවා ගැනීමේ තරග විභාග ක්‍රමය ඉදිරියට ගෙන එන බව සහ උසස් පෙළ සමත් අයට වෘත්තිය පුහුණුව දෙන බව එහි සඳහන් කර තිබෙනවා. නමුත් එම පුහුණුව ලබා දෙන්නේ කොතනද, කොහොමද කියන එක සඳහන් වී නැහැ. ඒ වගේම රැකියා ලබාදීම ගැන සඳහන් වෙන්නේ නැහැ. එයයි වෙනස.
ඒ වගේම තරුණ තරුණියන්ට ණය ලබාදීමට සංවර්ධන බැංකුවක් ඇති කරනවා කියලා තිබෙනවා. ඒ වගේම තරුණ සේවා සභාවේ ශාඛාවල තරුණ තරුණියන් මුණ ගැසෙන බව සඳහන් කර තිබෙනවා. තරුණ සේවා සභාවට ශාඛා නැහැ. ඒවට කියන්නේ යෞවන සමාජ කියලා. එය නොදැන ප්‍රතිපත්ති ලියනවනම් ඊට වඩා ඒ ගැන සිතිය යුතු නැහැ.
ඒ වගේම හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනා මම කියෙව්වා. තරුණ තරුණියන් ගැන එහි සඳහන් වන්නේ වචන 49යි. ඔවුන් තරුණ පරපුර ගැන වචන 50ක්වත් ලියලා නැහැ. මේ අයට ඔබ අනාගතය භාරදිය යුතුද, එසේනම් මෙහි සිටින Gen Z පරපුර තම අනාගතය පිළිබඳ තීරණය කළයුතුයි.
Gen Z පරපුර මේ රටේ නායකත්වය භාර ගැනීමට හැකි පිරිසක් ලෙස නිර්මාණය කිරීම මගේ අරමුණයි. එවිට ආණ්ඩුව භාර ගන්න කියලා කිව්වොත් කාටවත් දුවන්න අවශ්‍ය වන්නේ නැහැ. බය නැතිව මේ රටේ නායකත්ව භාරගත හැකි තරුණ පිරිසක් රට තුළ නිර්මාණය වෙනවා.
තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා
අද මම නියෝජනය කරන්නේ අපට මේ රට ගොඩ ගන්න ‘පුළුවන්’ බවට විශ්වාස කරණ තරුණ පරපුරයි. වසර දෙකකට පෙර පෝලිම්වල හෙම්බත්වූ, අනාගතය පිළිබඳ අපේක්ෂාවන් බිඳ වැටුණ මේ රට එදා සංසන්දනය කළේ සිම්බාබ්වේ, ලෙබනනය වැනි රටවල් සමඟයි. එදා මේ රටේ බැංකු පද්ධතිය, රාජ්‍ය සේවය කඩා වැටුණා නම්, ආරක්ෂක අංශ බිඳ වැටුණා නම් අද අප මෙතැන නැහැ. මේ රට හැර යන්න හීනෙකින් වත් නොසිතූ අපගේ මිතුරන් එදා මේ රට හැර ගියා.
ඒ දවසෙ අපි තරුණ කණ්ඩායමක් ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතා කළා. එතුමා එදා ප්‍රකාශ කළා මේ රට තව අවුරුද්දකින් බංකොලොත්භාවයට පත් වන බව. ඒ කියූ ආකාරයට එය සිදු වුණා. ඒ අවස්ථාවේදී අවුරුද්දකින් මේ තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් බව එතුමා කිව්වා.
එතුමා පැවසූ ආකාරයෙන්ම ඉතා කෙටි කාලයක් තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වුණා. සැප්තැම්බර් 21 වෙනිදාට අපට තීරණය කිරීමට තිබෙන්නේ මේ රට නැවතත් මීට වසර දෙකකට පෙර තිබූ යුගයට ගෙන යනවාද නැද්ද කියන කාරණයයි.
තරුණ පරපුර වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරම් කටයුතු කළ නායකයෙක් මේ රටේ නැහැ. මීට දශක 4කට පෙර මේ රටේ තරුණ ප්‍රජාව නඟා සිටවීම සඳහා ස්ථිපිත කළ තරුණ සේවා සභාව තරම්, එතුමාට මේ රටේ තරුණ ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමට සුදුසු තවත් ස්ථානයක් නැහැ. ජනාධිපතිතුමනි, අපේ රට ආපස්සට ගෙන යාමට අප සූදානම් නැති බව අද මෙම ස්ථානයේ සිට මේ රටේ තරුණ පරපුර වශයෙන් අප ප්‍රකාශ කරනවා.
තරුණ ක්‍රියාකාරී නිරාෂාන් විතානගේ මහතා
ජනාධිපතිතුමනි, මෙම සෑම අසුනකම සිටින තරුණ තරුණියන්ට විවිධ සිහින තිබෙනවා. ඒ සිහින සැබෑ කර ගැනීමට “පුළුවන්” රටක් අපට අවශ්‍යයි කියන සිහිනය අපට තිබෙනවා. ඒ රට හදන්න “පුළුවන්” ශ්‍රී ලංකා දේශපාලනයේ සිටින ‘රියල් වැඩ්ඩා’ ඔබ බව මේ රැස්ව සිටින වගේම මේ රටේ සිටින තරුණ තරුණයින් විශ්වාස කරනවා.
මේ තරුණ ජීවිත පෝලිම්වල ලතැවෙන විට, තාත්තලාගේ හුස්ම පෝලිම්වල අහිමි වෙන විට, අධ්‍යාපනය කඩා වැටිලා අනාගයක සේයාවක්වත් නොමැතිව අපේක්ෂා භංග වී සිටින විට, අම්මලා ගෑස් පෝලිම්වල දවස ගත කරන විට, මේ කියූ නොකියූ අපහසුතාවලින් මිනිසුන් අසරණ වී සිටිද්දී අපගේ ජීවිතවලට යම්කිසි සහනයක, බලාපොරොත්තුවක සේයාවක් ගෙනා ‘රියල් වැඩ්ඩා’ඔබයි. ‘රියල් වැඩ්ඩෝ’ වැඩ පෙන්වන්නේ අභියෝගයකදීයි. අත්හදා බැලීම් කිරීමට, සූදු කෙලින්නට අනුරට, සජිත්ට රට බාර දී බලා සිටින්න මේ රටේ තරුණ ප්‍රජාව සූදානම් නැහැ.
මේ මාතෘ භූමිය තරුණ ඔබට කතා කරනවා. මේ රට ගොඩනඟන්න ඔබේ ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ රට ගොඩනැඟිය හැකි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ශක්තිය ලබා දීම තරුණ ඔබේ වගකීමයි. ඔබ සුරංගනා කතාවලට රැවටෙනවද? අත දරුවන්ට රට බාර දී ඊළඟ ආගාධයට රට රැගෙන යනවද? යන්න ඔබ තීරණය කළ යුතුයි.
පැමිණ සිටි තරුණ නායක නායිකාවන් වෙත ජනාධිපතිවරයාගෙන් ඍජුවම ප්‍රශ්න කිරීමට ද මෙහිදී අවස්ථාව උදා වූ අතර එහිදී මතුකළ ප්‍රශ්න කිහිපයක් සහ ලබාදුන් පිළිතුරු මෙසේය,
ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ‘ථෙරවාදි වෙළෙඳ ආර්ථිකය” කියන්නේ මොකක්ද?
පිළිතුර
අතීතයේ ඉන්දියන් සාගරය කේන්ද්‍රස්ථානය කර ගෙන කාලපයේ වෙළෙඳ රාජ්‍යයක් ලෙස අපේ රට පැවතුණා. චීනය ඇතුළු කලාපයෙන් එන භාණ්ඩ ලංකාවට ගෙනවිත් හුවමාරුවක් සිදු කළා. හම්බන්තොට සහ ත්‍රිකුණාමලය සම්බන්ධකරගෙන එම කටයුතු සිදු කෙරුණා.පෙරදිග ධන්‍යාගාරය ලෙස අප අපේ නිෂ්පාදන අපනයනය කළා.
අපේ මෙම ක්‍රමය කඩා වැටුණු විට එම දියුණුව තායිලන්තයේ ඇති වුණා. පසුව 18 වන ශතවර්ෂයේ එම රාජ්‍ය කඩා වැටුණා. නිදහස ලැබුණු පසුව යලිත් තම ආර්ථිකය ගොඩනැඟීම මෙම රාජ්‍යයන් දෙකෙන්ම ආරම්භ කළා.අපි ආර්ථිකය විවෘත කළා. තායලිනත්ය පැරණි ක්‍රමය අනුවම අපනයන ආර්ථිකයක් සමඟ ඉදිරියට ගියා. අප එම ක්‍රමය අනුගමනය කළේ නැහැ.
1960 වසරේදී ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 144යි. තායිලන්තයේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 104යි. අද ලංකාවේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 3828යි, තායිලන්තයේ ඇමරිකන් ඩොලර් 7172යි. අපේ වගේ දෙගුණයකින් තායිලන්තය ඉදිරියෙන් සිටිනවා.
ඒ වගේම වියට්නාමයත් තායිලන්ත ක්‍රමය අනුගමනය කළා. තායිලන්තය සහ ශ්‍රී ලංකාව ථෙරවාදි රටවල් ලෙස ප්‍රධාන වෙළෙඳ ආර්ථික තිබු රටවල්. 1990 ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 08යි. වියට්නාමයේ ඇමරිකන් ඩොලර් බිලියන 6.5යි.
අපි මේ තත්ත්වයේ සිටියත් 2023 වසරේ අපේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 84යි. වියට්නාමයේ ඇමරිකන් ඩොලර් බිලියන 429යි. අපි වගේ පස් ගුණයක්. අපි එක තැන හිර වුණා. අනිත් අය ලෝකය අත්පත් කර ගත්තා.
අපේ රටේ අතීතයේ ථෙරවාද ආර්ථිකයක් පැවතුණා. අප නැවත එම ථෙරවාද ආර්ථිකයකට ගමනු කරමු කියා අප යෝජනා කර තිබෙනවා.
බුදු දහම පිළිබඳ පණිවිඩය පළමුව ලංකාවට ගෙනාවේ තපස්සු, භල්ලුක යන වෙළඳුන් දෙදෙනායි. අපේ බුදුදහමත්, වෙළඳාමත් අතර තිබු සම්බන්ධය එයින් පැහැදිළි වෙනවා.
ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, ඩිජිටල් මාර්කටිං, ඊකොමර්ස් සහ Freelancing යන සංකල්ප තුන පිළිබඳව ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා. ෆයිබර් වැනි පැල්ට්ෆෝම්වල දැන් තරුණ තරුණියන් ෆ්‍රී ලාන්සින් යෙදී සිටිනවා. ඔවුන් සඳහා පහසුකම් ලබා දෙන්නේ කෙසේද?
පිළිතුර
එම මූල්‍ය පහසුකම ලබා ගැනීම පිළිබඳ අප බැංකු සමඟ සාකච්ඡා කරනවා. ඒ වගේම මෙම කර්තව්‍ය පිළිගත් කර්තව්‍යයක් බවට පත් කර මෙම මුදල් පහසුකම් සපයා දීම කළයුතුයි. නව නීති ගෙන ඒමෙන් පසු අප ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණ ගන්නවා. ඇතැම් රටවල මේ සඳහා අවස්ථාව ලබා දී තිබෙන අතර ඇතැම් රටවල මෙම අවස්ථාව නැහැ. ආර්ථිකය කඩා වැටි තිබු අවස්ථාවක නව වගකීම් භාරගැනීමට බැංකු සූදානමින් සිටියේ නැහැ. නමුත් දැන් එම වගකීම් භාර දීම පිළිබඳ අප බැංකු සමඟ සාකච්ඡා කරනවා.
ප්‍රශ්නය
ලයින් කාමර වෙනුවට ගම්මාන ඇති කර තනි නිවාස ඉදිකර දී වතුකරයේ තරුණයන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට ඔබතුමා කටයුතු කරනවාද?
පිළිතුර
ලයින් කාමර තිබෙන සම්පූර්ණ භූමි ප්‍රමාණය වැවිලි සමාගමින් ඉවත් කර එම බිම් ප්‍රමාණය නැවත රජය ලබා ගැනීමට කටයුතු කරනවා. ඉන් පසුව ගම්මාන ඇති කර නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ලබා දෙනවා. ඒ වගේම එම නිවාස ඉදිකිරීම වෙනුවෙන් ණය ක්‍රමයක් හඳුන්වාදීමටද සැලසුම් කර තිබෙනවා. එවිට මේ ප්‍රදේශත් ග්‍රාම නිලධාරින් යටතේ තිබෙන ප්‍රදේශ බවට පත් වෙනවා.
ප්‍රශ්නය
පළාත් තරුණ කේන්ද්‍රය පිහිටුවන බව ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. ඒ පිළිබඳ පැහැදිළි කිරීමක් කළ හැකිද?
පිළිතුර
එම පළාතේ දිස්ත්‍රික්කවල තිබෙන තරුණ සංවිධාන එක් කර දිස්ත්‍රික්ක නියෝජනය කිරීම සඳහා පළාත් මට්ටමේ කේන්ද්‍රයක් ඇති කිරීමට අප බලාපොරාත්තු වෙනවා. පළමුව තමන්ගේ දිස්ත්‍රික්කය සහ කොට්ඨාස තුළ යෞවන සමාජ, ශිෂ්‍ය නායක කණ්ඩායම් මේ සඳහා කැඳවාගෙන කොට්ඨාස කේන්ද්‍ර ඇති කර ඉන් පසුව දිස්ත්‍රික් කේන්ද්‍ර ඇති කළ යුතුයි. ඉන් පසුව පළාත් කේන්ද්‍රයක් ඇති කර එම පළාත් කේන්ද්‍ර සමඟ තරුණ කටයුතු අමාත්‍යාංශය සහ තරුණ සේවා සභාව සමඟ එකට වැඩ කටයුතු කළ හැකියි. එවිට මේ ප්‍රදේශ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අදාළ පළාත් සභා හා ප්‍රාදේශීය සභා සහ නගර සභාවලින් මෙන්ම තරුණ සේවා සභාවෙන් ද ලබාදීම සිදු කෙරෙනවා.
ප්‍රශ්නය
ඉදිරි ජනාධිපතිවරණයෙන් ඔබතුමා ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු අපට හදා දෙන රට මොකක්ද?
පිළිතුර
ඔබට අවශ්‍ය වන්නේ කොහොම රටක්ද ?
තරුණයාගේ පිළිතුර
රජය ව්‍යවසාය කටයුතු නොකරන, පෞද්ගලික ව්‍යවසායන්ට තමන්ගේ ව්‍යවසාය කටයුතු නිදහසේ කර ගෙන යා හැකි රාජ්‍යයක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පිළිතුර
අපි ජනතාවට ජීවත් විය හැකි තරුණයන්ට අනාගතයක් තිබෙන රටක් ගොඩ නැඟිය යුතුයි. ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි . විශේෂයෙන්ම මා ආර්ථික ප්‍රවර්ධන පනත ගෙන ආවේ අපට අපනයන ආර්ථිකයක්, ඩිජිටල් ආර්ථිකයක් සහ හරිත ආර්ථියක් ඇති කිරීම තුළින් තරගකාරී ආර්ථිකයක් ඇති කිරීමේ අරමුණ ඇතුවයි. එය සැලසුම් ගණනාවක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඒ පිළිබඳව ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා. එය කඩිනමින් ආරම්භ කළ යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
මෙතැන සිටින්නේ ‘ජෙන් සී’ පරපුරයි. ඇයි ‘ජෙන් සී’ කියන්නේ? මේ සියලු දෙනා ජීවත් වන්නේ ස්මාර්ට් ජංගම දුරකතන යුගයේයි. සමහරු කියනවා මේ පරපුරට ජංගම දුරකතනය නැතුව ජීවත් වෙන්නත් බැහැ කියලා. අපේ පරපුර ඉපදුනේ බොහෝ විට නිවසේ දුරකතනයක්වත් නොතිබූ යුගයකයි. ඒ සමාජයේ සබඳතා පැවතුණේ සෘජුවමයි. ඔබේ පරපුරේ සම්බන්ධතා පවතින්නේ ජංගම දුරකතනය හා පරිගණකය මාර්ගයෙනුයි. මේ දෙක අතර විශාල වෙනසක් තිබෙනවා.
ලෝකය කියන්නේ ‘Gen Z’ is alienated from society and gove ment කියලයි. ජෙන් සී පරපුර සමාජයෙන් පිටස්තරද , එසේත් නැත්නම් සමාජයේ කොටසක් වෙනවද?
තරුණයාගේ පිළිතුර
ජෙන් සී පරපුර මේ රටේ සිටිය යුතු පරපුරක්. 1992 ඉපදුන අයෙක් ලෙස මම මේ පරම්පරා තුනම දකින කෙනෙක්. ජංගම දුරකතනය භාවිතා කර මේ මෘදුකාංග සමඟ අපේ හැකියාවන් වර්ධනය කර ගැනීමටත් ඉන් ආර්ථියක් හදා ගන්නත් හැකි ආකාරයට අපේ පරපුර හුරු වී තිබෙනවා. අපිත් මේ සමාජයේ ඉන්න පිරිසක් බව ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුර වශයෙන් මම කියනවා.
ප්‍රශ්නය
ඉන්දියාවට විදුලිය සපයන බව ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වී තිබෙනවා. ඊට කේන්ද්‍රීය ස්ථානය කර ගන්නේ යාපනය ප්‍රදේශයයි. යාපනයේ තරුණ තරුණ තරුණියන්ට ඉන් ලැබෙන ප්‍රතිලාභය කුමක්ද?
පිළිතුර
විදුලිබල කේන්ද්‍රස්ථානයක් වූ විට එම ප්‍රදේශයට නව ව්‍යාපාර , කර්මාන්ත, පැමිණෙනවා. ඒ තමයි ලැබෙන ප්‍රතිලාභය. ඒ වගේම ඉන්දියාවෙන් මුදල් එනවා. ඒ ආශ්‍රිත ප්‍රදේශ දියුණු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රන්දුල අබේවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.