ප්‍රේමකීර්ති ද අල්විස් දිවියෙන් සමුගත්තේ, නොඑසේනම් ඔහුගේ දිවි තොර කළේ 1989 ජූලි 31 වැනිදාවකය. එළැඹෙන ජූලි 31 වැනිදාට ඔහු අපෙන් සමුගෙන අවුරුදු 35ක් සම්පූර්ණ වන්නේය. ඒ සා දිගු කාලයක් වුව තවමත් ඒ සොඳුරු මිනිසාත් ඔහු කළ කී දෑත් අපේ මතකයෙන් ගිලිහී නැත.
මේ සමග පළවන ලිපිය 2016 වර්ෂයේ ප්‍රකාශිත ‘සමන් කියයි’ කෘතියෙන් උපුටා ගෙන සංශෝධන සහිතව පළ කරන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් ගැන ලියැවුණු, කියැවුණු ප්‍රශස්තම සහ සොඳුරුතම කියැවීම් අතර මේ සටහන තිබෙන බැවිනි.
අද මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගොඩ වෙද්දී මගේ හිතේ ඇඳුණේ මීට බොහෝ කලකට කලින් මේ පරිශ්‍රයේ ප්‍රේමකීර්තිත්, මමත් කළ මෙහෙයුමක්. විවිධ උත්සව අවස්ථාවන්හි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එද්දී මට ඒ මෙහෙයුම මතක් වෙනවා.
ප්‍රේමකීර්ති අද හිටියා නම්, අපේ රටේ රේඩියෝවක ඔහුගේ කටහඬ ඇසෙයිද? අපේ රටේ ටෙලිවිෂනයක ඔහුගේ රූපය පෙනෙයිද? ඔහු නිර්මාණය කළ වැඩසටහන් ආකෘතියකට අද දවසේ විද්‍යුත් මාධ්‍යයේ ඉඩ කඩක් තියෙයිද?
අද රේඩියෝ ඇහෙද්දි, ටෙලිවිෂන් බැලෙද්දි බොහෝ වෙලාවට මගේ හිතේ ඒ ප්‍රශ්නය මතු වෙනවා. ප්‍රේමකීර්තිගේ සැරිසර, ශනිදා සාදය, සොඳුරු සෙවණ වගේ රේඩියෝ වැඩසටහන් පෙළකට, අඳුණ, ආයුබෝවන් වගේ ටෙලිවිෂන් වැඩසටහන් රටාවකට අද විද්‍යුත් මාධ්‍යයේ තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ බව අපි හැමෝම අත්දැකීමෙන්ම දන්නවා.
මගෙත් ප්‍රේමකීර්තිගෙත් ඇසුර උපදින තිඹිරි ගෙදර ගුවන් විදුලි සංස්ථාව. ලංකා ගුවන් විදුලි සේවය, ලංකා ගුවන් විදුලි සංස්ථාව යනුයෙන් නම් ලබන අවදිය තමයි ඔහු සහන නිවේදකයෙක් ලෙස සංස්ථා සේවයට එක් වෙන්නේ. මම ළමා ශිල්පියෙක් හැටියට ළමා වැඩසටහන් සඳහා එක් වෙන්නෙත් ඔය කාලයේදීමයි. අපි අතරේ වයස් පරතරය අවුරුදු දහයක් වුණත්, අපේ මිත්‍රත්වයට කිසිසේත්ම ඒක බලපෑවේ නෑ.
ගුවන් විදුලියට මාස්ටර්ලා තුනක්
කලින් අපි ඔහුව ප්‍රේම් අයියා කියලා හැඳින්වූවත්, මේ සමීප මිත්‍රත්වය ඇති වුණාට පස්සේ අපි ඔහුව හැඳින්වූයේ පොඩි මාස්ටර් කියලයි. ඒ කාලයේ ගුවන් විදුලිය බැබළ වූ මාස්ටර්ලා කල්ලියක් හිටියා. ඒ අතරින් විශේෂිත මාස්ටර්ලා තිදෙනෙක් හිටියා. ලොකු මාස්ටර්. මැද මාස්ටර් සහ පොඩි මාස්ටර්.
කීර්තිමත් රේඩියෝ මාධ්‍යවේදියෙකු වූ තිලක සුධර්මන් සිල්වා තමයි ලොකු මාස්ටර්. ප්‍රවෘත්ති නිවේදක අමරබන්ධු රූපසිංහ තමයි මැද මාස්ටර්. ප්‍රේමකීර්ති තමයි පොඩි මාස්ටර්. මාස්ටර් කල්ලියේ ළාබාලම සාමාජිකයන් දෙදෙනා වුණේ මමත්, කරුණාතිලක හඳුවලත්.
මා මුලින් සඳහන් කළ බණ්ඩාරනායක ශාලාවේ මෙහෙයුම මට බාර දුන්නේ ලොකු මාස්ටර්. – අපිත් එක්ක පොඩි මාස්ටරුත් ඒ වෙලාවේ හිටියා.
මොකද්ද වැඩේ? චිත්‍රපට සංස්ථාවේ ජනාධිපති සම්මාන උළෙල පිළිබඳව විශේෂ වැඩසටහනක් නිෂ්පාදනය කිරීම. මම ලොකු මාස්ටර්ට එවෙලේම කිව්වේ ඒ සම්ප්‍රදායට අනුව නිකම්ම නිකම් උත්සවය ප්‍රචාරය කරන්න අවශ්‍ය නම් වෙනින් කාට හෝ එය පවරන්න කියායි. මම මේ වැඩේට අතගහනවා නම්, වෙනස් ආකාරයකට වැඩසටහන කරන්න අවසර ලබා දෙනවා නම් විතරයි කියලා.
පොඩි මාස්ටර් නම් වූ අසාමාන්‍ය මිනිසා
මගේ මේ කතාවට පොඩි මාස්ටර් ෆුල් සපෝර්ට් එකක් දුන්නා. ‘අන්න හරි. කරපං වෙනස් විදියේ ප්‍රෝග්‍රෑම් එකක්. මමත් එනවා උඹට සහයෝගෙට.’
පොඩි මාස්ටර් එහෙම චරිතයක්. ඔහු මේ මෙහෙයුම පුරා මට දැවැන්ත සහයෝගයක් ලබා දුන්නා.
ඒ කාලේ සම්මාන උළෙලක් අවසන් වුණාට පස්සෙ තමයි, සම්මාන ලාභීන්ට ජනමාධ්‍ය වෙත අදහසක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. මට අවශ්‍ය වුණේ අපේ ගුවන් විදුලි වැඩසටහන මගින් ඔහු හෝ ඇය වේදිකාවට ඇවිත් සම්මානය ලබා ගත්තාම, ප්‍රේක්ෂකයන්ගේ අත්පොළොසන් හඬ මැකී ගිය විගස ඒ සම්මානලාභියා ගේ අදහස් දැක්වීමක් අපේ වැඩසටහනට එක් කරන්න.
හැබැයි රෑ 10 ට වැඩසටහන ප්‍රචාරය කරන්නත් ඕනෙ. එක තමයි ලොකුම ප්‍රශ්නෙ. සම්මානලාභීන් සමග සාකච්ඡා කරලා, පටිගතකිරීම් සංස්ථාවට අරන් ඇවිත් සංස්කරණය කරලා ප්‍රචාරය කරනවා නම් අඩු තරමින් රෑ 12 වත් වෙනවා. මේකට එකම විසඳුම කල් ඇතිව සම්මානලාභීන් ගැන දැන ගන්නා එකයි. ඒත් සම්මානලාභී ලේඛනය අන්තිම රහසක්.
ඉතින් මේ වැඩේ කරන හැටි ගැන මමත්, පොඩි මාස්ටරුත් වරු ගණනක් කතා කළා. අන්තිමේදී අපි දෙන්නා අවදානම් තීරණයක් අරන්, වැඩේට බැස්සා.
හවස 5 ට විතර, මමත් පොඩි මාස්ටරුත්, කරේ එල්ලා ගෙන යන ඌහර් වර්ගයේ පටිගත කිරීමේ යන්ත්‍රයත් රැගෙන සම්මන්ත්‍රණ ශාලාවට යන්නට සැරසෙද්දී ලංකාතිලක ඔළුවේ අත තියා ගත්තා. “යකෝ උඹලා ඔහොමද බීඑම්අයිසීඑච් යන්නේ?” ලංකා ඇහුවා.
පොඩි මාස්ටර්ලාට සොඳුරු ලෙස ගොදුරු වුණු ජූරි සාමාජිකයා
අපි දෙන්නා උත්සවයට පැමිණෙන අය අතරින් ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ ශිල්පීන් හා ශිල්පිනියන් කීප දෙනකුගෙන් සිනමා සම්මාන ප්‍රදානය ගැන කෙටි අදහස් කීපයක් පටිගත කර ගත්තා. ඊළඟට අපි දෑස් දල්වාගෙන බලා සිටියේ අපේ ගොදුර ශාලාවට පිවිසෙන තුරායි.
ඔන්න ඔහු එනවා. පොඩි මාස්ටර් ඉස්සරහට දිව ගොස් ඔහුව අල්ලා ගත්තා. ඔහු අප දන්නා හඳුනන විද්වතෙක්. ජූරියේ සාමාජිකයෙක්. ආචාර ධර්ම ගරු කළ යුතු නිසා මම එතුමාගේ නම සඳහන් කරන්නේ නෑ. ඔහුගෙන් අදහසක් පටිගත කර ගැනීමට අවශ්‍ය බව කියමින්, අපි ඔහුව සම්මන්ත්‍රණ ශාලාවේ හිස්ව තිබූ වේශ නිරූපණ කාමරයකට කොටු කර ගත්තා. මෛක්‍රෆෝනය එල්ල කරන් පොඩි මාස්ටර් දැන් ඔහුගෙන් සම්මාන උළෙලේ වැදගත්කම ගැන ප්‍රශ්න අහනවා. ඔහු උත්තර දෙනවා. පොඩි මාස්ටර් කලින් දුන් උපදෙස් අනුව මම මැදින් පැන්නා. “කරුමක්කාරයෝ, ගඟ අද්දර, හංස විලක්, සිරිබෝ අයියා වගේ හොඳ චිත්‍රපට ගණනාවක් තියෙද්දී ඇයි මෙවර ජූරිය තීරණය කළේ වෙනත් චිත්‍රපටයකට සම්මානය දෙන්න?” මම ඇහුවා.
“පිස්සුද? අපි සම්මාන දෙන්නේ ගඟ අද්දරටයි, සිර්බෝ අයියටයි” නොදැනුවත්වම බළලා මල්ලෙන් එළියට පැන්නා. ඒ උත්තරෙත් පටිගත වුණා.
පොඩි මාස්ටර් නල දත පෙන්නා සිනාසෙමින් ඔහුගේ නිලේටම ඇන්නා.
“ඔන්න ඔබතුමා දැන් ජූරියේ එක තීරණයක් අපිට කිව්වා. ඉතින් තව හංගන්න දෙයක් නෑ. අනික් තීරණ ටිකත් කියන්න.”
දැන් මොනවා කරන්නද? එතුමා සියලු තීරණ වැමෑරුවා. ඒවා කොළයක සටහන් කර ගත් අපි ශාලාවට රිංගා ඒ ඒ තීරණයන්ට අදාළ කලාකරුවන්ගෙන් අදහස් විමසමින් පටිගත කර ගත්තා. අපේ හිතවත් සුනිල් ආරියරත්නයන් ළඟට යද්දීම ශාලාවේ ලයිට් නිවී උත්සවය පටන් ගත්තා. සුනිල් ආරියරත්නයන්ගේ අදහස් අපි පටිගත කළේ දණ ගහගෙන.
ඒ අවස්ථාවට බැඳුණු රස මතක ගණනාවක් සිහියට ආවත්, ඒ සියල්ල පසුවට තබා මා එක් කරුණක් පිළිබඳව අවධාරණය කරන්නට කැමතියි. සම්මාන උළෙල පිළිබඳව අලුත් සම්ප්‍රදායක් ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ඇති කරන්නට අවශ්‍ය වූ මට ඒ සඳහා අනුගමනය කළ යුතු මග කියා දුන්නේ පොඩි මාස්ටර්. ජූරි සභිකයෙකු සොඳුරු ලෙස ගොදුරු කර ගන්නා ක්‍රමය සැලසුම් කළේ පොඩි මාස්ටර්. සමහර විටෙක ඒ ජූරි සභිකයාට අපි අසාධාරණයක් කළා වෙන්න පුළුවන්. නමුත්, පොඩි මාස්ටර් ඒ සැලසුම කළේ ගුවන් විදුලි ශ්‍රාවකයාට සාධාරණයක් කරන්නයි.
පසු කලෙක අපේ සම්මාන උළෙල වේදිකාවන්හිදී සම්මාන ලාභීන්ගෙන් සජීවීව අදහස් විමසිය යුතුය යන සිරිත ජනිත වන්නටත් එය හේතු වුණා.
අක්කාගේ අතේ එල්ලී විසිතුර කන්තෝරුවට ගිය පොඩි මාස්ටර්
ගුවන් විදුලි මාධ්‍යයේ පමණක් නොව ඇසුරු කළ හැම මාධ්‍යකදීම මේ අලුත් බව, මේ වෙනස මතු කරන්නට ඔහු සමත් වුණා. පොඩි මාස්ටර් ජනමාධ්‍ය භාවිතාව ආරම්භ කළේ “විසිතුර” පුවත් පතින්. අක්කාගේ අතේ එල්ලී විසිතුර කන්තෝරුවට ගිය කොට කලිසම් කොල්ලා ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මීට කලින් අවස්ථාවක මේ පර්ෂදයම සංවිධානය කළ දේශනයකදී සිහිපත් කර තියෙනවා.
පොඩි මාස්ටර් සිය “නොසැලෙන් ඉන්ද්‍රඛීලය සේ” කාව්‍ය සංග්‍රහයේ පෙරවදනෙහි මෙහෙම ලියනවා.
“මා ගුවන් විදුලි මයික්‍රෆෝනයට හුරු කළ කරුණාරත්න අබේසේකරයන් හා ලේඛන කලාවට යොමු කළ ආතර් යූ. අමරසේනයන් භක්ති පූර්වකව සමරමි.”
ඉතින් එක දවසක විසිතුරට ගිය පොඩි මාස්ටර්ට ආතර් යූ. අමරසේන – අපේ අමරේ අයියා- වැඩක් බාර දෙනවා. විදේශීය සඟරාවක කවරයේ කතාව පළවී තිබුණේ බ්‍රිජට් බ්‍රාඩෝ පිළිබඳවයි. ඒ කවරයේ කතාව ඇසුරෙන් බ්‍රාඩෝ ගැන ලිපියක් ලියන්න යැයි අමරේ අයියා පොඩි මාස්ටර්ට කියනවා.
පොඩි මාස්ටර් ඒ ඇසුරෙන් අමුතුම නිර්මාණයක් කරනවා. ඒ ලියැවිල්ල දුටු අමරේ අයියා කොටස් වශයෙන් පළකළ හැකි අයුරින් එය සකසන ලෙස පොඩි මාස්ටර්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම පොඩි මාස්ටර් ඉටු කරනවා. පත්තරේ උණු කැවුම් වගේ විකිණෙනවා.
ඔබ දන්නවාද ඒ ලිපි මාලාවේ මාතෘකාව. “බ්‍රිජට් බ්‍රාඩෝ සමග රැයක් ගත කළ නිශාන්ත ලියයි.” බ්‍රාඩෝ ගැන සාමාන්‍ය ලිපියක් බලාපොරොත්තු වුණු අමරේ අයියා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති පොඩි මාස්ටර් මේ වගේ පැත්තකට ලිපිය අරන් යයි කියලා. ඒ කාලයේ ඉඳලාම පොඩි මාස්ටර් අනික් අයට වඩා වෙනස් විදියකට, අලුත් විදියකට හිතන්න පුරුදු වෙලා හිටියා කියන එකට මේ ලිපි මාලාව හොඳ උදාහරණයක්.
වෙනස් විදියකට, අලුත් විදියකට හිතීමේ කලාව තමයි පොඩි මාස්ටර් සතුව තිබුණු බලවත්ම ආයුධය.
ඔහු රේඩියෝ මාධ්‍ය ඉතා සියුම් හා විචක්ෂණ ලෙස භාවිත කළ පුද්ගලයෙක්. ඔහු හා එක තලයක තියන්න පුළුවන් රේඩියෝ නිවේදකයන් ඉන්නේ අතළොස්සයි. ඔහු රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විස්කම් දැක්වූ පූරකයෙක්.
රේඩියෝ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසත්, පොඩි මාස්ටර් ප්‍රකට කළේ විශිෂ්ට කුසලතාවක්. ‘සොඳුරු සෙවණ’ හා ‘ශනිදා සාදය’ තමන්ටම අනන්‍ය වූ ආකෘතීන් ඔහු නිර්මාණය කර ගත්තා. සැරිසර පුවත් සඟරාව සඳහා පොඩි මාස්ටර් නිර්මාණය කළ ආකෘතිය හා සරිලන මට්ටමේ ආකෘතියක් නිර්මාණය කර ගන්න, තවමත් අපේ රටේ කිසිදු රේඩියෝ නාලිකාවකට නොහැකි වී තියෙනවා.
පොඩි මාස්ටර් ගේය කාව්‍ය නිර්මාණයේදී ද, අලුත් අලුත් මංපෙත් සොයා ගියා. අන් ගේය කාව්‍ය නිර්මාණකරුවන් ස්පර්ශ නොකළ අත්දැකීම් විෂය කර ගත්තා. ගීතයේ සම්මත ආකෘතිය බිඳ දමමින් ගීත රචනා කළා. ‘සුරංගීට දුක හිතුණා’, ‘ඔබෙ දෙතොල් පෙති ලිහී’ සහ ‘මුදු පරම සුපිවිතුරු ආදරයෙන්’ වැනි ගේය කාව්‍ය රචනා ඊට උදාහරණ කීපයක් පමණයි.
ඔහු අපූරු කවියෙක්. නමුත් අවාසනාවකට ඔහු ලියූ කවි වලින් ප්‍රකාශයට පත්වූයේ අල්පයක් පමණයි. ඔහු ප්‍රකාශයට පත්කළ එකම කවි පොත වූ ‘නොසැලෙන් ඉන්ද්‍රඛීලය සේ’ කාව්‍ය සංග්‍රහයේත් වැඩි බරක් තබා තිබුණේ හතරපද කවි වලටයි. ඔහු පුවත් පත්වලට වැඩිපුර ලීවේත් හතරපද කවි.
පොඩි මාස්ටර් නම් වූ අසාමාන්‍ය මිනිසා
ඒ වගේම පොඩි මාස්ටර් හොඳ සිත්තරෙක්. ඔහුගේ සිතුවම් සියල්ලම පාහේ කවි වලටත් වඩා සැඟවුණු ඒවා. ගුහා චිත්‍ර වගේ. ගුහාවට රිංගන්න අවසර තියෙන දෙතුන් දෙනෙකුගේ පමණක් නෙත් ගැටුණු ඒවා.
කලා ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදුණු, පැතිරුණු පොඩි මාස්ටර්ගේ ප්‍රතිභාව නිසාම වරෙක ජැක්සන් ඇන්තනී මෙන්න මෙහෙම සඳහන් කළා.
“මට නම් ප්‍රේමකීර්ති ජන කවියෙකු, මහා කවියෙකු, චින්තකයෙකු, දාර්ශනිකයෙකු, භාෂා වාදකයෙකු නොහොත් පූරකවරයෙකු වෙනවා පමණක් නොව ප්‍රායෝගික ජනමාධ්‍යකරණය පිළිබඳ මහාචාර්යවරයෙකු ද වන්නේය.”
එක පොතක් අරන් ඉස්කෝලෙ ගිය ප්‍රේමකීර්ති හැබැයි මේ මහාචාර්ය ප්‍රේමකීර්ති ඉස්කෝලේ යන අවදියේ අරන් ආවේ එකම එක එක්සයිස් පොතයි. ඔහු කිසි දවසක විෂය ග්‍රන්ථයක් ඉස්කෝලෙට අරන් ආපු නැති ශිෂ්‍යයෙක්.
හැත්තෑව දශකයේ වික්ටර් රත්නායකයන් සමීපවම ඇසුරු කළ ගීත රචකයන් තිදෙනෙක් මට මෙහිදී සිහිපත් වෙනවා.
මේ තුන් කට්ටුව තමයි බණ්ඩාර විජේතුංග, කේ. ඩී. කේ. ධර්මවර්ධන සහ අපේ කතානායක පොඩි මාස්ටර්. බණ්ඩාරෙ අතේ හැම වෙලාවෙම පොතක් තිබුණා. බණ්ඩාරේ නොසෑහෙන විදියට පත පොත ඇසුරු කළා. කේ.ඩී.කේත් එහෙමයි. ඔහුගේ අතෙත් පොතක් වරදින්නේ නෑ. හැබැයි පොඩි මාස්ටර් අතේ කවර කවදාකවත් පොතක් තියෙනවා දැකලා නෑ කියලා වික්ටර් රත්නායකයන් කියනවා. පොඩි මාස්ටර් ජීවිතේට පොතක් කියවනවා දැකලා නෑ කියලා මහාචාර්ය සුනිල් ආරියරත්නයනුත් කියනවා.
වරෙක පොඩි මාස්ටර් අප හිතවත් දයා අක්කාට – දයා ද අල්විස් – මහත්මියට මෙන්න මෙහෙම කියාපු බවක් නම් මම දන්නවා.
“මම කියවපු එකම පොත ‘ඇස් දෙක’ විතරයි.”
ඇස් දෙක පොත ලිව්වේ සෝමපාල රණතුංග. දයා අක්කා විවාහ වී සිටියේ ඔහු සමග. සෝමපාල රණතුංගයන්ගේ අකල් වියෝවෙන් කලෙකට පසුවයි, පොඩි මාස්ටර් දයා අක්කා සමග සරණ බන්ධනයට පිවිසෙන්නේ.
දයා අක්කා සමග විවාහය අසාර්ථක වී, ඔවුන් වෙන් වුණු පසු පොඩි මාස්ටර් විසූ නිවාස කීපයකම රාත්‍රිය ගතකරන්න මට සිද්ධ වෙලා තියෙනවා. නුගේගොඩ දේවාල පාරේ. වාද්දුවේ. දෙල්කඳ හන්දියේ. මේ එක ගෙදරකවත් පොත් රාක්කයක් තිබුණේ නෑ. පොඩි කාලෙත් ඔහු පත්තර කියෙව්වේ වෙනත් කාරණාවක් නිසා බව මහාචාර්ය සුනිල් ආරියත්න වරෙක සඳහන් කළා.
“සිය පුත්‍රයාට දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලබා දීම පියාණන්ගේ බලාපොරොත්තුව විය. එහෙත්, ඇඳේ හාන්සි වී ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශකයාගේ හඬ අනුකරණය කොට පත්‍රයේ පළවූ ප්‍රවෘත්ති කියවමින් උන් ප්‍රේමකීර්තිගේ සිත කලාව වෙත නැඹුරු වෙමින් තිබුණි.”
ඒ කියන්නේ පොඩි කාලේ පත්තර කියවලා තියෙන්නෙත්, ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශකයාගේ හඬ අනුකරණය කරන්නයි.
පොඩි මාස්ටර්ගේ ජීවිතය අප්‍රමාණ අර්බුද හා දුෂ්කරතාවලින් පිරුනු එකක්. විවිධ හේතු නිසා ඔහුට රැකියාව අහිමි වුණා. අවස්ථාවන් අහිමි වුණා. මිතුරන් අහිමි වුණා. පෙම්වතියන් අහිමි වුණා. පළමු විවාහය අහිමි වුණා.
හැබැයි ඔහුව ඉතාම සමීපව ඇසුරු කළ මිතුරෙක් හැටියට මට මෙහෙමත් හිතෙනවා. අහිමි වුණාද? එහෙමත් නැත්නම් අහිමි කර ගත්තාද? එහෙම හිතුවොත් පොඩි මාස්ටර් විවිධ හේතු නිසා රැකියාව අහිමි කර ගත්තා. අවස්ථාවන් අහිමි කර ගත්තා. පෙම්වතියන් අහිමි කරගත්තා. පළමු විවාහය අහිමි කර ගත්තා.
පොඩි මාස්ටර් මරදාන මාළිගාකන්ද පටුමගේ කුඩා නිවෙසක තමයි හැදුණේ වැඩුණේ. ආනන්ද විද්‍යාලයට එන්න කලින් මූලික අධ්‍යාපනය ලැබූවේ මාළිගාකන්ද මහා විද්‍යාලයේ.
අම්මාගේ අතේ එල්ලී ගුවන් විදුලියට ඔහු මුලින්ම එද්දී, එතැනට එන පාර දැන ගෙන හිටියේවත් නෑ. ඔහුගේ තනියට ආවේ අම්මා. ප්‍රේමකීර්තිවත්, අම්මාවත් ගුවන් විදුලි ආයතනය තියෙන තැන දැන හිටියේ නෑ.
පොඩි මාස්ටර් රේඩියෝ සිලෝන් එන්නේ ළමා ගායකයෙක් වෙන්න. ඒත් ගායන ශිල්පී පරීක්ෂණයෙන් අසමත් වෙන ඔහුට සිද්ධ වෙන්නේ පිටපත් කියවන්න. රේඩියෝ සිලෝන් හොයන් ඇවිත්, කරු අයියගේ ළමා පිටියේ පිටපත් කියැවීමෙන් පටන් ගත් ඔහුගේ රේඩියෝ ජීවිතයේ සංධිස්ථානයක් 1969 දී එළැඹෙනවා. ඒ කොන්ත්‍රාත් පදනම යටතේ අනියම් සම්පාදන නිලධාරී තනතුරකට පත්වීමෙන්.
1977 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් වුණාම පොඩි මාස්ටර් අනිවාර්ය නිවාඩු යවනවා. ඊට කලින් 1969 සිට 1977 දක්වා කාලය තුළ 12 වතාවක් ඔහුගේ වැඩ තහනම් වෙනවා. වර්තමානයේ සමහරු මේ වැඩ තහනම් වීම් සඳහා දේශපාලන වර්ණ ගන්වා තිබුණත්, දේශපාලන හේතුවක් පදනම් කරගෙන ඔහුගේ රැකියාව අත්හිටුවෙන්නේ 1977 දී පමණයි. ඒ දේශපාලන චෝදනා වලිනුත් ඔහු නිදහස් වෙනවා. අනෙක් සියලුම අවස්ථාවල ඔහුට බලපාන්නේ රාජකාරිමය අතපසුවීම් සහ විනය කඩකිරීම්.
ඔහුට දේශපාලන උණක් තිබුණේ නෑ. දේශපාලනඥයන්ට ආවඩමින්, ඔවුන්ගේ පිහිටෙන් තනතුරු, තාන්න මාන්න හා වරප්‍රසාද ලබාගන්නට ඔහුට අවශ්‍ය වුණේ නෑ.
පොඩි මාස්ටර් හැම විටම සේවය කළේ තමන්ගේ ශ්‍රාවකයන්ටයි. තමන්ගේ ප්‍රේක්ෂකයන්ටයි. ඔහු කිසි විටෙක දේශපාලනඥයන්ට සේවය කළේ නෑ. ජීවිතේ පුරා කිසිදු දේශපාලනයක් තිබුණේ නෑ.
ඒත්, 1977 දී පොඩි මාස්ටර්ගේ රස්සාව උදුරා ගත්තේ ඔහු ශ්‍රී ලංකා කාරයෙකු යන චෝදනාව මතයි. 1989 දී පොඩි මාස්ටර්ගේ ජීවිතය උදුරා ගත්තේ ඔහු යූඇන්පී කාරයෙකු යන චෝදනාව මතයි.
‘පවුලකට ඉස්සෙල්ලාම දුවක් ලැබෙන එක වාසනාවක්.’ පොඩි මාස්ටර් මට කිව්වා. මට එවේලේ සුරංගී සිහිපත් වුණා. පොඩි මාස්ටර්ටත් එහෙමම වෙන්න ඇති.
මරණය කලින්ම දුටු පොඩි මාස්ටර්
ලොකු මාස්ටර් පොඩ්ඩක් එහාට මෙහාට වුණු වෙලාවක ඔහු තවත් දෙයක් මට කිව්වා. ඒක මොකද්ද දන්නවද?
‘සමන්, මට සුරංගිව කවදාකවත් පෝරුවට නග්ගන්න ලැබෙන එකක් නෑ..’
‘මා එක්කලා අමනාපව වී දබර – දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර’ ගැන හුඟක් දේවල් මම දන්න හින්දා පොඩි මාස්ටර් එහෙම කියන්න හේතුව හිතා ගන්න මට අමාරු වුණේ නෑ.
“පොඩි මාස්ටර් හිතන්නේ එහෙම වෙයි කියලද?” මම ඇහුවා.
“ඔව්..” ඔහු කිව්වා.
එහෙම වෙන එකක් නෑ කියලා මම පොඩි මාස්ටර්ට කිව්වා. මේ ගැන දයා අක්කත් එක්ක කතා කරන්නම් කියලත් මම පොරොන්දු වුණා. පොඩි මාස්ටර් නල දත පෙන්නා හීනි හිනාවක් පෑවා.
පොඩි මාස්ටර් කිව්වා වගේම සුරංගී පෝරුවට නග්ගවන්න පොඩි මාස්ටර්ට ලැබුණේ නෑ.
මම එදා හිතුවේ සුරංගීව පෝරුවට නග්ගන්න බැරිවෙයි කියලා පොඩි මාස්ටර් කිව්වේ දයා අක්කා එක්ක තිබුණ විරසකය නිසා කියලයි. ඒත් දැන් මට හිතෙන්නේ ඒ කතාව ඔහු කිව්වේ වෙනත් හේතුවක් නිසාදෝ කියලයි.
මේ ළඟදී මම පොඩි මාස්ටර්ගේ ‘නොසැලෙන් ඉන්ද්‍රඛීලය සේ’ නම් කවි පොත කියෙව්වා. ඒකේ පළවෙනි කව් පෙළ ‘දාස් පෙති මල්’. කවි පෙළක් කිව්වාට ඒක කාව්‍යමය ගැදි පෙළක්.
මෙහෙමයි ඒ නිර්මාණය පටන් ගන්නේ.
‘ඔහු බිරිඳගෙන් ඈත් වී ජීවත් වේ. ඔහුට සිඟිති දියණියක් සිටී. – දියණිය සිටින්නේ බිරිඳගේ සෙවණේය. මසකට වරක් දුව බලන්නට ඔහු නිවසට යයි.’
මෙහෙම පටන් ගන්න කොටම අපිට දැනෙනවා මේ කියන්නේ පොඩි මාස්ටර්ගේ ම කතාව විත්තිය. දවසක් දුව මේ තාත්තාට දාස්පෙතියා මල් ඇට අහුරක් දීලා කියනවා ඒ ටික කොහේ හරි පැළ කරන්නය කියලා. බෝඩිමේ ඉන්න තාත්තාට ඒවා පැළ කරන්න තැනක් නෑ. ඊළඟ මාසේ දුව බලන්න ගියාම දුව අහනවා දාස් පෙතියා ඇට පැළවෙලාද කියලා. තාත්තා කියනවා අනේ නෑ දුවේ කියලා. ඒ පාර දුව ආයෙම දාස් පෙතියා මල් ඇට අහුරක් දෙනවා. ඊළඟ මාසෙත් මේකම සිද්ද වෙනවා. එදත් දුව දුන්නු දාස් පෙතියා මල් උඩ සාක්කුවේ දාගෙන ඔහු දුවගෙන් සමුගෙන එනවා.
එදා අඳුරු රාත්‍රියක්. ඔහුව වට කරගන්නා හොරු මුලක් ඔහුව මරා දමනවා. ඊට පස්සේ මළ කඳ පාළු කුඹුරක වළලා දමනවා.
පොඩි මාස්ටර් ඒ නිර්මාණය අවසන් කරන්නේ මෙහෙමයි.
‘ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු
මග බලමින් සිටියාය.
එහෙත් ඔහු ආයේ නැත.
ඔහුට කුමක් වීදැයි කිසිවෙක් නොදත්හ.’
ඊළඟට තරමක් ලොකු අකුරින් මෙන්න මෙහෙම තියෙනවා.
‘පාළු කුඹුරක දාස් පෙතියා මල් දාහක් පිපී තිබිණි.’
තමන් මිය යන්නට අවුරුදු එකොළහකට කලින් පොඩි මාස්ටර් මේ කවියෙන් ලියූවේ ඔහුගේ ජීවිතයේ අවසානය ගැන නේද කියා මට සිතෙනවා. එකම වෙනස ඔහුව ඝාතනය කළේ පිහියෙන් ඇන නොව වෙඩි උණ්ඩ වලින් වීමයි.
අකල්හී මේ ලොව අතැර යන්නට වෙන බව පොඩි මාස්ටර් දැන සිටියාද?
සුරංගී වෙනුවෙන් ලියූ දාස්පෙතියා කවියෙන් මරණය පිළිබඳව ඔහු මතු කළ කාරණය අහම්බයක් නොවන බව මට හිතෙන විත්තිය මා කිව්වේ ඒ නිසයි.
ඒ බව තහවුරු කරන තවත් සාක්ෂියක් මම ළඟ තියෙනවා. ඒ සුරංගීට තෑගි දුන්නු පොතක ලියූ සටහනක්.
මෙන්න ඒ සටහන.
“ඔබ යුවතියක් වන දින
මම – පස් ගොඩක් පමණි.
දුවේ! එය පාගන්න..”
පොඩි මාස්ටර් රේඩියෝ සිලෝන් එකට එන්නේ ගායකයෙක් වෙන්න. ඒත් ඔහුට සිද්ධ වෙන්නේ පිටපත් කියවන්නෙක්, නිවේදකයෙක් වෙන්න. ඔහු ගීත රචනයට පිවිසෙන්නෙ හිතා මතා නෙවෙයි. හදිස්සියකට අඩු පාඩුවක් පුරවන්න. ඔහු විවාහ දිවියට පිවිසෙන්නේ ලෝකයේ සිටි හොඳම පෙම්වතාගේ භූමිකාවේ සිට හොඳම ස්වාමි පුරුෂයාගේ භූමිකාවට මාරු වීමේ බලාපොරොත්තුවන්. ඒත් ඔහුගේ මුල් විවාහයේදී ඔහුට නිරූපණය කරන්නට ලැබුණේ අසාර්ථක ස්වාමි පුරුෂයෙකුගේ සහ දියණිය හැරයන්නට සිදු වුණු තාත්තා කෙනෙකුගේ භූමිකාව. ගුවන් විදුලි රස්සාවේදී, පුද්ගලික නොසැලිකිලිමත්කම් හා අධි සංවේදී බැඳීම් නිසා 12 වරක් වැඩ තහනම් වූ සංස්ථා සේවකයෙක්. රූපවාහිනිය සඳහා සුදුසු රූ සපුවක් නැතැයි කියමින්, මුල් යුගයේ රූපවාහිනී වැඩසටහන් සඳහා වැද්දා නොගත් මාධ්‍යකරුවෙක්.
ඉතින්, මා නැවතත් ඔබට යෝජනා කරන්නේ අද දවසේ මාධ්‍ය භාවිතාව තුළ පොඩි මේ අසාමන්‍ය චරිතයට කුමනාකාරයේ ඉඩක් ලැබේවිද කියා ගැඹුරින් සිතා බලන ලෙසයි. පොඩි මාස්ටර් අද සිටියා නම්, අද දවසේ රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍ය තුළ ඔහුට අසාමාන්‍ය යමක් කරන්නට අවකාශ ලැබෙයිද? නැතිනම් අර ස්ටාර්, මේ ස්ටාර් වැඩසටහන් මෙහෙයවමින් සාමාන්‍ය භූමිකාවක් නිරූපණය කරන්නටත්, ඒවා නරඹන්නට එන ප්‍රභූවරුන් ගැන ආවඩමින් ප්‍රශස්ති කියන වන්දිභට්ට චරිතයක් නිරූපණය කරන්නටත් ඔහුට සිද්ද වෙයිද? එහෙම දේකට ඔහු අකමැති වුණොත්, කලින් අවස්ථාවල වගේ වැඩ තහනම් කිරීම්, අනිවාර්ය නිවාඩු යැවීම් වගේ රැකියා ගැටලුවලට මුහුණ දෙන්න වෙයිද?
අන්තිමටම මට මෙහෙම දෙයක් හිතෙනවා.
අද වගේ දවසක පොඩි මාස්ටර්, කොට කලිසමකුත් ඇඳගෙන, අම්මාත් එක්ක රේඩියෝ සිලෝන් එක හොයා ගෙන ආවා නම් මොකක් වෙයිද කියලා.
රේඩියෝ සිලෝන් එකේ එඩ්‍රස් එකක් දන්නේ නෑ. කවුරු හරි කියන බස් එකක නැගලා මේ දෙන්නා එනවා. පොඩි මාස්ටර් ජනේලෙන් බෙල්ල දාගෙන එන්නේ රේඩියෝ සිලෝන් එකේ මහ කණුව පේනවාදැයි බලාගෙන. මහ කණුවක් දැකපු ගමන් අම්මාත් පුතාත් බස් එකෙන් බහිනවා. කණුව අනුව රේඩියෝ සිලෝන් එක හොයාගෙන යන්නට උත්සාහ කරනවා. ඒත්, මැස්ටියගේ දෝන ආමරදී ගුණතිලක අම්මාටත්, සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් පුතාටත් රේඩියෝ සිලෝන් එක හොයා ගන්න වෙන්නේ නෑ. එදා වගේ නෙවෙයි. එදා එහෙම මහ කණුවක් තිබුණේ රේඩියෝ සිලෝන් එකට විතරයි. අද කොළඹ නගරයේ හැම තැනම – කණු..!
● සමන් අතාවුදහෙට්ටි