දකුණු බ්‍රසීලයට දින කිහිපයක් පුරා අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වේල්ලක් පුපුරා යෑමෙන් ඇති වූ ගංවතුරට හසු වී පුද්ගලයන් 30කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ රියෝ ග්‍රැන්ඩේ ඩො සුල් ප්‍රාන්තයේ තවත් පුද්ගලයන් 60 දෙනකු පමණ අතුරුදන්වී ඇති බවය.
පවතින තත්ත්වය මත එම පළාතේ නිවැසියන් 15,000ක් අධික පිරිසක් නිවාසවලින් ඉවත් වී ඇති අතර, තවත් නිවැසියන් ලක්ෂ 5කට අධික පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි ද, පානීය ජල හිඟයකට මුහුණ පා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමට හෙලිකොප්ටර් යානා යොදා ගෙන ඇති අතර, හමුදාව සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් එක්ව ගංවතුරට යටවූ නිවාසවල සිටි පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.