ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට නව පනතක් ගෙන ඒමට රජය සැලසුම් කර තිබේ.
මෙතෙක් පැවැති 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත වෙනුවට මෙම නව පනත හඳුන්වා දීමට නියමිතය. මේ නව පනත සකස් කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර එම විද්වත් කමිටුව විසින් සකස් කරන ලද සංකල්ප පත්‍රිකාව මත පදනම්ව මේ පනත් කෙටුම්පත සකස් කිරීමට මේ වනවිට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මානත්ය ඉහළ නැංවීමට එහි පරිපාලන ව්‍යූහය ශක්තිමත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසුවේ සංචාරක ක්ෂේත්රයට අයත් ඉඩම් අක්කර 3,000ක් පමණ දේශපාලනඥයන් විසින් අවභාවිත කර ඇති බවයි. ඇතැම් ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස් කර ඇති බව ද මේවා නැවත පවරා ගෙන මේ වන විට නව අායෝජකයන් සඳහා විවෘත කර තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරුන්ගේ ආයතනයේ මහා සභා රැස්වීම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැති අතර එහි දී ඒ මහතා මේ බව කීවේය.
එහි දී ඇමැතිවරයා පැවසුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් සියලු ආයතන, දෙපාර්තමේන්තු ඒකාබද්ධ වන ව්‍යූහයක් අවශ්‍ය බවයි. එය පවතින පනත යටතේ සිදු කළ නොහැකි බැවින් මෙසේ නව පනතක් ගෙන ඒමට සැලසුම් කර ඇති අතර ඉන් පසුව කඩිනමින් ජාතික සංචාරක කොමිසමක් පිහිටුවන බව ද ඇමැතිවරයා පැවසුවේය.
මෙහි නෛතික කටයුතු ඉටු කිරීමට කාලයක් ගත වන බැවින් එතෙක් සියලු දෙපාර්තමේන්තු ආයතන ඒකාබද්ධ කර ජනාධිපති කාර්ය සාධක බළකායක් ඉදිරි සති දෙක තුළ ස්ථාපිත කරන බව ද ඒ මහතා කීවේය.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරවලට වටිනා ඉඩම් රැසක් තිබෙනවා. ඇතැම් ඒවා දේශපාලනඥයන් භාවිත කරනවා. තවත් ඉඩම් හෙංචයියන්ට බෙදා දීලා. මේවා නැවත ගන්න දැන් වැඩ කරගෙන යනවා. එසේ අවභාවිත කළ අක්කර 3,000ක් දැන් අපි නිදහස් කරගෙන තිබෙනවා. ඒ අක්කර තුන්දහසේ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දෙස් විදෙස් ආයෝජකයන්ට අපි විවෘත ආරාධනාවක් කරනවා යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.
සමන්මලී ප්‍රියශාන්ති