Sports

තහනම් උත්තේජක චෝදනා එල්ල වූ දික්වැල්ලට ඇත්ත කතාව ලිඛිතව කියන්න දින හතක් කල් දෙයි

Monday, 26 August 2024 - 8:54 am

නිරෝෂන් දික්වැල්ල හා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රනිල් ප්‍රේමතිලක මහතා විනය පරීක්ෂණයෙන් පසු පිටත්ව ගිය අයුරු.

තහනම් උත්තේජක භාවිත කොට එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩා කළේ යැයි චෝදනා එල්ල වූ ගෝල් මාවලර්ස් පිලේ නායක නිරෝෂන් දික්වැල්ල විනය පරීක්ෂණයේදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔහුට සතියක කාලයක් ලබාදී ඇත. තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් ඔහු විසින් විනය කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශයට අමතරව තවත් ඇත්ත කතාවක් ඇත්නම් එම ලිඛිත ප්‍රකාශය මඟින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ පසුගිය සිකුරාදා පස්වරුවේ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහාචාර්ය රෝහිණී ප්‍රනාන්දු පුල්ලේ, ආචාර්ය නිමල් ගුණරත්න යන මහත්ම මහත්මීන් සාමාජිකත්වය දරන ත්‍රිපුද්ගල විනය කමිටුව හමුවේ පෙනී සිට පැය දෙකකට ආසන්න කාලයක් පරීක්ෂණයට මුහුණ දුන්නේය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය වෙනුවෙන් නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා පෙනී සිටි අතර, එහිදී ජාතික විනය කමිටුව විසින් දික්වැල්ලට එරෙහි චෝදනාවල බරපතළකම අවධාරණය කරදී ඇත. එමෙන්ම තහනම් උත්තේජක භාවිතයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවන ශාරීරික හා මානසික හානිය ද පෙන්වාදී තිබේ.

විනය කමිටුව ඉදිරියේ සියලු චෝදනා පිළිගත් දික්වැල්ල ඔහුගේ මුත්‍රා ‘බී’ සාම්පල පරීක්ෂාව අනවශ්‍ය බව පවසා ඇත. ඔහු සිදු කළේ යැයි පවසන තහනම් උත්තේජක භාවිතය සම්බන්ධ චෝදනාව එල්පීඑල් තරගාවලිය ඉලක්කකොට සිදුවූ එකක් නොවන බවට ජාතික විනය කමිටුව හමුවේ පැවැසීමෙන් අනතුරුව, ඒ සම්බන්ධ ලිඛිත සාක්ෂි ලබාදීමට සතියක කාලයක් ලබාදී ඇත.

තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමේ අවස්ථාවට නිරෝෂන් දික්වැල්ල සමඟ ඔහුගේ නීතිඥ රනිල් ප්‍රේමතිලක මහතා ද පැමිණ සිටි අතර, ඒ මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී පැවසුවේ කරුණු විමසීම සමාප්ත වූ බවය. නිරෝෂන් දික්වැල්ල මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටි අතර, ඔහු සිනහ මුසු මුහුණින් පිටව ගියේය.

තරගයක් අතරතුරදී ලබාගත් මුත්‍රා සාම්පල පරීක්ෂණයකදී තහනම් උත්තේජක භාවිතය තහවුරුවී ඇති බැවින් ජාතික විනය කමිටුව අවම වශයෙන් සති දෙකක කාලයකදී දික්වැල්ල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරනු ඇත.

මෙයට මාසයකට පෙර නිමාවට පත්වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 12කගේ පමණ මුත්‍රා නියැදි ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පරීක්ෂාවකට ලක්කළ අතර, එයින් නිරෝෂන් දික්වැල්ලගේ පමණක් තහනම් මත්ද්‍රව්‍යයක් වන කොකේන් ධනාත්මක බව තහවුරුවී ඇත. මෙම පරීක්ෂණ වාර්තා ලද වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දික්වැල්ලට නැවත දැනුම් දෙන තුරු තාවකාලික තරග තහනමක් පැනවීය.

මේ සිද්ධියේදී දික්වැල්ල වැරදිකරු වුවහොත් සියලු ආකාරයේ ක්‍රීඩා වලින් වසර හතරක තහනමකට මුහුණ දිය යුතු අතර, පාර්ලිමේන්තු පනතකින් සම්මත කරන ලද ජාතික තහනම් උත්තේජක මර්දන වගන්ති අනුව ඔහුගේ පුහුණුකරුට එරෙහිව ද විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව පවතී.


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

wedivistara

නවකවදය නැති කරන්න කාර්යසාධක බළකායක්

wedivistara

දෙමටගොඩදී ත්‍රීරෝද රථ 06ක් හා මෝටර් රථයක් ගිනිබත් වෙයි

wedivistara

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT