මෑත දින කිහිපය ඇතුළත නිරිතදිග පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජීවිත රැසක් අහිමි වීම එම ප්‍රාන්තයේ දශක ගණනාවක් පුරා ඇවිළෙන කැරැල්ලක් බවත්, ඊට එකම විසඳුම ලෙස බලුකිස්තාන විමුක්ති හමුදාව එම කලාපයට ස්වාධීන පාලනයක් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එම ප්‍රාන්තයේ ක්වේටා- කරච්චි අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථ සහ වෙනත් පෞද්ගලික වාහන නවත්වා එහි ගමන් ගත් පුද්ගලයන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කර බලුකිස්තාන නොවන පුද්ගලයන් වෙඩි තබා ඝාතනය කිරීමත්, පොලිස් ස්ථාන රැසකට අත්බෝම්බ ප්‍රහාර සහ හමුදා කඳවුරුවලට පහර දී සෙබළුන් 60කට වැඩි පිරිසක් ඝාතනය කිරීමත් බලුකිස්තාන විමුක්ති හමුදාවේ ක්‍රියාවක් බවට තහවුරු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ස්වාභාවික සම්පත්වලින් සමන්විත සශ්‍රීක කලාපයක් වන බලුකිස්තානයේ සන්නද්ධ අරගලයට හේතු වී ඇත්තේ එම ප්‍රාන්තයේ ජනතාවට පාකිස්තාන රජය විසින් සිදු කරනු ලබන පීඩාවන් බවටත්, එමඟින් එම ප්‍රාන්තයේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණදී සිටින බවටත් බලුකිස්තාන විමුක්ති හමුදාව චෝදනා එල්ල කර ඇතැයි ද වාර්තා වේ.
දේශපාලන වශයෙන් කොන් කිරීම, ආර්ථික වශයෙන් සූරාකෑම, ගණන් කළ නොහැකි ප්‍රමාණයේ පුද්ගල අතුරුදන් වීම් සහ නීති විරෝධී ඝාතන එම ප්‍රාන්තයේ තරුණයන්ට ආයුධ අතට ගැනීමට හේතු වී ඇතැයි ද එම සංවිධානය නිවේදනය කර ඇතැයි වාර්තා වේ.