ගාසා තීරයට වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටීමට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිම සහ මානුෂීය ආධාර බෙදා දීම කඩිනම් කිරීම සඳහා එම සටන් විරාමය ක්‍රියාත්මක කළ යුතු බව අමෙරිකාව නිල වශයෙන් නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මීට පෙර රටවල් රැසකින් යෝජනා කළ ගාසා තීරයේ සටන් විරාමය නිෂේධ බලය භාවිත කරමින් ප්‍රතික්ෂේප කළ අමෙරිකාව මෙවැනි පියවරක් ගෙන ඇත්තේ පළමුවරට බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ගාසා තීරයේ යුද ගැටුම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට අමෙරිකාව සහාය දෙන පළමු අවස්ථාව ලෙසත් මෙය වාර්තා වේ.
ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ පසුගිය දින කිහිපය තුළ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විවේචන එල්ල කර තිබූ අතර, එරට රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායල අගමැතිවරයා හමුවීමට ගොස් ඇත්තේ එම උණුසුම් වාතාවරණය මැද බවද වාර්තා වේ.
පසුගියදා එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ආහාර සුරක්ෂිතතා තක්සේරු වාර්තාවකට අනුව සඳහන් වී ඇත්තේ ගාසා තීරයේ මිලියන 1.1 ක ජනතාවක් දැඩි සාගින්නෙන් පෙළෙන බවය.
ඊශ්‍රායලය හමාස් සංවිධානය තුරන් කිරීම සඳහා ප්‍රතිප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා ගාසා තීරයේ පුද්ගලයන් 31,900කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත.