කැරීබියන් මුහුදේදී අධිවේගී බෝට්ටුවක් හඹා ගිය කොලොම්බියාවේ හමුදා බෝට්ටු සහ යුද ගුවන් යානා එහි තුළ තිබී කොකේන් ටොන් 5ක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ඩොලර් මිලියන 113ක් වටිනා එම කොකේන් තොගය මේ වසරේදි කොලොම්බියා හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම කොකේන් ප්‍රමාණය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කොලොම්බියාවේ ගුවන් හමුදාව සහ නාවික හමුදාව සහ අමෙරිකාවේ විශේෂ කාර්ය බළකායේ දකුණු කලාපීය ඒකකය ඒකාබද්ධව එම මෙහෙයුම සිදු කර ඇති අතර, ඒ අතරතුර අධිවේගී බෝට්ටුවේ සිටි පුද්ගලයන් එහි තුළ තිබූ කොකේන් පාර්සල් මුහුදට වීසි කිරීමට පටන් ගත් බව ද වාර්තා වේ. කොකේන් තොගය සමඟ අත්අඩංගුවට ගත් බෝට්ටුවේ සිටි කොලොම්බියානු ජාතිකයන් තිදෙනකු සහ වෙනිසියුලා සහ හොන්ඩරස් ජාතිකයන් දෙදෙනකු රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව ද වාර්තා වේ.