Local

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකියි – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි

Thursday, 09 May 2024 - 8:09 am

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙම අදහස් පළකළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් සියලු ජාතීන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහන රැසක් හිමි වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

චීනය මෙන්ම ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වමින් මෙරට ආර්ථික සංවර්ධනයට දෙරටේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කර ඇති බවද අලි සබ්රි මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙසේද පැවසීය,

ශ්‍රී ලංකාව රටක් ලෙස නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යමින් සියලු ජාතීන් සමඟ සුහදව ගනුදෙනු කරනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයද ආරක්ෂා කර ගනිමින් සෑම රටක් සමඟ ම ගනුදෙනු කිරීම නිසා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත පහසු වූ බව සඳහන් කළ යුතුයි. චීනය, ජපානය ,ඉන්දියාව හා පැරිස් සමාජය ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා විශාල සහයක් ලබාදුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකියි.

ඒ වගේම චීනය සහ ඉන්දියාව සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට අපට හැකි වුණා. චීනය සමඟ අවබෝධතා ගිවිසුම් නවයක් මේ වනවිට අත්සන් කර තිබෙනවා. ඉන්දියාවේ ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹී සිටිනවා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ආයෝජනය කිරීමට අදානී සමාගම ඉදිරිපත්ව තිබෙනවා. සෞදි අරාබියද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් ඉන්ධන මත රැඳී තිබුණු ආර්ථිකයෙන් මිදී අනෙක් රටවල්වල ආයෝජන අවස්ථා ඇති කර ගනිමින් ඔවුන්ගේ රටවල ආර්ථිකය තවදුරටත් සංවර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අප කටයුතු කරනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය ජාත්‍යන්තර නීති රීති හා එකඟතාවලට අනුකූලව විදේශ රටවල් සමඟ සබඳතා පවත්වන නිසා ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය පිළිබඳ ජාත්‍යන්තරයට ගැටලුවක් වුණේ නැහැ. ඉරානය ලබා දුන් උමා ඔය ව්‍යාපෘතිය මඟින් මෙගාවොට් 120 විදුලි ධාරිතාවක් ලබන මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු වෙනවා. ලබන මාසයේ විදුලි බිල සංශෝධනය වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා.

ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට නම් වීසා ගාස්තු පිළිබඳ අවධානය යොමු නොකළ යුතුයි. රටවල් පනහකට පමණ නොමිලේ වීසා ලබාදීමට අවශ්‍යව තිබෙනවා. එමඟින් සංචාරක කර්මාන්තය තව දුරටත් නගා සිටුවිය හැකියි.

පසුගිය සතියේ ජපාන විදේශ අමාත්‍යවරිය මෙරටට පැමිණියා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් ජපානයේ සහාය ලබාදෙන බව ඇය ප්‍රකාශ කළා.ජපානයේ සහාය ඇතිව ආරම්භ කර මේ වන විට නවතා ඇති ව්‍යාපෘති යළි ඇරඹීමටද ජපානය එකඟතාව පළකර තිබෙනවා.

ඒ වගේම මියන්මාරයේ ජාවාරම්කරුන් භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරමින් තිබෙනවා. තවද රුසියාව- යුක්‍රේන යුද්ධය ආශ්‍රිත කුලී හමුදාවන්ට යවා ඇති අපගේ තරුණ පිරිස් බේරා ගැනීමටද රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. රුසියාවේ ආරක්ෂක අංශ සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT