ඉන්දියාවේ ටාටා සමාගම ලොව සුවිශේෂී සමාගම්වලින් එකක් ලෙස හැඳින්විය හැකිය. එහි ආයතනික ආචාරධර්ම හේතුවෙන් සේවක සේවිකාවන් පමණක් නොව ඉන්දීය ජනතාවද එම සමාගම ට දක්වන්නේ දැඩි ප්‍රියතාවයකි.
ලොව විශාලතම ව්‍යාපාර දෙකක් වන ටෙට්ලි ටී සමාගම සහ ජැගුවර් ලෑන්ඩ් රෝවර් සමාගමේ හිමිකාරිත්වය දරන්නේද ටාටා සමාගමයි.
ටාටා සමාගමේ විශේෂත්වය වන්නේ එහි කොටස්වලින් 66%කම හිමිකාරීත්වය ඇත්තේ පුණ්‍ය ආයතන සතුව වීමය.
මෙම සමාගම් සමුහය එවැනි ස්ථානයකට ගෙන ඒමට එහි නිර්මාතෘ ජම්සේට්ජි ටාටා සහ ඔහුගෙන් පසුව එම සමාගම මෙහෙයවූ ටාටා පරපුරේ සියලුදෙනා දැක්වූ දායකත්වය ඇගයීම කළ යුතු දෙයක් බව විදෙස් මාධ්‍ය පැවසීය.
19 වන සියවස අගභාගයේ එක් දිනයක, ඉන්දීය ව්‍යාපාරිකයෙක් ලෙස දියුණුවෙමින් සිටි ජම්සේට්ජි ටාටා මුම්බායි නගරයේ තිබූ ඉතා මිල අධික හෝටලයකට ගොස් තිබුණි.
නමුත් වාර්තා වූ ආකාරයට ඔහුගේ සමේ වර්ණය හේතුවෙන් ඔහුට එම හෝටලයට ඇතුළුවීමට ඉඩදී නොතිබුණි.
ඉන් ඇතිවූ දැඩි සිත් තැවුල සහ ක්‍රෝධය හේතුවෙන් ඔහු තීරණය කර තිබුණේ ඊටත් වඩා හොඳ හෝටලයක් තමාම ගොඩනැගිය යුතු බවයි. එය ඉන්දීය අමුත්තන් සඳහා විවෘත කිරීම ඔහුගේ අභිප්‍රාය විය.
මුම්බායි හි 1903 දී විවෘත කළ ටජ් මහල් පැලස් හෝටලය එම හෝටලය යි. එම නගරයේ ඉදිකර ගොඩනැගිලි අතුරින් පළමුව විදුලි බලය ලබාගෙන තිබුණේ මෙයයි. එපමණක් නොව අමෙරිකාවේ නිෂ්පාදිත විදුලි පංකා, ජර්මනියේ නිෂ්පාදිත විදුලි සෝපාන, මෙන්ම ඉංග්‍රීසි ජාතික සුපවේදීන් ද එහි සිටියේය.
තවමත් මෙම හෝටලය ඉන්දියාවේ තිබෙන අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය කි.
ජම්සේට්ජි, 1939 දී Parsi (පර්සියන් ජාතිකයින්ගෙන් පැවත එන ජන වර්ගයකි.) පවුලක ඉපදී තිබේ. වාර්තා කර ඇති තොරතුරු අනුව ජම්සේට්ජි සිය ධනය වැඩිකරගෙන තිබුණේ කපු, තේ, තඹ, පිත්තල වෙළෙඳාමෙනි.
ඔහු ඔපියම් ද විකුණා ඇති බව සඳහන් ය. එකළ එය නීත්‍යානුකූල විය.
එසේම ඔහු ලොව පුරා සංචාරය කර ඇති අතර නව නිර්මාණ ගැන දැඩි උනන්දුවක් දක්වා තිබුණි.
ජම්සේට්ජි වරක් එක්සත් රාජධානියේ සංචාරයක නිරතව සිටින විට ලැන්කැෂයර් ප්‍රාන්ත කපු මෝල් වල ඇති වැදගත්කම වටහාගෙන තිබුණි.
එහිදී ඔහු තීරණය කර ඇත්තේ එවැනි කර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ ස්ථාපනය කර සිය යටත්විජිත පාලකයින් සමග තරගකළ යුතු බවයි. ඉන්දියාවේ Express Mills ස්ථාපනය වූයේ එම සංකල්පය අනූව ය.
ඉන්දියාවේ අධිරාජිනිය ලෙස වික්ටෝරියා රැජින ඔටුනු පැළඳ තිබූණේ එදින වීම විශේෂත්වයකි.
ඔහුට ඉන්දියාව වෙනුවෙන් දැක්මක් තිබූ අතර එහි සඳහන් වූයේ ස්වදේශී යන්නයි. එහි අරුත වූයේ 'අපේ රටේ නිෂ්පාදිත' යන්නයි.
ඔහුගේ ලොකුම සිහිනය වූයේ ඉන්දියාව තුළ වානේ කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමයි.
නමුත් ඔහු එම සිහිනය ජයගැනීමට පෙර ජීවිතයෙන් සමුගත්තේය.
එම අභියෝගය බාරගත් ඔහුගේ පුතා දොරාබ් ඉන්දියාව තුළ වානේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට සමත්විය. 1907 වසරේදී එහි නිෂ්පාදන කටයුතු ඇරඹිණි.
ඒ අනුව තමන්ගේම වානේ කර්මාන්ත ශාලාවක් සහිත පළමු ආසියාතික රට බවට ඉන්දියාව පත්විය.
නමුත් බ්‍රිතාන්‍ය පාලකයින් එම කර්මාන්ත ශාලාව දෙස බැලුවේ උපහාසාත්ම අයුරිනි.
එහෙත් පළමු ලෝක යුද්ධය ඇරඹීමත් සමගම ටාටා සමාගමේ නිෂ්පාදන සඳහා ඉල්ලුම වැඩිවිය. බ්‍රිතාන්‍ය පවා එම නිෂ්පාදන යොදාගනිමින් දුම්රිය මාර්ග ව්‍යාප්ත කිරීමට පියවර ගත්තේය.
ටාටා සමාගම් සිය සේවකයින්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ආරම්භයේ සිටම දැඩි අවධානයක් යොමු කළේය. නීතිමය ප්‍රතිපාදන හරහා ක්‍රියාවට නැගීමට පෙර ඔවුන් විසින් සිය සේවකයින්ගේ අයිතිවාසිකම් වෙන්වෙන් උනන්දුවක් දැක්වීය.
1877 දී ඔවුන් සේවක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හඳුන්වා දුන්නේය. පැය 8ක සේවා මුරය 1912 සිට ක්‍රියාත්මක කළ ටාටා සමාගම 1921 වසරේදී සිය සේවිකාවන් වෙනුවෙන් මාතෘ ප්‍රතිලාභ හඳුන්වා දුනි.
බැංගලෝරයේ පිහිටි ඉන්දියානු විද්‍යා ආයතනය ඉදිකිරීම සහ පවත්වාගෙන යාම සඳහා ටාටා සමුහය මූල්‍යමය සහාය ලබාදී ඇති අතර ඉන්දියාවේ ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින් බොහෝ දෙනෙක් ඒ ඔස්සේ නිර්මාණය වෙයි.
ඉන්දීය ගුවන් සේවය ආරම්භය, විදෙස් සමාගම් මිලදී ගැනීම සහ ලොව මිල අඩුම මෝටර් රථය (TATA Nano) නිර්මාණය වැනි දෑ ටාටා සමාගම ලබාදුන් දායකත්වය අතුරින් ප්‍රමුඛය.