ජන අරගල සන්ධානය මෑතකදී මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන පැෆරල් (PAFFREL/People’s Action for Free and Fair Elections) සංවිධානයට දැඩි විවේචනයක් එල්ල කළේය.
මාර්තු 12 ව්‍යාපාරය විසින් සැප්තැම්බර් 07 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කිරීමට බලාපොරොත්තු වූ ‘2024 ජනාධිපති විවාදය’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ (ස්වාධීන අපේක්ෂක), සජිත් ප්‍රේමදාස (සජබ), අනුර දිසානායක (ජාජබ), නාමල් රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) දිලිත් ජයවීර (කොමියුනිස්ට් පක්ෂය) සහ පී. අරියනේත්‍රන් (ස්වාධීන/ද්‍රවිඩ පොදු අපේක්ෂක) සීමා කිරීම පිළිබඳව ප්‍රශ්න කළේය.
පිළිගත් දේශපාලන පක්ෂයක් වූ සමාජවාදී ජනතා සංසදය හරහා නීතිඥ නුවන් බෝපගේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති ජන අරගල සන්ධානය වෙනුවෙන් එම චෝදනාව මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර කළ අතර මාර්තු 12 ව්‍යාපාරය වහාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් සියලු දෙනාටම එම වැඩසටහනට විවෘත ආරාධනාවක් කළේය. එම වැඩසටහන සැප්තැම්බර් 8 සහ 9 දෙදින ද පැවැත්වීමට කටයුතු කරන බවට ප්‍රකාශ කළේය.
සංවිධායකයින් විසින් ඡන්දදායකයින්ට අපේක්ෂකයින්ට යොමු කිරීමට කැමති ප්‍රශ්න මාර්තු 12 ව්‍යාපාරයට අගෝස්තු 31 වැනි දින දක්වා යොමු කිරීමට අවස්ථාව ලබා දීම අගය කළ යුතුය. රාජ්‍යකරණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍ර කර ප්‍රශ්න ඉදිරිපත් කළ යුතු බවට ද මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කළේය.
ජුලි 26-අගෝස්තු 14 කාලය තුළ අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර අගෝස්තු 15 එම සංඛ්‍යාවෙන් 39 නාම යෝජනා දීමට කටයුතු කළේය. එම අපේක්ෂකයින් අතරින් 78 හැවිරිදි මොහොමඩ් ඉල්ලියාස් හදිසියේ මියගියේය. එබැවින් මෙම විවාදයට සහභාගිවීමට අපේක්ෂකයින් 38 දෙනෙකුට අවස්ථාව ඇත.
නමුත් එම අවස්ථාවට සහභාගිවීමට ඉදිරිපත් වී ඇත්තේ අපේක්ෂකයින් 15 පමණි. සජිත් ප්‍රේමදාස (සජබ), නාමල් රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ), පාකියසෙල්වම් අරියනේත්තිරන් (ස්වාධීන), දිලිත් ජයවීර (කොමියුනිස්ට් පක්ෂය), විජයදාස රාජපක්ෂ (ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ), පාණි විජේසිරිවර්ධන (සමාජවාදී සමානාත්මතා පක්ෂය), සරත් මනමේන්ද්‍ර (නව සිහල උරුමය), ඕෂල හේරත් (අභිනව නිවහල් පෙරමුණ ), අනෝජ් දී සිල්වා (ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ) මයිල්වාගනම් තිලකරාජා (ස්වාධීන), නාමල් රාජපක්ෂ (සමබිම පක්ෂය), ප්‍රියන්ත වික්‍රමසිංහ (නව සමසමාජ පක්ෂය), නුවන් බෝපගේ (ජන අරගල සන්ධානය), රොෂාන් රණසිංහ (ස්වාධීන) සහ සරත් කීර්තිරත්න (ස්වාධීන).
ප්‍රධාන අපේක්ෂකයින් අතර සිටින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ජාජබ නායක අනුර කුමාර දිසානායක මාර්තු 12 ව්‍යාපාරයේ ආරාධනාව පිළිගෙන නොමැත. මැතිවරණ ප්‍රචාරක කාර්යය තුළ යම්කිසි අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂකයින් කිහිප දෙනෙකුට සජීවී විවාදයකට අභියෝග කිරීම ප්‍රචාරක ක්‍රියාවලියේම කොටසකි. අවසානයේදී අභියෝගය පමණක් ඉතිරි වේ. මහත් ප්‍රචාරයක් ලබාදුන් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදය සිදු නොවීය.
වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාජබ සහ සජබ අපේක්ෂකයින්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විවෘත සාකච්ඡාවකට කළ ආරාධනාව ද එවැනි ම දේශපාලන උප්පරවැට්ටියකි.
‘2024 ජනාධිපති විවාදය’ ට සහභාගි වන සහ නොවෙන අපේක්ෂකයින්ගේ සහ මාර්තු 12 ව්‍යාපාරයේ අවධානයට 2022 ‘අරගලය’ පසුබිමේ ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කළ යුතු කරුණු කාරණා කීපයකට අවධානය යොමු කිරීමට ‘ඉරිදා දිවයින’ මෙය අවස්ථාවක් කර ගැනීමේ වරදක් නැත.
රාජ්‍යකරණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් තවදුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික-දේශපාලනික-සමාජ අර්බුදය විමසා බලමු. රට මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් විධායකයට ප්‍රශ්න ඉදිරිපත් කරමු.
(1) දශක ගණනාවක් තුළ විධායකය සහ ව්‍යවස්ථාදායකය අනුගමනය කළ අනුවණකාරී මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම දූෂණය, වංචා සහ වැරදි කළමනාකරණය හේතුවෙන් රට බංකොලොත් විය. එම බංකොලොත්භාවය 2022 අප්‍රේල් ප්‍රකාශයට පත් කළත් රට එම තත්ත්වයට රට පත්වූයේ බොහෝ කලකට පෙරය. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයා ලෙස රට බංකොලොත් වූයේ බොහෝ කලකට පෙර බව ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඍජු මැදිහත්වී වීම හරහා ඇතිකර ගත් ගිවිසුම අනුව 2022 අප්‍රේල් අත්හිටු වූ ණය ගෙවීම (මුල් මුදල සහ පොලිය) 2028 වසරේදී නැවත ආරම්භ වීමට නියමිතය. දැනට පවතින සහනදායි තත්ත්වය මිරිඟුවක් බවට අමුතුවෙන් කිවයුතු නැත. එම තත්ත්වය අපායේ විවේකයක් ලෙස හඳුන්වා දීමේ වරදක් නැත.
● විධායක බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන පක්ෂය/ස්වාධීන අපේක්ෂකයින් 2028 සිට වසර 20 ක කාලය තුළ විදෙස් ණය ගෙවීමට අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රමවේදය කුමක්ද? දැනටමත් එවැනි වැඩසටහනක් සූදානම්ද? නැතහොත් අවම වශයෙන් සාකච්ඡා මට්ටමේ පවතිනවාද?
(2) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත වික්‍රමසිංහ ජනාධිපතිවරයා යෝජනා කළ ආර්ථික පරිවර්තන පනතට දැඩි විරෝධයක් සජබ සහ ජාජබ එල්ල කළේය. එම පනත ක්‍රියාත්මක කළහොත් නැවතත් ජාතික මැතිවරණයක් පැවැත්වීමේ තේරුමක් හෝ අවශ්‍යතාවයක් නොමැති බවට ද අදහස් ප්‍රකාශ විය. ඊට හේතුව වූයේ එම පනත අනුව කුමන අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති වැඩසටහන ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යෑමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ එකඟතාවයකට පැමිණීමයි. පක්ෂ අතර ඇතිකර ගනු ලැබූ එකඟතාවය මත එම පනත ඡන්දයකින් තොරව සම්මත විය.
● එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයෙන් පසුව අදාළ ණය ගිවිසුම වෙනස් කරන බවට මැතිවරණ වේදිකාවේ කරන ප්‍රකාශ ජනතාව රැවටීමක් නොවේද? ඉවක් බවක් නොමැතිව සහන, වරප්‍රසාද සහ බදු කපා හරින බවට මැතිවරණ වේදිකාවේ දෙන පොරොන්දු කිසිසේත්ම ඉටු කිරීමට අවකාශයක් නොමැති බව ඔබ පිළිගන්නවාද?
(3) මාර්තු – ජුලි අතර ක්‍රියාත්මක වූ අරගලය හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ව්‍යවස්ථාවෙන් පරිබාහිරව ඉවත් කිරීම සිදුවිය. ඊට ආර්ථිකය වැටීම හේතු වූ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. රටේ ඉහළම උසාවිය 2023 නොවැම්බර් 14 වැනි දින රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය ධුරය දැරූ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැරදිකරුවන් ලෙස නම් කළේය. ඊට අමතරව තව නිලධාරීන් කිහිප දෙනෙකු ද වරදකරුවන් ලෙස ප්‍රකාශ කළේය.
● එම අධිකරණ තීන්දුව මත ක්‍රියාකිරීමට ජනාධිපති අපේක්ෂකයන් වශයෙන් ඔබ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ මොනවාද? දැනට මැතිවරණ වේදිකාවේ එම අධිකරණ තීන්දුව ඇති කළ තත්ත්වය කිසිදු ආකාරයක සාකච්ඡාවකට භාජනය නොවන බව ඔබ පිළිගන්නවද?
(4) ගෝඨාභය රාජපක්ෂ රජය (කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම යටතේ) 2022 ආර්ථිකය කඩා වැටීමේ වගකීම ගත යුතුය. නමුත් ඊට පෙර යහපාලන රජය (2015-2019) කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 10,000 වටිනාකමක් ඇති ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීම සමස්ත ආර්ථික පරිහානියට හේතු වූ බව කිසිදු සැකයකින් තොරව පැවසිය හැකිය. වර්තමාන ජනාධිපතිවරයා යහපාලන අගමැතිවරයා මෙන්ම එවකට මහබැංකුව භාරව සිටි අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ බව අමතක කර මෙම ප්‍රශ්නය සාකච්ඡා කළ නොහැක. එලෙසෙම සජබ ජනපති අපේක්ෂක එදා එජාප නියෝජ්‍ය නායකයා එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූ බවත් ජාජබ එම යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වූ බවත් අමතක කළ නොහැක. පොහොට්ටු පක්ෂයේ අපේක්ෂක ද රට ආර්ථික විනාශයට ලක් කළ තීන්දු තීරණ ගනු ලැබූ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි. ඔහුට කිසිසේත්ම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම යටතේ එම වගකීමෙන් සහ වගවීමෙන් ගැලවිය නොහැක.
● එවැනි පසුබිමක් තුළ ප්‍රධාන අපේක්ෂකයින් වන වික්‍රමසිංහ ජනාධිපතිවරයා, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ ඡන්දය දෙන ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට ඉදිරිපත් කරන වැඩපිළිවෙළ කුමක්ද?
(5) එක්සත් ජාතීන්ගේ සංවිධානය මෑතකදී සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණයෙන් ජයගන්නා පාර්ශ්වයට ජිනීවා මානව හිමිකම් කොමිසම වගකීම සහ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි අවධාරණයක් කළේය. බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය 2009 මැයි මාසයේ හමුදාමය ක්‍රියාමාර්ගයක් තුළ පරාජය කළත්, මහින්ද රාජපක්ෂ රජය (2009-2015) , මෛත්‍රිපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ රජය (2015-2019),
ගෝඨාභය රාජපක්ෂ (2019-ජුලි 2022) සහ රනිල් වික්‍රමසිංහ -රාජපක්ෂ රජය (2022 ජුලි සිට මේ දක්වා) ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යුද අපරාධ චෝදනා සාර්ථකව නිෂ්ප්‍රභ කිරීමට අවශ්‍ය පියවර ගෙන නොමැත. 2020 පෙබරවාරි මාසයේ එවකට විදේශ අමාත්‍ය වූ වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකාව ජිනීවා ක්‍රියාවලියෙන් ඉවත් වන බවට කළ ප්‍රකාශයට කිසිදු වලංගුභාවයක් නැති බව ඔප්පු වී ඇත. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ජිනීවා උගුලේ හිරකර ඇත. මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් විධායකය සහ ව්‍යවස්ථාදායකය ක්‍රියාකළ ආකාරය ඛේදවාචකයකි. ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදාවල ගෞරවය කර දීමට දේශපාලන නායකත්වයට අවශ්‍යතාවයක් නැත.
● ජිනීවා අභියෝගය ජය ගැනීමට ඔබට වැඩපිළිවෙළක් තිබේද? විශේෂයෙන්ම 40,000 පමණ ද්‍රවිඩ සිවිල් ජනතාවක් 2009 ජනවාරි-මැයි 19 කාලය තුළ සිතා මතා ඝාතනය කළ බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළ චෝදනාව නිෂ්ප්‍රභ කිරීමට මහා බි්‍රතාන්‍යයේ සාමි මණ්ඩලයේ නේස්බි සාමිවරයා 2017 ඔක්තෝබර් කළ ප්‍රබල හෙළිදරව්ව යොදා ගැනීමට කටයුතු කරනවාද?
(6) නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ජාතික මැතිවරණයකට පෙර සහ පසුව දැඩි සාකච්ඡාවක් සිදුවීම අමුතු දෙයක් නොවේ. මෙම සාකච්ඡාව සමස්තයක් ලෙස පටු දේශපාලන වාසි ලබා ගැනීමට ඇති කරන දෙයක් බව රහසක් නොවේ. 2019 ජනාධිපතිවරණයෙන් පසුවද නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ නායකත්වයෙන් කටයුතු කළේය. එම කටයුත්තට පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ පක්ෂ දායක විය. එම කෙටුම්පත ‘අරගලය’ සමයේ ජනාධිපතිවරයාට භාර දුන් අතර අද වනවිට එයට සිදු වූ දෙයක් නැත.
● 22 දෙවරක් සංශෝධනය කර ඇති ව්‍යවස්ථාව වෙනුවට රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද?
● නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට කටයුතු කරනවා නම්, එම ව්‍යවස්ථාවට ඉන්දීය බලපෑම යටතේ 1987 නොවැම්බර් මාසයේ ක්‍රියාත්මක කළ ආන්දෝලනාත්මක 13 වැනි සංශෝධනය ඇතුළත් කරනවාද?
● ජිනීවා යුද අපරාධ චෝදනා නිසිලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් බටහිර ප්‍රජාව එම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවට ‘ඒකීය’ භාවය අහිමිකර නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට කරන උත්සාහය සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?
(7) ‘අරගලය’ ක්‍රියාත්මක කිරීමේදී තමන්ට ද එහි යම් පාර්ශ්වකරුවන් විසින් දැඩි තර්ජන කළ බවට මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමේ මෙහෙයුමට ජවිපෙ, පෙරටුගාමී, එජාප සහ සජබේ ඍජුව සහභාගි වූ ජන අරගල සන්ධානයේ අපේක්ෂක නුවන් බෝපගේ මෑතකදී ප්‍රකාශ කළේය. (චමුදිත සමරවික්‍රම සමග හිරු නාලිකාවේ ‘සලකුණ’ වැඩසටහනේදී). විශේෂයෙන්ම බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක කළ ඇමෙරිකාව නායකත්වය දුන් බටහිර කුමන්ත්‍රණය පසුබිමේ ශ්‍රී ලංකාවේ සිදු වූ විදෙස් මැදිහත්වීම පූර්ණ විමර්ෂණයකට ලක් කළ යුතුය. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා බලයෙන් පහකිරීම හේතුවෙන් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර දැඩි ගැටලුකාරී තත්ත්වයක් උදාවී ඇති බව අමතක කළ නොහැක.
● ජනාධිපතිවරණයෙන් පසුව වහාම මහා මැතිවරණයක් කැඳවනවා ද? එසේ කැඳවීමට පෙර ‘අරගලය’ පූර්ණ විමර්ශනයකට ලක් කරනවාද? එසේත් නැතිනම්, සියලුම පාර්ශ්ව සමග එකඟතාවයකින් (පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පමණක් නොවේ) මහ මැතිවරණයෙන් පසුව පූර්ණ පරීක්ෂණයක් කිරීමට පොරොන්දුවක් දිය හැකිද?
(8) ජුලි චන්ග් ඇමෙරිකානු තානාපතිවරිය ‘අරගලය’ සම්බන්ධයෙන් කළ ඍජු මැදිහත්වීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ නායක විමල් විරවංශ සහ ප්‍රසිද්ධ ලේඛක සේන තෝරදෙණිය 2023 දී චෝදනා කළේය. මෙම චෝදනා කථානායකවරයා කළ ප්‍රකාශය සමග එකට සලකා බැලූ විට ඉතාමත් නරක චිත්‍රයක් මවන බව පැහැදිලිය.
● ඇමෙරිකානු මැදිහත්වීම සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවකට ඔබ සූදානම්ද? උපාය මාර්ගික වශයෙන් වැදගත්කමක් ඇති හම්බන්තොට වරාය 2017 දී යහපාලන ආණ්ඩුව (ස්වාධීන අපේක්ෂක වික්‍රමසිංහ, සජබ අපේක්ෂක ප්‍රේමදාස එජාප ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රබලයින් විය. අමාත්‍ය ධූර ලබා නොගත්තත් ජවිපෙ එම ආණ්ඩුවේ කොටස්කරුවකු විය. නාමල් රාජපක්ෂ නියෝජනය කරන එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානය එම ගිවිසුමට සහයෝගය පළ කළේය.) එම චීනයට වසර 99 කට බදුදීම සහ අතිශය ආන්දෝලනාත්මක ‘කොළඹ නගර ව්‍යාපෘතිය’ පසෙක දමා මෙම අර්බුදකාරී තත්ත්වය සාකච්ඡා කළ නොහැක.
(09) සජබ අපේක්ෂක සජිත් ප්‍රේමදාස වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ අධිකරණය අතර ඇතිවී තිබෙන අතිශය ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් ප්‍රකාශයක් කළේය. මිනුවන්ගොඩ පැවැති ජනාධිපතිවරණය රැලියකදී නායකවරයා මීට පෙර කිසිදු දේශපාලන පක්ෂය නායකයකු දී නැති පොරොන්දුවක් දුන්නේය. රටේ ඉහළම අධිකරණය ජනාධිපතිවරයාට සහ රජයට ලබා දී ඇති නියෝග නොසලකා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ඔහුට හිතවත් පොහොට්ටු කණ්ඩායමට දැඩි අනතුරු ඇඟවීමක් කළේය. සජබ නායකයා අවධාරණය කළේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණ නියෝගවලට පිටුපෑමට අවස්ථාවක් නොදෙන බවයි. මෑතකදී කළ ප්‍රකාශවලට දඬුවම් දෙන බවයි.
● පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අභියෝග කිරීම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ඔබ සූදානම්ද?
අපේක්ෂකයින්ගේ අවධානයට යොමු කළ යුතු බොහෝ කරුණු කාරණ තිබේ. ඒ අතර පහත සඳහන් ප්‍රශ්න ද ඇත.
● ව්‍යවස්ථානුකුලව හිටපු මන්ත්‍රීවරුන් (මහ මැතිවරණයකදී ජනතාව ප්‍රතික්ෂේප කළ) සහ දැනට සිටින මන්ත්‍රීවරුන් හට වරප්‍රසාදයක් ලෙස ලබා දී ඇති ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව නීති මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවාද? ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ 40 දෙනාගෙන් දුසිම් දෙකක් හිටපු සහ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ඇත්ත වශයෙන්ම හාස්‍යයට කරුණකි. පසුගිය ජනාධිපතිවරණයේදී ද තරග කළ 35 දෙනාගෙන් දුසිමකට අධික අපේක්ෂකයින් පරාජිත මන්ත්‍රීවරුන් වීම පාර්ලිමේන්තුව නොසලකා හැර ඇත. වැඩිවෙන සෑම අපේක්ෂකයකුම බංකොලොත් රටේ බදු ගෙවන ජනතාවට දැඩි බරක් බව නීති සම්පාදනයට වගකියන පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අමතක කර ඇත. හිටපු හෝ දැනට සිටින මන්ත්‍රීවරයකු වීම ඕනෑම ඡන්දදායකයකු හෝ ලියාපදිංචි නොකළ දේශපාලන පක්ෂයක් හරහා නාමයෝජනා ලබා ගැනීමේ වරප්‍රසාදය දීම හේතුවෙන් බංකොලොත් රට අදහාගත නොහැකි මුදලක් (රුපියල් බිලියන ගණනාවක්) කාබාසිනියා කරන බව අපේක්ෂකයන් නොදැන සිටීමට හේතුවක් නැත.
● ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගත් අගෝස්තු 15 දිනයේ සිට මෙම ලිපිය සම්පාදනය කරන අගෝස්තු 29 දක්වා ඇමෙරිකානු නාවික හමුදාවට අයත් Destroyer වර්ගයට අයත් යුද නෞකා තුනක් කොළඹට පැමිණ ඇත. ඊට අමතරව ඉන්දියානු නාවික හමුදාවට අයත් Destroyer වර්ගයට අයත් ඉදිරිපෙළ යුද නෞකාවක් සහ මහජන චීන විමුක්ති හමුදාවේ Destroyer වර්ගයේ යුද නෞකාවක් සහ Landing Platform Dock වර්ගයට අයත් නෞකා දෙකක් පැමිණ ඇත. කෙටි කාලයක් තුළ ජනාධිපතිවරණයට පෙර සිදුකරන මෙම ක්‍රියාදාමය රටට බලපෑමක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඉන්දියානු සහ ඇමෙරිකානු බලපෑම මත 2023 වසරේ චීන පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීම වැළැක්වීමට පියවර ගත් ශ්‍රී ලංකා ආණ්ඩුව ජනාධිපතිවරණයෙන් පසුව එවැනි බාහිර බලපෑම් සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වෙනවාද? ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් හතරකින් සමන්විත ‘Quad’ නමැති යුද සහ ආර්ථික සංවිධානයේ න්‍යෂ්ටික බලවතකු වන ඉන්දියාව ද සාමාජිකයෙකි. චීනයට එරෙහි එම සංවිධානයේ උපාය මාර්ගයට ශ්‍රී ලංකාව නතු කර ගැනීමේ උත්සාහයක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එම තත්ත්වය නොසලකා හැරීමට ශ්‍රී ලංකාවට නොහැකිය.
● ඉන්දියානු ධීවර යාත්‍රා අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට නොනවත්වා ඇතුළුවීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිකර තිබේ. මෙම වසරේ අගෝස්තු 29 දක්වා ධීවර යාත්‍රා 46 ක් සහ ධීවරයින් 341 අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව අනවසර ධීවරයින්ගේ කලහකාරී සහ වගකීම් විරහිත හැසිරීම හේතුවෙන් මෑතකදී උතුරු මුහුදේදී නාවික හමුදා වේග ප්‍රහාරයක යාත්‍රාවකට අලාභ හානි සිදු වූ අතර විශේෂ යාත්‍රා බලගණයේ නාවිකයකු මිය ගියේය. ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම වැළැක්වීමට ක්‍රියාකරනවාද?
ප්‍රධාන අපේක්ෂකයින් දැනට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති මාලාවන් කොපමණ දුරට භූමියේ තත්ත්වය සමග ගැලපෙනවාද? මෙම ප්‍රතිපත්ති මාලාවන් නැවත නැවතත් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව විනාශ කළ පොරොන්දු දේශපාලන යයි. මීට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවන් උල්ලංඝනය කළ/නොසලකා කටයුතු කළ දේශපාලන පක්ෂ මෙවර අවංකව ක්‍රියා කරනු ඇති බවට අබමල් රේණුවක තරම්වත් විශ්වාසයක් මෙම ලියුම්කරුට නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තම වගකීම මෙතුවක් කල් නිසියාකාරව ඉටු කළා නම් මාර්තු 12 ව්‍යාපාරයට ‘2024 ජනාධිපති විවාදය’ පැවැත්වීමේ වුවමනාවක් කිසිසේත්ම ඇතිවන්නේ නැත.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ