කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අගරදගුරු නිල නිවසේ ශ්‍රවණාගාරයේදී අද (07) පස්වරුවේ පැවැත්වේ.
ස්වාමීන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන්, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඇතුළු රජයේ මැති ඇමැතිවරු, තානාපතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැ.බ. පොලිස්පතිවරයා ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වෙති.
මෙම උපහාර උත්සවය සංවිධාන කරණු ලබන්නේ කොළඹ අගරදගුරු පදවිය විසිනි.
මේ විශේෂ උත්සවය නිමිත්තෙන් අද (07) දිනයේ බොරැල්ල පොලිස් වසමේ මාර්ග කිහිපයක බර වාහන ඇතුළු වීම සීමා කිරීමට කටයුතු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා සඳහන් කරයි.
බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙස, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා මෙසේ බර වාහන ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කරනු ඇති බව පොලිසිය සඳහන් කරයි. එබැවින් මෙම මාර්ග මඟ හැර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය බරවාහන රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
පසුගිය මස 29 වැනි දිනට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50 සම්පූර්ණ වූ අතර පසුගිය 30 දින ඒ වෙනුවෙන් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ දී තුතිදීමේ දේව මෙහෙයක් පවත්වන ලදී. එහි දී පාසල් ළමයන් 50කට පාසල් උපකරණ බෙදාදීම ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් සිදු කෙරිණි.
ගයාන් කුමාර වීරසිංහ, උපාලි කරුණාරත්න