Sports

ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම අර්බුදයක

Sunday, 18 August 2024 - 11:30 am

පේරු රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා සිටියද ඔවුන්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබේ.

ඒ ගුවන් ටිකට් පත් ඇතුළු ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙනි.

යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා දැක්වීමට අවස්ථාව ලැබෙන ප්‍රධානතම තරගාවලිය වන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලතින් අමෙරිකානු රටක් වන පේරු හි ලීමා අගනුවරදීය.

අගෝස්තු 27 සිට 31දක්වා පැවැත්වෙන තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13ක් සුදුසුකම් ලබා තිබුණි.

නොයෙක් දුෂ්කරතා මැද අදාළ පරිසාධන මට්ටම් පසු කරමින් ඊට සුදුසුකම් ලැබූ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනාට අවශ්‍ය වීසා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ඉන්දියාව වෙත ගොස් ලබා ගෙන තිබුණේ කෙසේ හෝ මෙරට අනාගත මලල ක්‍රීඩාව භාර ගැනීමට සැරසෙන මෙම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරගාවලියට සහභාගි කරවීමේ ඒකායන අරමුණ ඇතිවය.

එහෙත් වීසා ගැනීමෙන් පසු ගුවන් ටිකට් පත් සහ අනෙකුත් පහසුකම් සඳහා අදාළ ප්‍රතිපාදන ලබාදෙන ලෙස මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණද එහිදී ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් ඔවුන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ විදෙස් තරග සංචාර සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන අවසන් වී ඇති බැවින් ගුවන් ටිකට්පත් සහ සෙසු පහසුකම් සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දිය නොහැකි බවය.

ඒ හේතුවෙන් දැඩි දුෂ්කරතා මැද මෙවර ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනාට මෙවර එම තරගාවලිය සිහිනයක් වී තිබේ.

2022 වසරේදී කොළොම්බියාවේ පැවති ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද වීසා ගැටලුවක් හේතුවෙන් මෙවැනිම දුෂ්කරතාවකට මුහුණදීමට සිදු වු අතර අවසානයේ ඔවුන් කොළොම්බියාව වෙත ළඟා වූයේ තරගාවලිය අරම්භ වීමෙන් පසුවය.

එහිදී ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගුවන්තොටුපොළට ළඟාවූ විගසම සිය තරග ඉසව්ව වෙත යෑමට සිදුව තිබුණි.

අසාර්ථක ක්‍රීඩා ව්‍යාපෘතීන් සඳහා විශාල මුදලක් නාස්ති කරන මෙරට ක්‍රීඩා බලධාරීන් මෙරට මලල ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමට සැරසෙන මෙවැනි දක්ෂයින් නොසලකා හැරීම කණගාටුවට කරුණකි.

මෙවැනි ක්‍රියා මගින් මෙරට මලල ක්‍රීඩා අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින මෙම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ක්‍රීඩාව යළි යළිත් එපා කරවන තත්ත්වයට පත් කළහොත් මෙරට මලල ක්‍රීඩාවේ මලගම උදාවන දවස වැඩි ඈතක නොවන බවද ක්‍රීඩා බලධාරීන් සිහිතබා ගත යුතුය.

කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවැනි සුවිශේෂි තරගාවලියක් ක්‍රීඩා බලධාරින් විසින් අහිමි කරන්නේ නම් ඩන්කන් වයිට් සහ සුසන්තිකාගෙන් පසු ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් පදක්කම් දිනා දීම සිහිනයක්ම වනු ඇත.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT