Local

ජනතාවට බොරු නොකර IMF සමඟ විවෘත සාකච්ඡාවකට එන්න -ජනපති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියයි

Monday, 26 August 2024 - 8:26 am

IMF ගිවිසුම වෙනස් කරන්න බෑ

වෙනස් කළොත් ආර්ථිකය නැවත කඩා වැටෙනවා

-ජනපති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියයි

තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මහත්වරුන්ට අභියෝග කරන බවත්, එවිට ඔවුන් වේදිකාවල පවසන සත්‍ය අසත්‍ය දේ සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (25) පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙලෙස ද කීවේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නෑ. එසේ වුවහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. බඩු මිල අඩු කරන බවට සහ බදු අඩු කරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශවලින් ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක රටට කිරීමට යන විනාශය වහා නතර කළ යුතුයි.

බඩු මිල අඩු කිරීමට සහ බදු අඩු කිරීමට මම ද කැමතියි. නමුත් ඒ සඳහා හැකියාව ඇත්තේ රුපියල ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතාවලට අනුව කටයුතු කිරීමෙන් පමණයි. ඒ හැර වෙනත් විකල්පයක් තිබේ නම් එය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ඉදිරිපත් කර මතය විමසන ලෙස සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මහත්වරුන්ට පවසනවා.

අද ඔබ මේ ස්ථානයට රැස්ව සිටින්නේ මට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව දීමටයි. කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමත කළ යෝජනාව අද මේ සම්මේලනයේදී අනුමත කරගනු ලැබුවා. මම ඒ පිළිබඳ ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.

එක්සත් ජාතික පක්ෂය ඇති කළේ ඩී.එස්. සේනානායක මැතිතුමා. ඒ වගේම එතුමා නිදහස් ශ්‍රී ලංකාවත්, ශ්‍රී ලාංකීය අනන්‍යතාවත් ආරක්ෂා කළා. 1946 සැප්තැම්බර් මස 06 වැනිදා එතුමා ප්‍රකාශ කළා එක්සත් ජාතික පක්ෂයේ යුතුකම ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම කියලා. අප සියලු දෙනා එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස පමණක් නොවෙයි ශ්‍රී ලාංකිකයන් ලෙස එය සිතිය යුතුයි. ශ්‍රී ලංකාව නැති වුණොත් එක්සත් ජාතික පක්ෂය නැති වෙනවා. ඩඩ්ලි සේනානායක මැතිතුමාගෙන්, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් සහ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වැනි නායකයන්ගෙන් අප ලද ආභාසය එයයි. එසේ නම් ශ්‍රී ලාංකිකයකු ලෙස මේ රට බේරා ගැනීමට මම අගමැතිකම භාර ගත්තා. ඒ වගේම ජනාධිපති ධුරය භාර ගත්තා.

මම මේ වගකීම් භාර ගත්තේ එදා මේ රටේ ජනතාව ගෑස්, ඉන්ධන, ඖෂධ සහ ආහාර පෝලිම්වල දුක් විඳින අයුරු දුටු නිසයි. ජනතාව මෙවන් පීඩාවකට පත්ව සිටින අවස්ථාවක ඔවුන් ගැන අනුකම්පා කර එම ප්‍රශ්න විසඳීමට කටයුතු කළ යුතුයි. එය සිදු නොකිරීම මහත් පාපයක්. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සිදු කළේ එම පාපයයි. නමුත් අපි සියලු දෙනා එකට එක්ව රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියක් රැක දුන්නා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එහි සිටින කිසිවක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හෝ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ වැඩ කළේ නෑ. සජිත්ව පක්ෂයට ගත්තෙත් මම. ඒ නිසා ඔවුන්ට මේවා පිළිබඳ අවබෝධයක් නෑ. ඩී.එස්. සේනානායක මැතිතුමා ගැන දන්නේ නෑ. ඒ නිසා ඔවුන් පක්ෂය කඩාගෙන එළියට ගියා. ඒ පිළිබඳ පුදුම විය යුතු නෑ. අපි එක්සත් ජාතික පාක්ෂිකයන්. අප පළමුව සිතන්නේ රට ගැනයි.

මේ ආර්ථික අර්බුදයෙන් බේරීමට ඩොලර් බිලියන 03ක් අවශ්‍යයි කියා 2020 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළා . සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන කතා කළේ නෑ. එදා ඇත්ත ප්‍රකාශ කිරීම නිසා අප පරාජය වුණා. නමුත් අපට මේ ගැටලුව පිළිබඳ අවබෝධයක් තිබුණා. මම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගෙන මේ ගැටලුව විසඳිය හැකි බව මම දැනගෙන හිටියා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පිටවීමෙන් පසු කිසිවෙක් ජනාධිපතිකම ඉල්ලුවේ නෑ. මට සහයෝගය දෙන ලෙස ඉල්ලු විට සජිත් ප්‍රේමදාස සට්ටම්බිරාලගේ උපදෙස් මත ගිහින් ඩලස් අලහප්පෙරුමට සහයෝගය දුන්නා. නමුත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ එතුමාව බේරා ගන්න ඉදිරියට පැමිණියේ මම බව ඔහුට සිහිපත් කර දිය යුතුයි. එතුමා මරණයට පත්වු අවස්ථාවේ මමයි එතැනට ගියේ. ඔවුන්ට ඒවා මතක නෑ. මම මේ පක්ෂය ආරක්ෂා කර තිබෙනවා.

1971දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සමයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වා, අපි ආණ්ඩුවට සහාය දෙමු කියලා. අපි ඇහුවා, ඇයි එහෙම කරන්නේ කියලා. එතුමා කිව්වේ රට නැති වුණොත් අපට වෙන කිසි දෙයක් වැඩක් නෑ කියලයි.

1989 දී නැවත මේ කැරැල්ල ඇති වූ අවස්ථාවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සාකච්ඡාවකට කැඳෙව්වා. එතුමිය ඒ සඳහා එකඟවී සහාය දුන්නා. එවන් සිරිතක් අප අතර තිබෙනවා. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වු අවස්ථාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මා හමු වී ප්‍රකාශ කළා අපි කාවවත් ජනපති ලෙස ඉදිරිපත් කරන්නේ නෑ ඔබතුමන්ලාගේ පක්ෂයෙන් ඕන කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා. එම සිරිත් අප පක්ෂ අතර තිබෙනවා. මේවා දන්නේ නැති අය කෑ ගහනවා.

නමුත් මම මේ අභියෝගය භාර ගත්තා. අප මේ ප්‍රශ්න විසඳිය යුතුයි. ඒ සඳහා මට කණ්ඩායමක් අවශ්‍ය වුණා. රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ මහත්වරුන් මගේ රාජ්‍ය ඇමැතිවරුන් බවට පත් කර ගත්තා. ඒ වගේම අලි සබ්‍රි, කංචන විජේසේකර, බන්දුල ගුණවර්ධන ඇමැතිවරුන් ඇතුළු පිරිසක් එක් කරගෙන මම වැඩ කළා. ඒ ගමන සාර්ථක වුණා.

ආර්.එච්.එස්. සමරතුංග, නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන මහත්වරුන් සමඟ මම වැඩ ආරම්භ කළා. මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සාගල රත්නායක මහතා පත් කර ගත්තා. අපි සාර්ථකව මේ වැඩ කරගෙන ගියා. ඒ වගේම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජ්, ශාමිනි කුරේ මහත්වරුන් ද මීට දායක කර ගත්තා. මේ රටේ ආර්ථිකය බේරා ගැනීමට කටයුතු කළේ මේ පිරිසයි.

අප සියලු දෙනා කැමතියි ජනප්‍රිය තීන්දු ගන්න. නමුත් එය රටේ අනාගතයට සුදුසු නෑ. අපි රෑ වැටුණු වළේ දවල් වැටිය යුතු නෑ. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බදු අඩු කරන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා බදු අඩු කරන්න එපා කියලා. නමුත් එතුමා බදු අඩු කළා. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබුණේ නෑ.

ඔබට සැලැස්මක් තිබෙනවා නම් එය රටට කියන්න. බොරු කියන්න එපා. පක්ෂ 03ම එක්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එම සාකච්ඡාව රටට ඉදිරිපත් කරමු. එවිට ජනතාවට පුළුවන් සත්‍ය අසත්‍යතාව දැන ගන්න. ඊට පස්සේ රටේ කවුරුත් ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ලකුණු කරනවා.”

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ උප නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නීතිඥ අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්, හිටපු ඇමැති රවී කරුණානායක, හිටපු ඇමැති හරින් ප්‍රනාන්දු සහ හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.


Top Stories
wedivistara

එජාප - සජබ එක්වීමේ පළමු සාකච්ඡාව අද

wedivistara

මැදපෙරදිග කලාපයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගැනීම​ට ආරාධනයක් ලැබී තිබෙනවා - ජනපති

wedivistara

අස්වැසුම දෙවන අදියර සඳහා සංගණන කටයුතු හෙට ආරම්භ කෙරේ

wedivistara

දුම්රිය ධාවනය යථා තත්ත්වයට

wedivistara

දුම්රිය e-ප්‍රවේශපත්‍ර ජාවාරම ගැන විමර්ශන ක්‍රියාත්මකයි - ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

wedivistara

ශ්‍රි පාදස්ථානයේ සංචාරය සඳහා පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙක් ජිවිතක්ෂයට

Trending
wedivistara

UNP හා සමගි ජන බලවේගය එක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ යෝජනාවට SJB අනුමැතිය

wedivistara

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

wedivistara

විදුලි ගාස්තු 20% කින් පහතට

wedivistara

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුක​ළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවත​ට

wedivistara

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රජයෙන් සහන පැකේජයක්

wedivistara

රියැදුරන් විභාග සඳහා සූදානම් වන නිසා සවස දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බවට දැනුම්දීමක්


NEWS ALERT