Sports

ආසියාවේ නෙට්බෝල් ක්‍රීඩිකාවකට ඇඟිල්ල දිගු වූ පළමු අවස්ථාව සෙමිණිට තහනම් උත්තේජක චෝදනා

Friday, 10 May 2024 - 8:34 am

අසනීප වී බෙහෙත් ගත්තා: තහනම් දෙයක් ගත්තේ නෑ
– සෙමිණි 

දෙවැනි සාම්පලය පරීක්ෂා කරනවා: වියදම අපෙන්
– නෙට්බෝල් සභාපති

අවසරයකින් තොරව ක්‍රීඩකයන්ට බෙහෙත් ගන්න බෑ
– වෛද්‍ය ශිරෝමි පිලපිටිය

ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ඉලක්කකොට පුහුණුවීම්වල නිරතව සිටියදී ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකා සෙමිණි අල්විස් තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා එල්ල වෙයි. ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය මඟින් සිදු කළ පරීක්ෂණයකදී නෙට්බෝල් ක්‍රීඩිකාව තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇතැයි වෛද්‍ය වාර්තාවක සඳහන් වේ. මේ හේතුවෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු නිමා වනතුරු ක්‍රීඩිකාවට තරග තහනමක් පනවා ඇත. ආසියාවේ නෙට්බෝල් ක්‍රීඩිකාවකට තහනම් උත්තේජක චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ටොරින්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පුහුණුවීම් සිදු කරමින් සිටියදී ආසියානු නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් ඉලක්කකොට මේ තහනම් උත්තේජක පරීක්ෂණය සිදු කිරීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය කටයුතු කර තිබිණි.

සංචිතයේ සිටි ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අහඹු ලෙස මේ පරීක්ෂණයට යොමුකර ඇති අතර, සෙමිණි අල්විස්ගේ පරීක්ෂණයේ ‘ඒ’ සාම්පලයේ තහනම් උත්තේජක සංඝටක අඩංගු බවට තහවුරු වී ඇත. ඇනබොලික් ස්ටොරයිඩ් නම් වූ තහනම් උත්තේජකය මූත්‍රා සාම්පලයේ තිබූ බවත්, එය මාංශ පේශීන් වර්ධනයට ඉවහල්වන තහනම් සංඝටකයක් බවත් වෛද්‍ය වාර්තාවේ දැක්වේ. මේ පරීක්ෂණ වාර්තාව පෙරේදා කටාර්හි පිහිටි වෛද්‍ය රසායනාගාරය විසින් නිකුත් කර ඇති අතර, ඒ පිළිබඳ ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය දැනුම්දී තිබේ.

මේ පිළිබඳ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ක්‍රීඩිකාව ලබන 14 වැනිදා ජාතික විනය කමිටුව ඉදිරියට කැඳවා ඇති අතර, එහිදී ඇය විසින් ‘බී’ සාම්පල පරික්ෂාවට යෑමේ සූදානමක් පවතී. මේ පිළිබඳව සෙමිණි අල්විස්ගෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී පැවසුවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලබාගත් බෙහෙතක් අනුව මෙය සිදුවන්නට ඇති බවයි. “දක්ෂතා දියුණු කරගන්න බෙහෙත් ගන්න මට උවමනාවක් නෑ. හදිසියේ අසනීප වුණා. හොඳ වෙලා ඉක්මනට ප්‍රැක්ටිස් එන්න ඕන නිසා බෙහෙත් ගත්තා. මා පරීක්ෂණයට කලින් වෛද්‍යවරු දැනුම්වත් කළා. පරීක්ෂණය කළ ශ්‍රී ලංකා උත්තේජක මර්දන ආයතනයටත් මා ඒ බව කලින් කිව්වා. විනය කමිටුව ඉදිරියේ නිදහසට කරුණු කියනවා” සෙමිණි පැවසුවාය.

මේ චෝදනාවෙන් ගැලවීම උදෙසා ක්‍රීඩිකාවට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සඳහන් කළේය. අවශ්‍ය වුවහොත් ‘බී’ සාම්පල පරීක්ෂණය වෙත යොමුවන බව නෙට්බෝල් සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය පැවසුවාය. “ඇය ඉතාම දක්ෂ ක්‍රීඩිකාවක්. ආසියානු ශූරතාවලිය ළඟ ළඟම එනවා. අපට ක්‍රීඩිකාව අවශ්‍යයි. ඒ නිසා ඉදිරි පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබාදී ක්‍රීඩිකාව බේරා ගැනීමට කටයුතු කරනවා” ලක්ෂ්මි සඳහන් කළාය.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ ප්‍රධානී වෛද්‍ය ශිරෝමි පිලපිටිය මහත්මිය පවසන්නේ ක්‍රීඩිකාව නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බවය. “තහනම් උත්තේජක අඩංගු බෙහෙත් ගැන අවස්ථා කිහිපයකදීම ක්‍රීඩිකාවන් දැනුම්වත් කොට තිබෙනවා. කුමන හෝ සංචිතයක සිටින ක්‍රීඩකයෙක් අසනීපයකට බෙහෙතක් ගන්නවා නම් ක්‍රීඩා වෛද්‍ය ඒකකය දැනුම්වත් කළ යුතුයි. එහෙම පූර්ව අවසරයකින් තොරව කිසිදු බෙහෙතක් ගන්න එපා කියන පණිවිඩය මේ මොහොතේ සියලු දෙනාට යළිත් දැනුම් දෙනවා” වෛද්‍ය ශිරෝමි පිලපිටිය මහත්මිය පැවසුවාය.

මේ තහනම් උත්තේජක පරීක්ෂණයක් සිදු කිරීමේදී එක් සාම්පලයක ප්‍රතිඵලයක් ලබා ගැනීමට අමෙරිකානු ඩොලර් 250ක පමණ මුදලක් (ශ්‍රී ලංකා රුපියල් 75,107ක් පමණ) වැයවන අතර, ‘බී’ සාම්පල පරීක්ෂණය වෙනුවෙන් වියදම ක්‍රීඩිකාව විසින් දැරිය යුතුවේ. මේ ඉදිරි පරීක්ෂණවලදී ක්‍රීඩිකාව වැරදිකරු වුවහොත් වසර 5ක් දක්වා ක්‍රීඩා තහනමක් පැනවීමේ හැකියාව ජාතික විනය කමිටුවට ලැබෙනු ඇත.


Top Stories
wedivistara

හජ් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්

wedivistara

පොසොන් සතිය අදින් ඇරඹෙයි

wedivistara

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ

wedivistara

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද උදෑසන 8.00 ට අවසන්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT