කොබෝල්ට් නිධියට විදේශ රාජ්‍යයන් ඇහැගහගෙන
කොබෝල්ට්වල වටිනාකම රත්තරන්වලටත් වඩා වැඩියි
ලෝකය තුළ වේගයෙන් මිල ඉහළ යන ද්‍රව්‍යයක්
බැටරි නිෂ්පාදනය, දුරකථන උපාංග, ගුවන් යානා අමතර කොටස් නිපදවීම, වෛද්‍ය උපකරණ ආදී අලුත් තාක්‍ෂණයට බෙහෙවින්ම වැදගත්
කොබෝල්ට් නිධිය කියන්නේ ලංකාවට අයිති මුහුදු සම්පත්වලින් 1% ක් විතරයි
රටට අයිති මුහුදු සම්පත් ගැන ලංකාව තාම හරි තක්සේරුවක නෑ
ලංකාවේ මුළු ණය ඩොලර් බිලියන 100යි
ලංකාව තම අයිතීන් ආරක්‍ෂා කරගැනීමට කිසිදු අවධානයක් යොමුකර නෑ
ඉදිරි ජනාධිපතිවරණයට වියදම් මේ වගේ දෙයක් පාවිච්චි කරලා කරගන්නත් බැරි නැහැ
අපේ රටට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන්නේ කට කහනවාට නොවන වග හැඟීයන්නේ රට අභ්‍යන්තරව ඇති සම්පත් මෙන්ම මෙරටට අයත් සමුද්‍රීය තටාකය තුළ ඇති වටිනා බොහෝ දෑ දුටුවිටය. රටක පැවැත්මට හා දියුණුවට අවශ්‍ය සියලුම සාධකයන් මෙරට තුළ ඇත. කෘෂිකර්මයට ඔබින සාරවත් පසත්, හිතකර දේශගුණයත්, අත්‍යවශ්‍ය පාරිසරික සාධක ආදියෙන් අනූන වූ මෙවන් රටක නිෂ්පාදන ක්‍රියාවලිය ගැන කිනම් කතාදැයි හැඟෙන්නේ එතරම් මෙරට ඒ සියල්ලකින්ම ස්වයංපෝෂිත නිසාය. අපේ රටට විදේශිකයන්ගේ ඇස ගැටෙන්නේද මෙකී හේතු කාරණාද පෙරදැරිකොටගෙනය. තවද ස්වභාවික වරායන්, මුතු මැණික්, ඇත්දළ, ඛනිජ සම්පත්, පෞරාණික ස්ථාන ආදියද අතීතයේ සිටම විදේශිකයන්ගේ ඉලක්ක වූ බව පැහැදිලිය. එවැනි මිල කළ නොහැකි වස්තූන්වලින් සපිරි ශ්‍රී ලංකාව කිහිපවරකදී විදේශිකයන්ගේ ආක්‍රමණයන්ට යටත් වූ බවද මෙරට සතු සම්පත් ඔවුන්ගේ ග්‍රහණයට ලක්වී මෙරට සතු වටිනා වස්තූන් නැව් පිටින් විදේශවලට රැගෙන ගිය බවද ඉතිහාසය සාක්‍ෂි දරන්නේය. මෙසේ දීර්ඝ කලක් යටත්විජිතයක්ව තිබූ මෙරට විදේශිකයන් විසින් එහි සියලු සම්පත්ද සූරා කා හප කර දැමීය. යළි 1948 න් පසු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වන ශ්‍රී ලංකාවේ මිහිතලයේ ද රටට අයත් සමුද්‍ර කලාපය තුළද තවත් වටිනා බොහෝ දෑ ඉතිරිව ඇත්තේය. මේ අප කියන්නට යන්නේද රටක් ආර්ථික අර්බුදයෙන් ගොඩදැමිය හැකි එවන් අසීමිත වටිනාකමක් ඇති රටට අයිති දෙයක් ගැනය. ඒ අන් කිසිවක් නොව ශ්‍රී ලංකාවට අයත් කොබෝල්ට් නිධියයි.
කොබෝල්ට් නිධියත් ලෝක බලවතුන්ටද?
මෙරටට අයත් මහාද්වීපතටකයේ පිහිටා ඇති වර්ග සැතපුම් 1500 ක් පමණ විශාල වූ කොබෝල්ට් නිධිය ගැන ඉන්දියාව හා චීනය ඉව අල්ලමින් සිටින බවට මේ වනවිට තොරතුරු ලැබෙමින් ඇත. ශ්‍රී ලංකාවට අයත් මෙම කොබෝල්ට් නිධිය පිළිබඳ ඉන්දියාව හා චීනය දීර්ඝ පර්යේෂණ සිදුකරද්දී රටක් වශයෙන් ශ්‍රී ලංකාව ස්වකීය අයිතිය තහවුරු නොකරමින් සිටින ආකාරයක්ද දක්නට ඇත. එසේම මෙරටට අයත් මහාද්වීපතටකයේ අයිතිය නිරවුල් කරගැනීම සඳහා ද උත්සාහයක් ගන්නා වගක් නොපෙනීමෙන් මෙරට සතු සම්පත් කුණු කොල්ලයට විකිණීමේ තැතක්ද යන ප්‍රශ්නය දැන් පැන නැගී ඇත. තවද රටක් වශයෙන් මෙරට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීම සඳහා රටේ පාලකයන්ට කිසිදු වුවමනාවක් නොමැති බවද මෙම කොබෝල්ට් නිධියේ අයිතිය තහවුරු නොකිරීම හමුවේ තහවුරු වී ඇත.
ලංකාවේ මුළු ණය ඩොලර් බිලියන 100යි
ඩොලර් බිලියන 80 කට කොබෝල්ට් නිධිය කොල්ලයක්
මෙරට සමස්ත ණය බර ඩොලර් බිලියන 100 ක් වනවිට මෙරටට අයත් කොබෝල්ට් නිධියේ දළ වටිනාකම ඩොලර් බිලියන 80 ක් පමණ බව පසුගියදා මාධ්‍ය හමුවේ ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ පරිසර කමිටුවේ සභාපති නීතිඥ ආචාර්ය රවීන්ද්‍ර දාබරේ මහතා පැවැසීය. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මෙරටට අයත් මුහුදු සීමාවේ පිහිටා ඇති කොබෝල්ට් ඛනිජ නිධිය පැහැර ගැනීමට විදේශ රාජ්‍යයන් කිහිපයක්ම මේ වනවිට දැඩි උත්සාහයක නිරත වී ඇති බවය. එහෙත් ශ්‍රී ලංකාව තම අයිතීන් ආරක්‍ෂා කර ගැනීමට හා ඒ කෙරෙහි කිසිදු අවධානයක් රටක් වශයෙන් තවමත් යොමු කරන නැති බවද ඔහු කියන්නේය. මේ පිළිබඳ අප ඔහුගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ මෙවැන්නකි.
“දැනට අපි එක්සත් ජාතීන්ගේ කොමිසමෙන් නීත්‍යානුකූලව ඉල්ලා තිබෙනවා ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආර්ථික කලාපයේ තිබෙන මේ කොබෝල් නිධිය ආශ්‍රිත ප්‍රදේශ පිළිබඳව අයිතිය ලබාගැනීමට. එම ඉල්ලීමට මේ වනවිට ඉන්දියාව විරුද්ධත්වය දක්වලා තිබෙනවා. බංගලාදේශය, මාලදිවයින වැනි රටවල් කිහිපයක්ම මෙයට විරුද්ධත්වය පළකරලා තිබෙනවා. නමුත් ඒ අතරෙ ඉන්දියාව ජාත්‍යන්තර මුහුදු පතුල පිළිබඳ අන්තර්ජාතික අධිකාරියෙන් අවසර ඉල්ලලා තිබෙනවා ඒ ආශ්‍රිත කැණීම් සිදුකරන්න. ඒ අවුරුදු 15 කට. මම කියන්නේ අපේ රටට අයිති දෙයක් මේ විදිහට ඉන්දියාව නවත්වලා ඒ කලාපයේ බලවතා හැටියට ඒ අය කරන වැඩෙන් අපිට ලොකු ආර්ථික පාඩුවක් සිදුවෙනවා. මේක මහා විශාල කොබෝල් නිධියක්. මෙහි වටිනාකම රත්තරන්වලටත් වඩා වැඩියි. කොබෝල්ට් කිව්වහම වර්තමාන ලෝකය තුළ ඉතා වේගයෙන් මිල ඉහළ යන ද්‍රව්‍යයක්. ඉලෙක්ටි්‍රක් බැටරි, දුරකථන ආදී අලුත් තාක්‍ෂණයට අතිශ්‍යයින්ම මේවා වැදගත් වෙනවා. එතරම් වැදගත් කමක් තියෙන නිසා තමයි අපි මේ පිළිබඳව දැඩි උත්සාහයක් ගන්නේ අපේ රටට ලබාගන්න. මේක රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වෙන්නට ඕන ප්‍රශ්නයක්. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට වියදම් මේ වගේ දෙයක් පාවිච්චි කරලා කරගන්නත් බැරි නැහැ. සමහර වෙලාවට මේ ප්‍රශ්නයේදී කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් කෝටි කීයක් හෝ සාක්කුවේ දමාගෙන පැත්තකට වුණොත් කියන ප්‍රශ්නයත් දැන් මතුවෙලා තිබෙනවා.
ඔහු කියන්නේ අපේ රටට හිමිවීමට නියමිත මෙම සාගර කලාපය තුළ පිහිටා ඇති කොබෝල්ට් නිධිය හරුණු විට එහි තවත් වටිනාකමක් ඇති වෙනත් ඛනිජ නිධිද පිහිටා ඇති බවය. එවැනි වටිනාකමක් සහිත ඛනිජ නිධි සම්බන්ධව රටක් වශයෙන් ශ්‍රී ලංකාව ගවේෂණය නොකරමින් සිටින අවධියක ඒ පිළිබඳ ලොව බලවත් රටවල් අවධානය යොමු කර ඇති බවයි. එහෙත් ශ්‍රී ලංකාව ඒ පිළිබඳ හොරගල් ඇහිලීමේ පිළිවෙතක් අනුගමනය කර සිටින්නේ දේශපාලන වාසි තකා යැයිද යන්න ඔහුගේ මතයයි. තවද මෙරටට හිමි සාගර සම්පත් ගැන නිසි අවබෝධයක් නොමැතිවීමෙන් කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් රටට අහිමිවීමේ තර්ජනයට මුහුණු පා ඇති බවද ඔහුගේ කතාවෙන් පැහැදිලිය.
“මේ කියන ප්‍රදේශයේ බොහෝ ආර්ථිකමය වටිනාකමක් ඇති ඛනිජ නිධි විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. කොබෝල්ට් නිධිය කියන්නෙ එතනින් එකක් විතරයි. මේ කලාපය තුළ තනිකරම තිබෙන්නේ අවසාදිත තැන්පත් වෙච්ච මහා විශාල නිධි ප්‍රමාණයක්. ලෝකය ගත්තහම මේ වගේ විශාල නිධි ප්‍රමාණයක් තියෙන මුහුදක් තියෙන රට වෙන්නේ ලංකාව විතරයි. රටක් හැටියට අපේ රටේ තියෙන දේශගුණය හා රටේ සම්පත් ගැන කතා කළාට අපේ රටට අයිති මුහුදු සම්පත් ගැන අපි හරි තක්සේරුවක් නෑ. ඒක තමයි තියෙන ප්‍රශ්නය. හරියට බැලුවොත් අපේ රටට හිමි මුහුදු සම්පත ඉතා විශාලයි. ප්‍රශ්නය අපි හරියට ගවේෂණය කරන්නෙ නැති එක. මේ සම්පතේ වටිනාකම ඩොලර් බිලියන කීයද කියන්නත් බැරි තරම් මහා විශාල සම්පතක් අපට තිබෙනවා. කොබෝල්ට් නිධිය කියන්නේ අපට තියෙන මුහුදු සම්පත් වලින් 1% ක් විතරයි. ඉන්දියාවේ ගංගා හාරසිය ගණනක් තිබෙනවා. බංගලාදේශයේත් එහෙමයි. ඔය කියන ගංගා හිමාලය වගේ කඳුවලින් ගලාගෙන ඇවිත් එහි ඇති අවසාදිත ඛනිජ ලවන වර්ග ඔක්කොම තැන්පත්වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුහුද වටේ. මේවා පිහිටන්නේ කඳු වශයෙන්. සමහර කඳු කිලෝමීටර් ගණන් දිගයි. ඉතින් මේ හැම දෙයක්ම රටක් වශයෙන් අපි ගවේෂණය කරන්නේ නැති ප්‍රශ්නයක් තිබෙනවා. ගොඩක් දෙනකුට මේ ගැන තේරෙන්නේ නැති ප්‍රශ්නයකුත් තිබෙනවා. මුහුදු සම්පත ගැන අපේ රටට වඩා දැනුමක් තිබෙන බලවත් රටවල් මෙම සම්පත් ඩැහැගන්නට දැන් ක්‍රියාකරමින් සිටින්නේ. තවමත් අපේ රටට කොබෝල්ට් නිධියේ අයිති ලැබෙන්න ප්‍රමාද වී තියෙන්නේ ඉන්දියාව වගේ රටවල් විරෝධය දක්වන නිසා. ඒ අය හදන්නේ එම නිධිය ඒ අයගේ කරගන්න. මේක අපේ රටට වෙන බලවත් අසාධාරණයක්.” ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ පරිසර කමිටුවේ සභාපති නීතිඥ ආචාර්ය රවීන්ද්‍ර දාබරේ මහතා පවතින තත්ත්වය කිව්වේ එසේය.
මොකක්ද මේ කොබෝල්ට් නිධිය
බිලියන 80 ක කොබෝල්ට් නිධිය කොල්ලයකට සූදානම්...කටක් නොඇර හිටියට රටක් ගොඩ දැමිය හැකි නිධියක් කොබෝල්ට්
ලංකාවේ කොබෝල්ට් නිධිය ගැන මුලින්ම කතාබහට ලක්වන්නේ ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි ‘කොබෝල්ට්’ ඛනිජ නිධියේ අයිතිය තහවුරු කර ගැනීම පිණිස ඉන්දියාව හා චීනය දැඩි මෙහෙයුමක නිරතව සිටින බව අල්ජසීරා මාධ්‍ය ජාලය වාර්තා කිරීමත් සමගය. ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 1150 ක් පමණ වූ මෙම කොබෝල්ට් නිධිය කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවට අයත් මහාද්වීපතටකය තුළ පිහිටා ඇත්තේය. කොබෝල්ට් නිධිය ගැන කතා කරන විට එහි වටිනාකම කතා කිරීමද අත්‍යවශ්‍ය කාරණයකි. කොබෝල්ට් යනු ලෝකයේ තිබෙන මිල අධිකම ඛනිජ ද්‍රව්‍යයන්ගෙන් එකකි. කොටින්ම කිවහොත් කොබෝල්ට් ඛනිජය ලෝක ආර්ථිකයේ රත්‍රංවලට පමණක් දෙවැනි වන බවද විද්‍යාඥයන් පෙන්වාදී ඇත. ලොව පුරා මේ වන විටද කොබෝල්ට් සැපයුම් දාමයේ ආධිපත්‍යය හිමිකරගෙන සිටින්නේද ලොව බලවත් රාජ්‍යයක් වන චීනයය. මෙම ඛනිජ සම්පතෙහි වැදගත්කම ගැන කතා කරන විට මෙහි ප්‍රධානම වටිනාකම වන්නේ හරිත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සඳහා ලොව විසඳුම් සොයා යන අවධියක එයට පිළියමක් ලෙස ලොව දියුණු බැටරි තාක්‍ෂණය නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම ඛනිජ විශේෂයක් වන්නේද කොබෝල්ට්ය. මෙවන් ආර්ථික වටිනා කමක් ඇති මෙරටට අයත් කොබෝල්ට් නිධිය ගැන ලොව බොහෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ද ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ගොඩයා හැකි නිධානයක් බඳු කොබෝල්ට් නිධානයක් ඉන්දියන් සාගරයේ පවතින බවය. ඉන්දියාව හා චීනය මෙම නිධිය පිළිබඳව දීර්ඝ පර්යේෂණ සිදුකරද්දී ශ්‍රී ලංකාව ස්වකීය අයිතිය නොඉල්ලා සිටීම හා හොරගල් ඇල්ලීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමද ඇත්තෙන්ම සැක සහිතය.
කොබෝල්ට් නිධිය අපට අකැපද?
පසුගිය කාලය තුළ කිහිප අවස්ථාකදී චීන පර්යේෂණ නෞකා ඉන්දියන් සාගරයේ කළ පර්යේෂණවල සැඟවුණු රහස මෙම කොබෝල්ට් නිධිය බවද මේ වනවිට හෙළිවෙමින් ඇත. නමින් ‘ඇෆනසි නික්ටින් සී මවුන්ට්’ (afanasy nikitin Seamount) හඳුන්වන ඛනිජ නිධිය පිහිටා ඇත්තේ ඉන්දියන් සයුරේ ශ්‍රී ලංකාවට සැතපුම් 650ක් ඈතිනි. මෙම ඛනිජ පරයට ඉන්දියාවේ දකුණු වෙරළේ සිට සැතපුම් 850 ක් දුරක් ඇත. මාලදිවයිනේ සිට සැතපුම් 680 ක් දුරය. ශ්‍රී ලංකාවට අයත් සාගර සීමාව ලෙස සැලකෙන්නේ දකුණු වෙරළේ සිට සැතපුම් 200 ක් ඇතුළත් මහද්වීප තටකයයි. මෙම කොබෝල්ට් නිධිය ඇත්තේද ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඉලක්කගතවය. මෙම කොබෝල්ට් නිධිය පිහිටා ඇති ප්‍රදේශය මෙරටට අයත් මුහුදු සීමාවට තවමත් අයිති නොවුණද ජාත්‍යන්තර නීතිය යටතේ ඊට වැඩි හිමිකමක් ඇත්තේද ශ්‍රී ලංකාවටය. එහෙත් මෙම කොබෝල්ට් නිධිය පිළිබඳ භෞතික විද්‍යාත්මක හා ජීවවිද්‍යාත්මක සහ සාගර විද්‍යාත්මක අධ්‍යයනයන් සිදුකිරීම සඳහා අසල්වැසි ඉන්දියාව දැනටමත් අයැදුම්පත් ඉදිරිපත් කොට හමාර වී ඇත. එම අවසරය ලබාගැනීමට ඉන්දියාව ඩොලර් ලක්‍ෂ 5 ක මුදලක් තැන්පත් කර ඇති බවද සඳහන්ය. එහෙත් එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය ඊට අනුමැතිය ලබාදී නොමැත. එයට හේතුව වී ඇත්තේ මෙම ඛනිජ සම්පත පිහිටා ඇත්තේ වෙනත් රටකට අයත් මහද්වීප තටකය තුළ පිහිටා ඇති බැවින්ය. එම තීරණයෙන්ද ගම්‍ය වන්නේ මෙම කොබෝල්ට් නිධියේ සාඩම්බර හිමිකරුවා ශ්‍රී ලංකාව බවය. එක්සත් ජාතීන්ගේ ෂී් සංවිධානයට අනුව චීනය, ජර්මනිය හා දකුණු කොරියාව දැනට ඉන්දියානු සාගරයේ විවිධ ප්‍රදේශවල සාගර පත්ලේ ගවේෂණ කටයුතු සඳහා අනුමැතිය ලබාගෙන ඇත. ශ්‍රී ලංකාවට අයත් නාවික සැතපුම් 200 දක්වා වූ සමුද්‍ර සීමාව තවදුරටත් දීර්ඝ කරන ලෙස ඉල්ලා 2009 වර්ෂයේදී ඉල්ලා ඇත. එම කාලය තුළ මෙකී අසල්වැසි ඉන්දියාව ඒ සඳහා විරුද්ධව ප්‍රතිචාර දැක්වා තිබුණේද නැත. තවද පාකිස්තානය, ඔස්ටේ්‍රලියාව හා නෝර්වේ රාජ්‍යයන් ඔවුන්ගේ වෙරළ සීමාවේ සිට නාවික සැතපුම් 200 න් ඔබ්බට විහිදෙන සමුද්‍ර ප්‍රදේශ පිළිබඳ අයිතිවාසිකම මේ වනවිටද ලබාගෙන ඇත. එහෙත් 2009 වර්ෂයේදී ලංකාවේ ඉල්ලීමට විරුද්ධත්වය නොදැක්වූ ඉන්දියාව 2022 වර්ෂයේ ශ්‍රී ලංකා චර්යා රටා ඉන්දියාවට අනන්‍ය වූ අවශ්‍යතාවලට හානිකර වීමට ඉඩ තිබෙන බව කියා සිටින්නේය. දැන් ඔවුන් ලංකාවේ ඉල්ලීමට අනුමැති නොදෙන ලෙස CLCS කොමිසමෙන් ඉල්ලා ඇත. එමෙන්ම මෙරට ඉල්ලීම CLCS සංවිධානය පිළිගතහොත් කොබෝල්ට් ඛනිජ නිධිය ශ්‍රී ලංකාවේ නාවික සීමාව අයත් වනු ඇත. එවිට එම ඛනිජ සම්පතෙහි පූර්ණ අයිතිකරුවා වන්නේද ශ්‍රී ලංකාවය. එහෙත් මෙවැනි තත්ත්වයක් තිබියදී රටක් වශයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන වැනෙනසුළු ප්‍රතිපත්තිය අපේ රටට බලවත් අවාසිදායක තත්ත්වයක්ද ගෙන එන්නේය. නිවැරදි විදේශ ප්‍රතිපත්ති අනුගමනය නොකරන මෙරට ජනතාව මගින් තෝරාපත් කරගත් නායකයන් වෙසෙන ආණ්ඩුවක් තිබුණද ඒ සඳහා කල්යල් බලා රටේ උන්නතිය උදෙසා තීන්දු තීරණ ගන්නා දේශපාලනඥයන් නොමැතිවීමද දැන් ප්‍රශ්නයක් වන්නේය. කොටින්ම කිවහොත් සෘජු තීරණ ගන්නා දේශපාලනඥයන් ලංකාවේ සිය අයිතීන් වෙනුවෙන් ලෝකය හමුවේ ඉදිරිපත් වෙන පාටක්ද නොමැති ගාණය.
කොබෝල්ට් ගෙනෙන විදේශ විනිමය
කොබෝල්ට් සම්බන්ධව විදේශීය රටවල් තුළ උනන්දුවක් මින් පෙර නොතිබුණ ද නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරි නිෂ්පාදනය, ගුවන් යානා අමතර කොටස් නිපදවීම, වෛද්‍ය උපකරණ ඇතුළු කර්මාන්තවලට කොබෝල්ට් අවශ්‍ය වන බැවින් මේ වන විට ඒ සඳහා විදේශීය රටවල් දැඩි උනන්දුවෙන් පසුවෙති. විශේෂයෙන්ම ඛනිජ තෙල් සඳහා විසඳුම් ලෙස හරිත බලශක්තියට යොමුවන ලොව බොහෝ දෙනා සූර්ය තාප විදුලියට හරවා බැටරි තුළ ගබඩා කරන්නටත් වාහන ධාවනයේ යෙදවීමටත් සැලසුම් කොට ඇති පරිසරයක කොබෝල්ට්වලට ඇත්තේ ඉහළම වටිනාකමකි. කොබෝල්ට් අපනයනය සම්බන්ධව කතාකරන විට කොබෝල්ට් සැපයුම් ජාලයෙන් ලොව බොහෝ රාජ්‍යයන් ඉහළ ලාභ ලබමින් පවතින්නේය. ජාත්‍යන්තර වාර්තා දක්වන්නේ කොංගෝ රාජ්‍ය ලෝකයේ විශාලතම කොබෝල්ට් අපනයනකරු බවය. කොබෝල්ට් අපනයනවලින් සියයට හැත්තෑ තුනක් කොංගෝවට අයිතිය. වසර 2030 වන විට මෙම ප්‍රතිශතය සියයට 57 දක්වා අඩුවන බවද එයට හේතුව ලෙස ඉන්දුනීසියාව අතුරු නිෂ්පාදනයක් වශයෙන් ලැබෙන කොබෝල්ට් අඩු මිලට සපයන සූදානම් බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. තවද 2022 වසරේ කොබෝල්ට් අපනයනයෙන් කොංගෝව උපයා ඇති විශේෂ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන හයකි. එම කොබෝල්ට් තොගයෙන් සියයට අනූනවයකම ගැනුම්කරුවාද වී ඇත්තේ චීනයය.
රටේ සම්පත් විකුණන අයට කොබෝල්ට් තවත් ඉල්ලමක්ද?
බිලියන 80 ක කොබෝල්ට් නිධිය කොල්ලයකට සූදානම්...කටක් නොඇර හිටියට රටක් ගොඩ දැමිය හැකි නිධියක් කොබෝල්ට්
ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ පරිසර කමිටුවේ සභාපති නීතිඥ ආචාර්ය රවීන්ද්‍ර දාබරේ
මේ වනවිට ලංකාවේ බොහෝ ආර්ථික මර්මස්ථාන විදේශීය සමාගම්වලට කුණුකොල්ලයට දීමට පිඹුරුපත් සාදා අවසන්ය. වෙහෙරක් ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද යන්න යැයි අප අසන්නේ රටේ වටිනා දේපළ සියල්ල විදේශයට විකුණා දැමීම ඉතාම ලාභදායක යැයි සිතා සිටින අයට මේ කියන කොබෝල්ට් නිධියද පිටරටකට විකුණා දැමීම අරුමයක් නොවන්නේය. එසේත් නොමැතිනම් මෙම නිධිය සම්බන්ධව රටට ලැබෙන වාසිය කෙබඳු වුවද ලංකාවේ දේශපාලනඥයන්ට නම් මෙම කොබෝල්ට් ගනුදෙනුව තවත් ඉල්ලමක් වනු ඇත. මෙම කොබෝල්ට් නිධිය ප්‍රශ්නයේදී ද රටකට අවශ්‍ය වන්නේ රටේ පුරවැසියන්ගේ අයිතිය සහතික කිරීමට සෘජු ප්‍රතිපත්ති අනුගමනය කරන කොන්ද කෙළින් තබාගන්නා විදේශ ප්‍රතිපත්තියකි. එහෙත් වරෙක ඉන්දියාවටද වරෙක චීනයටද වැනෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අයුරු දක්නට ලැබීම රටේ අනාගතයටද බොහෝ හානිදායකය. මින් පෙරද පේසාලේ තෙල් නිධි ගැනද දේශපාලනයේ කියැවෙන්නේය. තවද ස්වභාවික ගෑස් නිධිද මන්නාරම අවට මුහුදේ පවතින බවද කීය. එමෙන්ම අනුරාධපුරයේ පොස්පේට් නිධිය ගැන කතාද කතාවට පමණක් එකල සීමාවිය. මේ ආකාර වූ ලංකාවේ මුහුදුසීමාවේ ඇති කොබෝල්ට් නිධිය
ගැනද ලංකාවේ කතා කිරීම තවත් කෙටි කලකින් අවසන් වී යා හැකිය. එහෙත් රටක් වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගලවා ගත හැක්කේ රටේ සම්පත් ගෙඩිය පිටින්ම පිටරටට විකිණීම නොව තිබෙන සම්පත් නිවැරදිව කළමනාකරණය කර ගැනීමෙනි. මෙරටට හිමි කොබෝල්ට් වැනි ඛනිජ සම්පත්වල පරම අයිතිය ලබාගැනීමට රටේ පාලකයන්ද කොන්ද කෙළින් තබාගෙන නිවැරදි තීන්දු තීරණ ගත යුතුමය. ඇත්තෙන්ම මෙරටට ආර්ථික වශයෙන් සමෘද්ධිය ළඟාකර ගැනීමට එයම ප්‍රමාණවත් වනු ඇත.
රමින්ද මාවතගේ