ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නවවන ජනාධිපතිවරණය සඳහා වූ දින වකවානු මැතිවරණ කොමසාරිස් කාර්යාලය ජූලි 26 වැනි දින ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව නාමයෝජනා ලබාදීම අගෝස්තු 15 වැනි දිනටත් ජනාධිපතිවරණය සැප්. 21 වැනි දිනටත් සිදුකෙරේ. මෙතෙක් පැවැති සෑම ජනාධිපතිවරණයක දීම ප්‍රධාන බලවේග දෙකක බලය උරගෑ අතර 2024 ජනාධිපතිවරණය ඊට වඩා වෙනස්ව ඡන්දදායකයා අන්දමන්ද කරමින් බලවේග කීපයක් වටා ඡන්දදායකයා ගොනු වී ඇති බවත් බැලූ බැල්මට මේ වනවිට පෙනී යයි. ඉකුත් ජනාධිපතිවරණය වඩා ඡන්ද ලක්ෂ දොළහක් පමණ වූ නවක ඡන්ද සංඛ්‍යාව හේතුවෙන් මුළු ඡන්ද සංඛ්‍යාව 17140334ක් තරම් වූ ප්‍රමාණයකට වර්ධනය වී ඇත.
1982.10.20 දා පැවැති ප්‍රථම ජනාධිපතිවරණය වනවිට ලංකාවේ මුළු ඡන්ද ප්‍රමාණය 8145015ක් වූ අතර ඉන් අවුරුදු 42කට පසු මුළු ඡන්ද ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අන්දම මින් පෙනේ. ආසියාවේ සර්වජන ඡන්ද අයිතිය ලැබූ මුල් රටක් ලෙස ඉතිහාස ගත වී ඇති ශ්‍රී ලංකාවේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්දය පාවිච්චි කරන සංඛ්‍යාවද මෑත වර්ෂවලදී 80%ක් ඉක්මවා තිබීම වාර්තාගත තත්ත්වයකි.
මෙහි ඇති සංඛ්‍යා දත්ත අනුව 1988 දී දෙන ලද ඡන්ද සංඛ්‍යාවත්, ඡන්දය දුන් ප්‍රතිශතයත් ඉතා අඩු අගයක් ගෙන ඇත්තේ 1988-89 පැවැති භීෂණ තත්ත්වය නිසාය. එසේ නොවන තත්ත්වයන් තුළ දිගටම අවම වශයෙන් 70%ක් ඉක්මවූ ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කර ඇත. 2015 දී 81.52% හා 2019 දී 83.72%ක් දක්වා සාමකාමී තත්ත්වයන් තුළ මෙරට ඡන්දදායකයා ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දු වී ඇති බව පෙනේ. මෙහි ඇති වලංගු ඡන්ද සංඛ්‍යාව ලෙස ගෙන ඇත්තේ දෙන ලද ඡන්ද සංඛ්‍යාවෙන් විවිධ හේතු නිසා ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව අඩු කිරීමෙන් පසු ලැබෙන අගයයි. මෙම ප්‍රතික්ෂේප වන ඡන්ද සංඛ්‍යාව ද ඡන්දයෙන් ඡන්දයට වෙනස් අගයක් ගෙන ඇත. අතීතය හා සසඳනවිට බොහෝ මෑත මැතිවරණවලදී ප්‍රතික්ෂේප ඡන්ද ප්‍රමාණය අඩු වී ඇත.
1994 දී 151706ක් ප්‍රතික්ෂේප වූ අතර 1999 දී 199536ක් ද 2005 දී 109739ක් ද 2015 දී 140925ක් ද 2019 දී 135452ක් ප්‍රතික්ෂේප වී තිබිණි. වසරින් වසර මුළු ඡන්ද සංඛ්‍යාව වැඩි වෙද්දී ප්‍රතික්ෂේප ඡන්ද ප්‍රමාණය එසේ වැඩි නොවීම ඡන්දදායකයාගේ යහපත් හැසිරීමක් පෙන්නුම් කරයි.
ජනාධිපතිවරණයක් ජයගැන්මට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් හා තවත් අවම වශයෙන් එක් ඡන්දයක් ලබාගත යුතුවේ. ඒ අනුව ලංකාවේ මෙතෙක් පැවැති ජනාධිපතිවරණ අටේ දීම ජයග්‍රාහී අපේක්ෂකයා 50%ක් ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා බලයට පත්ව ඇති අතර කිසිම අවස්ථාවක දෙවන හෝ තෙවන මනාපය ගණනය කර නැත. මෙතෙක් 50%ක් ඉක්ම වූ අඩුම ඡන්ද ප්‍රතිශතය ලබා ඇත්තේ 2005 දී මහින්ද රාජපක්ෂ මහතා විසිනි. එම ප්‍රතිශතය 50.29%ක් විය. 1988 දී ආර්. ප්‍රේමදාස මහතා ද ජයගෙන ඇත්තේ 50.43%කිනි. වැඩිම ඡන්ද ප්‍රතිශතය වූ 62.28%ක් ලබා ජය ලබා ඇත්තේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි.
මෙතෙක් පැවැති ජනාධිපතිවරණ අටෙන් 1994 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තැබූ වාර්තාව මෙතෙක් කිසිදු අපේක්ෂකයකු කඩා නැත. එනම් එම මැතිවරණයේදී දිස්ත්‍රික්ක 22ම ඇය ජය ලැබීමයි. උතුරු නැඟෙනහිර සුළු ජාතීන් බහුලව ජීවත්වන දිස්ත්‍රික්ක සියල්ලම ජය ගැන්මට ඇය සමත්විය. 1982 දී ජේ.ආර්. ජයවර්ධන යාපනය හැර අනෙක් සියලු දිස්ත්‍රික්ක ජය ගත්තේය. චන්ද්‍රිකා 1999දී මඩකළපුව, ත්‍රිකුණාමලය, වන්නි හැර ඉතිරි දිස්ත්‍රික්ක 19 ජයගත් අතර අඩුම දිස්ත්‍රික්ක ප්‍රමාණය ජය ගෙන ජනාධිපතිවරණය ජය ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාය. 2005 දී ඔහු ජයගත්තේ දිස්ත්‍රික් 22න් 11ක් පමණි. 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා දිස්ත්‍රික්ක 12/22ක් ජය ගෙන ජනාධිපතිවරණය ජය ගත්තේය.
2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා සුළු ජාතීන් බහුලව ජීවත්වන නුවරඑළිය, යාපනය, වන්නි, මඩකළපුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 06 පරාජයට පත් වූ අතර ඉතිරි දිස්ත්‍රික්ක 16ම ජයගත්තේය. 2005 දී හා 2010 දී මහින්ද රාජපක්ෂ මහතාත් ඉහත දිස්ත්‍රික්ක 06 පරාජය වූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාත් එම දිස්ත්‍රික්ක හයම පරාජය විය.
එමෙන්ම සෑම ජනාධිපතිවරණයකදීම මෙන් ජය ගන්නා අපේක්ෂකයා වැඩිම ඡන්ද ඇති දිස්ත්‍රික්ක 05 වන කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්ක 05ම ජය ගැනීම දයත් සාධක වන අතර 1988 දී ආර්. ප්‍රේමදාස මහතා පමණක් ගම්පහ, කළුතර, දිස්ත්‍රික්ක දෙක සුළු ඡන්ද ප්‍රමාණයකින් පරාජය විය. එම දිස්ත්‍රික්ක පහේ ඡන්ද සංඛ්‍යාව සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 30%ක් පමණ වීම මෙම දිස්ත්‍රික්ක ජයග්‍රහණය ජනාධිපති අපේක්ෂක ජයග්‍රහණයට හේතු සාධක වීමට බලපාන කරුණකි. අනෙක් දිස්ත්‍රික්ක 17ට වඩා මෙම දිස්ත්‍රික්කවල බලපෑම ලබාගන්නා සමස්ත මුළු ඡන්ද සංඛ්‍යාවට ඉහළ බලපෑමක් වීම ඊට හේතුවයි.
2024 වර්ෂයේ මෙවර ජනාධිපතිවරණයට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 17140000ක් ඉක්මවා ඇති අතර ඡන්දදායකයා ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය පසුගිය අවසාන ජනාධිපතිවරණ දෙකට සාපේක්ෂව සැලකුවහොත් 83%ක් පමණ විය හැක. එසේ වුවහොත් ඡන්ද 14226200ක් පමණ ප්‍රමාණයක් වලංගු ඡන්ද ප්‍රමාණය ලෙස පුරෝකථනය කළ හැක. එසේ වුවහොත් ජනාධිපතිවරණය ජය ගැන්මට මෙයින් 50%ක් හෙවත් 7113101ක පමණ ඡන්ද ප්‍රමාණයක් අපේක්ෂකයෙක් මෙවර ලබාගත යුතුවේ. මෙවැනි අති ඉහළ ඡන්ද ප්‍රමාණයක් ලබාගැන්මට නම් ඉහත සඳහන් කළ පරිදි ප්‍රධාන දිස්ත්‍රික්ක පහ ජයග්‍රහණය කළයුතු වේ. තරග කරන පක්ෂ හා අපේක්ෂකයන් පිළිබඳව තවම නිශ්චිතව සඳහන් නොවන නිසාත් අගෝස්තු 15 වැනි දා දක්වා දේශපාලන පැනිලි සිදුවන නිසාත් ඡන්ද බෙදීයෑම පිළිබඳව පැහැදිලිව නිරවුල්ව ප්‍රකාශ කිරීමට කල් වැඩිය. නමුත් ජයග්‍රාහි අපේක්ෂකයා වීමට නම් අවම වශයෙන් ඡන්ද ලක්ෂ 70කට ආසන්න ප්‍රමාණයක් ලබාගත යුතුවේ. නමුත් තුන්කොන් සටනක් වුවහොත් මෙම තත්ත්වය වෙනස් විය හැක.
බණ්ඩාරගම – සමරසේන මුදලිගේ