International

සන්ධානයෙන් පාකිස්තානයට නායකයෙක්

Sunday, 18 February 2024 - 1:05 pm

පාකිස්තානයේ මැතිවරණය අවසන් වූයේ පසුගිය අටවැනිදාය. එදින මැතිවරණය අවසාන වන තෙක් ආසියාකරයම හුරු පුරුදු ප්‍රචණ්ඩත්වය මෙන් සාමකාමී නොවූ වටාපිටාව ලෝකයටම මැනවින් දිස්විය. ඉන් ඔබ්බට ගොස් සිතා බලන්නේ නම් දැකිය හැකි වූ මූලිකම ලක්ෂණය වූයේ මර්දනය, තමාගේ මූලික අවිය කර ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කිරීමට බලයේ සිටි පාලක පක්ෂය උත්සාහ ගැනීමයි. එයට හොඳම උදාහරණය ලෙසින් ගත හැක්කේ ජනතා ප්‍රසාදය ඉහළින්ම තිබූ ඉම්රාන් ඛාන්ගේ ක්‍රියාකාරී දේශපාලන ජීවිතය හකුළුවා දමන තැනටම ඔවුන් කටයුතු කිරීමය. ඛාන් පමණක් නොව ඔහුගේ බිරියද ඔවුන්ගේ ඉලක්කය වන තරමටම ඛාන්ගේ ජනප්‍රියත්වය අතිඋච්චතම අවස්ථාවේ පසුවිය. එය මැනවින් අවබෝධ කරගත හැක්කේ දූෂණ විරෝධී චෝදනා පමණක් නොව නීති විරෝධී විවාහයන් සම්බන්ධ කතාන්දර ද ඈඳාගනිමින් ඔහුව සිරගෙදරට කොටුකිරීමට උත්සාහ ගැනීමයි. නමුත් මින් සිදු වූයේ වියදමක් නොමැතිවම ඉම්රාන් ඛාන් තම පක්ෂයේ මැතිවරණ කටයුතු සිදු කරමින් සිටිනවා වාගේ කටයුත්තකි.

මේ ආදි කටයුතු නිසා ඉම්රාන්ගේ ජනප්‍රියත්වය තව තව ඉහළ ගිය අතර, පැවති රජයට සිදු වූයේ තමාගේ අවසන් තුරුම්පුව ද සූදුපිටියට දැමීමටය. එහි අවසානයේ සිදු වූයේ ඉම්රාන්ගේ PTI පක්ෂයට තමාගේ සලකුණින් හෝ මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වීමය. කෙසේවුව එම පක්ෂයේ අපේක්ෂකයන් අවසාන වශයෙන් තීරණයකට එළඹියේ ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වීමටය.

කොයිහැටි වෙතත් මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ ඉම්රාන්ට හා ඔහුගේ PTI පක්ෂයට බාධා පැනවූ බලධාරීන් යම් පාඩමක් ඉගෙන ගත්තාට සැක නැත. එනම් ජනතා කැමැත්ත මර්දනයෙන් පාලනය කළ නොහැකි බවයි. මැතිවරණය අවසානයේ ප්‍රතිඵලය ලෙසින් දක්නට හැකි වූයේ ඉම්රාන්ගේ PTI පක්ෂය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් ආසන වැඩි ප්‍රමාණයක් දිනාගනිමින් පළමු ස්ථානයේ සිටීමයි.

තත්ත්වය එසේ වුවද ඉම්රාන් ඛාන්ට තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ තනි බලයක් නොමැති හෙයින් අවදානම පවතින්නේ දෙවන හා තෙවන ස්ථාන දිනාගත් නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය (PML) සහ භූතෝ සර්දාරිගේ පාකිස්තාන මහජන පක්ෂය (PPL) එකතුව සන්ධාන ආණ්ඩුවක් සම්බන්ධයෙන් කතාබහක නිරතවීමයි.

පක්ෂ සමඟ සාකච්ඡා

එහෙත් මේ සමඟම ඉම්රාන්ගේ PTI පක්ෂයේ ප්‍රකාශකයා සඳහන් කර සිටියේ නවාස් ෂරීෆ්, භූතෝ සර්දාරි නියෝජනය කරන පක්ෂ සහ MQM ව්‍යාපාරය හැර අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තමාට පක්ෂ නායකත්වය දැනුම් දුන් බවයි. එපමණක් නොව ඔහු සඳහන් කරන්නේ ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පැහැදිලි අදහසක් ඉම්රාන්ට ඇති බවයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් වීදිවලට බැස උද්ඝෝෂණය කිරීමට සූදානම් වූ විට එය විසුරුවා දැමීමට පොලිසිය කටයුතු කළහ. මීට පෙරද රාවල්පිණ්ඩි නගරයේ උද්ඝෝෂණ තත්ත්වය විසිරුවා දැමීමට පොලිසියට සිදු වූයේ කඳුළු ගෑස් ප්‍රහාරයන් ද එල්ල කරමිනි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සම්බන්ධයෙන් පන්ජාබ් පොලිසිය විසින් බී.බී.සී. පුවත් සේවයට සඳහන් කර ඇත්තේ තමන් 144 වන වගන්තියට අනුව ක්‍රියාත්මක වන බවයි. එනම් එම වගන්තිය සකස් කර ඇත්තේ යටත්විජිත යුගයේදී පුද්ගලයන් හතරදෙනකුට වඩා රැස්වීම වළක්වාලන අයුරිනි.

මේ දෑ කෙසේ වෙතත් නවාස් ෂරීෆ්ගේ පක්ෂය හා භූතෝගේ පාක්ස්තාන මහජන පක්ෂය එක්ව සන්ධානයක් මඟින් ආණ්ඩු කිරීමට සාකච්ඡා කළද පළමු දිනයේදී ඔවුන්ට එකඟතාවයකට පත්වීමට නොහැකි මුත්, දෙපාර්ශ්වයම සඳහන් කරනුයේ ඉතා ඉක්මනින්ම සියල්ල විසඳෙනු ඇති බවයි. යම් හෙයකින් ඔවුන්ගේ සාකච්ඡාවන් සාර්ථක වුවහොත් අගමැතිකම ලබාදෙනුයේ කවරෙකුට ද යන්න මේ වන විටත් බේරුමක් කර ගැනීමට ඔවුනට නොහැකි විය. සියලු දෙනාම මැතිවරණයට ඉදිරිපත් වූයේ පාකිස්තානයේ අනාගත නායකයා වන සිහිනයක් සමඟිනි.

මේ නිසා නවාස් ෂරීෆ් ආසන 73ක් ජයග්‍රහණය කර අගමැතිකම බිලාවල් භූතෝ සර්දාරිට ලබාදේ යැයි විශ්වාස කළ නොහැක්කකි. එසේම සර්දාරි ද ආසන 50කටත් වඩා ජයග්‍රහණය කරමින් ඒ සියල්ල නවාස් ෂරීෆ් අගමැති සිහිනය වෙනුවෙන් පූජා කර අත පිසදා ගනිවී යැයි සිතන්නටත් බැරිය. එහෙත් එය වෙනස් විය හැක්කේ ඔවුනොවුන් බෙදා හදා ගැනීමට සූදානම් වන ඇමැති නතුරු සමඟිනි.

එහෙත් පකිස්තාන මාධ්‍ය ප්‍රකාශ කොට තිබුනේ ඔහු කිසිදු කැබිනට් ඇමැතිකමක් සමඟ හෝ සම්බන්ධ නොවන බවක් ද සඳහන් කර තිබූ බවයි. පසුගිය බ්‍රහස්පතින්දා වනතුරු පකිස්තානයේ තත්ත්වය පැවතියේ එසේය.

කොයි හැටි වෙතත් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය සහ පකිස්තාන ජනතා පක්ෂය අතීතයේදී ද සන්ධාන ආණ්ඩුවක් ගොඩනඟා ගනිමින් කටයුතු කර තිබේ. ඒ 2022 වසරේදීයි. ඔවුනට එසේ සන්ධාන ආණ්ඩුවක එක්ව කටයුතු කිරීමට ලැබුණේ 2022 වසරේදී විශ්වාසභංග යෝජනාවකින් ඉම්රාන් ඛාන් බලයෙන් පහකිරීමෙන් අනතුරුවය. මේ අනුව බලන කල මෙවර මහ මැතිවරණය පැවතියේ දේශපාලන පක්ෂ 169ක් අතර නොව පෞද්ගලිකව මොවුන් අතරයි.

තනිව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ජාතික සභාවේ ආසන 266න් 134ක බහුතරයක් පක්ෂයට හෝ සන්ධානයක් මඟින් එකතු වන කණ්ඩායමක් ලබා ගත යුතුය. මෙවර කිසිවකුටත් ඒ ආණ්ඩුව ලැබී තිබුණේ නැත. සුළු ජාතීන් සඳහා වෙන් කර ඇති ආසන 10 සහ කාන්තාවන් සඳහා වෙන් කර ඇති ආසන 60 තම තමා ලබා ඇති ආසන අනුපාතයට බෙදී ගිය ද ඉම්රාන් ඛාන්ගේ නියෝජනයක් වෙනුවෙන් එය හිමි නොවනු ඇත. මන්ද ස්වාධීන අපේක්ෂකයන් සඳහා මෙම ආසන ලබා නොදෙන බැවිනි.

ඡන්ද මංකොල්ලය

පකිස්තාන මැතිවරණය සාධාරණත්වයකින් තොරව පැවැති බව දිගින් දිගටම ඉම්රාන් ඛාන්ගේ පාර්ශ්වයෙන් එල්ල වන චෝදනාවයි. ඡන්ද ප්‍රකාශයෙන් පසු ප්‍රථම වරට මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේ සොරකම් කරන ලද ඡන්දවලින් රජයක් පිහිටුවීමේ වැරදිසහගත ක්‍රියාවට එරෙහිව තමා අනතුරු හඟවන බවත් දහවලේදී සිදු කරන ලද මෙවැනි මංකොල්ලයක් මඟින් පුරවැසියන්ට අගෞරවයක් වනවා පමණක් නොව රටේ ආර්ථිකය තවදුරටත් පහත දැමීමට සමත් වන බවකි. PTI පක්ෂය පසුගිය අඟහරුවාදා කියා සිටියේ තමා මේ වන විට ලබා තිබෙන ආසන සංඛ්‍යාව 93ක් වුවත් නිවැරැදිව ගණනය කළහොත් තමන් ආසන 180 කට වඩා ජයග්‍රහණ කර ඇති බවයි.

එහෙත් ඡන්දය විකෘති කිරීමේ චෝදනාව බලධාරීන් විසින් එකහෙළාම ප්‍රතික්ෂේප කළහ. ඔවුන් ප්‍රකාශ කරනුයේ මැතිවරණයෙන් පසු නිකුත් වූයේ ජනතාවගේ ඡන්ද ප්‍රතිඵලය මිස අන් කවරක් හෝ නොවන බවයි.

මැතිවරණ වංචාව

බලධාරීන් කෙසේ පැවසුව ද ඡන්දය වංචා වූ බව පවසමින් කරච්චි නගරයේ පළාත් සභා ප්‍රදේශයෙන් වෙනම කතාවක් ඇසෙන්නට විය.

තමා ජයග්‍රහණය කළ ද තමාට පක්ෂ වන අයුරින් ඡන්ද වංචාවක් සිදු වූ හෙයින් තමා ඉන් ඉවත්වන බව පැවසුවේ Jamaat-e- islami පක්ෂය නියෝජන කළ හෆීස් නයිම්ය.

ඔහු ප්‍රකාශ කර සිටියේ තමා ජයග්‍රහකයා ලෙසින් නම් වුවද ඔහුට වඩා ඉම්රාන්ගේ PTI පක්ෂයේ අපේක්ෂකයා තමාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනාගන්නට සමත් වූ බවයි. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව වූයේ 26,000කි. PTI සහාය ලබාගත් ස්වාධීන අපේක්ෂකයා ඡන්ද 31,000ක් ලබා ගත්ත ද අවසානයේ ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලෙසින් දක්වා ඇත්තේ ඡන්ද 11,000කි.

මේ නිසා ජයග්‍රහණය ලැබූ අපේක්ෂකයා සිය පක්ෂයේ මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇත්තේ ‘මහජන මතයට ගරු කළ යුතුය, ජයග්‍රාහකයාට දිනන්න ඉඩ දෙන්න, පරාජිතයාට පරාජය වීමට ඉඩ දෙන්න’ යනුවෙනි.

පකිස්තාන බලධාරීන් ඔහුගේ එම චෝදනාවන් ද ප්‍රතික්ෂේප කරන්නට විය.

කෙසේ වෙතත් මෙසේ සියලු කාරණා සිදු වෙමින් පවතින විට අවසානයේදී මුස්ලිම් ලීගය සහ බිලාවල් භූතෝගේ ජනතා පක්ෂය එකම රේඛාවක සිට ගන්නට සමත් විය. සියලු අපැහැදිලිතාවයන් අකාමකා දමමින් නව රජයක් පිහිටුවීමට ඔවුන් එකඟතාවයකට පැමිණියහ. විශේෂත්වය වූයේ මෙම ප්‍රධාන පක්ෂ දෙකම එක් වුවද බලය පෙන්වීමට නොහැකි නිසාවෙන් තම හවුල්කාර පක්ෂයන්ගේ සහාය ලබා ගැනීමට තීරණය කිරීමයි. එහෙත් නව ආණ්ඩුවේ අගමැතිවරයා නවාස් ෂරීෆ් නොවන අතර සියලු දෙනාගේම කැමැත්ත මත අගමැතිවරයා වශයෙන් පත් වූයේ ඔහුගේ බාල සොහොයුරා වන ෂෙන්බාස් ෂරීෆ්ය. ෂෙන්බාස් ෂරීෆ් මීට පෙර ද අග්‍රාමාත්‍යවරයා ලෙසින් කටයුතු කරනු ලැබුවේ 2022දී ඉම්රාන් ඛාන් විශ්වාස භංගයකින් පරාද කිරීමෙන් පසු පිහිටුවා ගත් ආණ්ඩුවේය. එහිදි එම රජයේ විදේශ අමාත්‍යවරයා වූයේ භූතෝය.

 
 
 
 


Top Stories
wedivistara

මෙරට ජනතාවගෙන් 45%කට අධි රුධිර පීඩනය

wedivistara

රාජ්‍ය අංශයේ දූෂණ වංචා අවම කිරීමට නව වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා – විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි

wedivistara

නවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය ලබා දෙනවා

wedivistara

ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමනයට විවෘත කරයි

wedivistara

උසස්පෙළ පන්ති ජූනි 04 වනදා ආරම්භ වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

නෙළුම් කුළුණේ Base Jump සිදුකරමින් සිටි විදේශිකයෙකු තුවාල ලබයි

wedivistara

ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමනයට විවෘත කරයි

wedivistara

ඩුබායි නුවර සිට කෝටි 18ක රන් බිස්කට් හොරෙන් ගෙනා ඉන්දියාවේ ඇෆ්ගන් කන්සියුලර් ජනරාල් මාට්ටු

wedivistara

මෙවර සාමාන්‍ය පෙළ ලිව්ව දරුවන්ට දැනුම් දීමක්

wedivistara

ඇමති ප්‍රසන්නගෙන් හබරණ තුන් නිවුන් දරුවන්ට නිවසක්

wedivistara

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්


NEWS ALERT