International

සල්මාන් ඛාන් ඝාතනය කර ලංකාවට පනින්න හැදූ අපරාධ කල්ලියක් කොටුවෙයි

Monday, 03 June 2024 - 6:49 am

බොලිවුඩ් නළු සල්මාන් ඛාන් ඝාතනය කිරීමට සැලසුම් කළ ඉන්දියාවේ දරුණු අපරාධ කල්ලියක සාමාජිකයන් සිව්දෙනකු පෙරේදා (01) මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවරට යාබදව නිර්මාණය වෙමින් තිබෙන ‘නවි මුම්බායි’ නව නගරයේ පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සල්මාන් ඛාන් ඝාතනය කිරීමෙන් පසු කන්‍යාකුමාරි නගරය ඔස්සේ තමිල්නාඩු ප්‍රාන්තයට ගොස් එහි දී බෝට්ටුවක් මඟින් ශ්‍රී ලංකාවට පැන යෑම ඔවුන්ගේ සැලසුම වී තිබූ බවත් වැඩිදුර විමර්ශනයේ දී හෙළි වී ඇත.

ඝාතනය සඳහා උපදෙස් දී ඇත්තේ මේ වන විට බන්ධනාගාරගත වී සිටින ලෝරන්ස් බිෂ්නෝයි නමැති ප්‍රබල අපරාධ කල්ලි නායකයා බවත්, ප්‍රහාරය සැලසුම් කිරීම සහ මෙහෙයවීම සිදු කර ඇත්තේ ඔහුගේ සොහොයුරු අන්මොල් බිෂ්නෝයි සහ ගෝල්ඩි බ්‍රාර් නමැති ඔහුගේ සහායකයකු විසින් බවත් පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. සල්මාන් ඛාන් ඝාතනය කිරීමට ගිනිඅවි සපයා ඇති පාකිස්තාන ජාතික ජාවාරම්කරු ඩොගාර් නමැති පුද්ගලයකු බවත් නවි පොලිසිය සොයා ගෙන තිබේ. අත්අඩංගුවට පත්වූ ඝාතකයන් ධනංජේ ටපිසිං හෙවත් අජේ ක්‍යාශප්, ගෞරව් භාතියා හෙවත් නහ්වි, වප්සි ඛාන් හෙවත් වසීම් චික්නා සහ රිස්වාන් ඛාන් නමැති පුද්ගලයන් වන අතර, ඔවුන්ට ඒ සඳහා විශාල මුදලක් ලබාදීමට ලෝරන්ස් බිෂ්නෝයිගේ සොහොයුරු පොරොන්දු වී තිබූ බවද, එම මුදල් කැනඩාවේ සිට ලැබීමට නියමිතව තිබූ බව ද වැඩිදුරටත් හෙළි වී තිබේ. මුම්බායි නුවරට යාබදව පිහිටි පන්වෙල් නගරයේ දී සල්මාන් ඛාන් ගමන් ගන්නා මෝටර් රථයට ප්‍රහාර එල්ල කරමින් ඔහු ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ එරට නමගිය අපරාධ කල්ලියක් වන ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය බවත්, ඒ සඳහා ඔවුන්ට පාකිස්තාන ජාතිකයකු විසින් ඒ.කේ. 47 සහ එම්. 16 වර්ගයේ ගිනි අවි සපයා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සල්මාන් ඛාන් ඝාතන කුමන්ත්‍රණයට පුද්ගලයන් 60 – 70 අතර පිරිසකගේ සහාය ලැබී ඇතැයි ද, ඒ සෑම පුද්ගලයකුටම කුමන්ත්‍රණයට අදාළව විවිධ කාර්යයන් පවරා ඇතැයි ද නවි මුම්බායි පොලිසිය විමර්ශනවලින් සොයා ගෙන තිබේ. පන්වෙල් නගරයේ දී සල්මාන් ඛාන් ගමන් ගන්නා මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ එම නගරයේ පිහිටි ඔහුට අයත් අක්කර 150ක ගොවිපොළ වෙත යමින් සිටිය දී එම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඒ සඳහා වෙඩික්කරුවන් ලෙස ළාබාල වයසේ පසුවන පුද්ගලයන් කිහිපදෙනකු තෝරාගෙන තිබූ බව ද අනාවරණය වී තිබේ. බිෂ්නෝයි අපරාධ කල්ලියේ ප්‍රබල සාමාජික ක්‍යාශප් නවි මුම්බායි නුවර පදිංචිකරුවකු වන අතර, ඔහු සෙසු පුද්ගලයන් තිදෙනා සමඟ සල්මාන් ඛාන් ඝාතනය කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ද, එම සාකච්ඡා පන්වේල් නුවර බස් නැවතුම්පොළේ දී සහ දුම්රිය ස්ථානයේ දී සිදු කර ඇතැයි ද වැඩි දුරටත් අනාවරණය වී ඇත.

සල්මාන් ඛාන් ඝාතනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පලා යෑමටත්, අනතුරුව ආරක්ෂාකාරීව වෙනත් රටකට යෑම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට මේ වන විට කැනඩාවේ සිටින අන්මොල් බිෂ්නෝයි ඉදිරිපත් වී සිටි බව ද හෙළි වී තිබේ.

අපරාධ කල්ලි නායක ලෝරන්ස් බිෂ්නෝයි සහ ඔහුගේ කල්ලිය සල්මාන් ඛාන් ඝාතනය කිරීමේ උත්සාහයක නිරතව සිටින්නේ දශක දෙකකට වැඩි කාලයක සිටය. ඊට හේතු වී ඇත්තේ මේ සුපිරි නළුවා 1998 වසරේ දී රාජස්තාන් ප්‍රාන්තයේ ජෝද්පූර් නුවර චිත්‍රපට රූගත කිරීමකට ගොස් සිටිය දී දඩයමේ ගොස් දුර්ලභ මුවකු වෙඩි තබා මරා දැමීමේ සිදුවීමකට පළි ගැනීමටය. ඉන්දියාවට ආවේණික ‘බ්ලැක්බක්’ නමැති එම මුව විශේෂය අපරාධ කල්ලි නායකයා අයත් බිෂ්නෝයි ගෝත්‍රික ප්‍රජාවේ ආධ්‍යත්මික නායක ගුරු භගවාන් ජම්බේෂ්වර්ගේ ආත්මය බවට ඔවුන් විශ්වාස කිරීම බව ද වාර්තා වේ.

ඉන්දීය වන ජීවි පනත යටතේ පසුව අත්අඩංගුවට පත්වූ සල්මාන් ඛාන් වරින් වර බන්ධනාගාරගතවී සිටි අතර, 2018 දී එරට මහාධිකරණයෙන් වසර 5ක සිර දඬුවම් නියම කළේය. මේ වන විට ඔහු ඇප මත සිටින අතර, තීන්දුවට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනාව මේ වන විට ද විභාග වෙමින් පවතී. මීට පෙර අවස්ථා ගණනාවකදීම බිෂ්නෝයි කල්ලියේ වෙඩි ප්‍රහාරයට ලක්වීමේ අවදානමකට මුහුණ දුන් බැවින් ඔහුට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇතැයි ද වාර්තා වේ.

ෆවුස් මොහොමඩ්


Top Stories
wedivistara

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

wedivistara

සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාවට එක් වන රාජ්‍ය තාන්ත්‍රිකයින් දුම්රියෙන් මහනුවරට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

පිල්ලෙයාන් LTTE එකත් එක්ක හිටියා නම්, කොහේ හරි රටක පුරවැසිභාවයත් ලැබිලා, ඔහුව ජාතික සම්පතක් ලෙස බලාගන්න තිබ්බා - නාමල්

wedivistara

දැන් ගම්මන්පිල කියන විදියට, ප්‍රභාකරන්ව ඉවර කරලා රට එක්සේසත් කරලා තියෙන්නේ පිල්ලෙයාන් - හඳුන්නෙත්ති

wedivistara

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Trending
wedivistara

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි - රනිල්

wedivistara

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී පැවැත්වෙයි

wedivistara

2025 මුල් මාස තුනේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසු කරයි

wedivistara

පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා තියෙන්නේ ගම්මන්පිල - නලින්ද ජයතිස්ස

wedivistara

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට


NEWS ALERT