ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමැතිනිය සමස්ත ඉන්දීය ත්‍රිණමූල් කොංග්රස් පක්ෂයේ නායිකා මමතා බෙනර්ජිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් පෙරේදා කල්කටා නුවර පැවැති විශ්වවිද්‍යාල සිසුසිසුවියන්ගේ විරෝධතා පා ගමනට පොලිසියෙන් පහර දීමට එරෙහිව එම ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පැවැති පැය 12ක වැඩ වර්ජනය පොලිසියේ මැදිහත්වීමෙන් අසාර්ථක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භාරතීය ජනතා පක්ෂයට සහාය පළ කළ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාරික ස්ථාන වසා දමමින් වර්ජනයට එක්වුවද, මහඇමැතිගේ ත්‍රිණමූල් කොංග්‍රසයේ හිතවාදීන් සිය ව්‍යාපාරික ස්ථාන විවෘතව තැබීමට පියවර ගත් බවත්, වැඩ වර්ජනයට එරෙහිව උද්ඝෝෂණයක නිරත වීමෙන් දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
වැඩ වර්ජනය අතරතුර පොලිසිය විසින් භාරතීය ජනතා පක්ෂයේ බෙංගාල ප්‍රාන්ත නායකයන් ඇතුළු පිරිසක් රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ වෛද්‍යවරියක දූෂණය කර ඝාතනයට ලක් කිරීමේ සිදුවීම සම්බන්ධව මේ දක්වා යුක්තිය ඉටු නොවීම හේතුවෙන් පෙරේදා පැවැති සරසවි සිසුසිසුවියන්ගේ විරෝධතා පා ගමනට පොලිසියෙන් පහරදීමෙන් පසු ප්‍රචණ්ඩකාරී මුහුණුවරකට හැරුණු අතර, කුපිත වූ සිසුසිසුවියන් පොලිසියට පහරදුන් බවත්, 200කට අධික සිසුසිසුවියන් පිරිසක් අත්අඩංගුවට පත්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.