සීමිත සම්පත් ප්‍රමුඛතාව අනුව වෙන් කිරීම රටක ඉතා ම වැදගත් දේශපාලන තීන්දුවකි. එමගින් රටක ආර්ථික සෞභාග්‍ය උදාකර ගැනීමත්, ආදායම් හා ධනය බෙදීයෑමේ විෂමතා ජයගැනීමත් කොතෙක් දුරට සාර්ථක වන්නේද යන්න නිශ්චය වේ. අවසාන විග්‍රහයේදී ප්‍රජාතන්ත්‍රවාදයත්, පළල් අර්ථයෙන් ගත් කළ ජාතික ආරක්‍ෂාවත් තහවුරු වන්නේ මේ සාර්ථකත්වය උඩය.
කවර තීරණයක වුව ද, හරි වැරැද්ද හෝ උචිත අනුචිත බව අවසානයේ දී විනිශ්චය කරන්නේ පොත්වල දකින්නට ලැබෙන සිද්ධාන්තවලින් නොව, එම තීරණයෙන් යම් බලපෑමකට නතු වන මහජනයා විසිනි. අවසානයේ දී තීරණාත්මක දර්ශකය වන්නේ මහජනයාගේ දිවි පැවැත්ම වඩාත් විශිෂ්ට මට්ටමකට පත් කළේ ද නැද්ද යන්න යි. එම නිසා පළමු පෙළ විනිශ්චයකරුවන් වන්නේ මහජනයා ය. ඔවුහු තම තීන්දුව මැතිවරණයක දී ප්‍රකාශයට පත්කරති. සෑම තරාතිරමකම ජනතාව ඇසුරු කරන, වැඩිම දෙනාගේ කැමැත්ත බලාපොරොත්තු වන, මැතිවරණවලට ඉදිරිපත් වන දේශපාලනඥයා, ජන සමාජයට බලපාන ප්‍රශ්නවල විවිධ පැති සාකච්ඡා කිරීමෙන් පසු අවසන් තීරණය ගැනීමට ඉතා ම සුදුසු පුද්ගලයා වන්නේ මේ නිසාය.
එසේ වුවද, ප්‍රතිපත්ති සම්පාදනයේ පූජනීයත්වය පෞද්ගලික ලාභ ප්‍රයෝජන ඉලක්ක කරගත් වංචා හා දූෂණ මගින් කිලිටිකර තිබීමත්, දේශපාලන නායකයන් තෝරාපත් කර ගැනීමට තිබෙන මැතිවරණ යාන්ත්‍රණය සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවීමත්, ඈත දුර දක්නා, දැන උගත්, කැප වූ පුරවැසියන්ට ප්‍රතිපත්ති සම්පාදනයේදී මැදිහත් වීමට සුදුසු යාන්ත්‍රණයක් නැති වීමත් නිසා මහජන යහපතට හේතු නොවන තීන්දු ගත් අවස්ථා තිබේ. අස්ථාන ආයෝජනය හා ආයෝග්‍ය සංග්‍රහය ලෙස එය දැක ගතහැකිය.
දේශපාලන පක්‍ෂ හා දේශපාලනඥයෝ මැතිවරණවලදී නොයෙකුත් යෝජනා, පොරොන්දු හා වැඩපිළිවෙළ ඉදිරිපත් කරති. ඒවා, ප්‍රතිපත්ති හා මැතිවරණ ප්‍රකාශන ලෙසට හෝ වෙන කිසියම් ආකාරයකට හෝ ඉදිරිපත් කරනු ලැබේ. සෑම දේශපාලන පක්‍ෂයක්ම පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී තම පක්‍ෂයේ නිල ප්‍රතිපත්ති ප්‍රකාශනය මැතිවරණ කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීම ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවක් බවට නීති සම්පාදනය කළ යුතුය.
මහජනයා පොරොන්දු හා පොරොන්දු දෙන්නන් ඇගයීමට ලක් කරති. ජන මාධ්‍ය හා සමාජ මාධ්‍යවලත්, රැස්වීම්වලත් සාකච්ඡාවට හා විමර්ශනයට භාජනය කරති. මහජනයා සතුව ඡන්ද බලයක් තිබේ. ඡන්දය හා පොරොන්දු අතර ගනුදෙනුවක් සිදු වේ. සම්පූර්ණයෙන් අතාත්වික හෝ නොමග යවනසුලු හෝ ඉටුකිරීමට බලාපොරොත්තුවක් නොමැති පොරොන්දුවලින් ගනුදෙනුවේ එක් පාර්ශ්වයක් වන මහජනයා රවටනු ලැබුවහොත් ඒ සඳහා ගතහැකි නීතිමය ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කළ යුතුය.
ආර්ථික, සාමාජික හා සංස්කෘතික විෂමතා ඉහළ මට්ටමක පවතින රටක මේ සමූහ රැවටීමේ (mass deception) ආදීනව ඉතා බරපතළය. අමානුෂිකය. අපරාධමය වරදකි. එය ආර්ථික හා සාමාජික බලය අයුතු ලෙස යොදා ගැනීමකි. බරපතළ ලෙස හා චේතනාන්විතව පොරොන්දු කඩකර ඇති බව අධිකරණයකදී තහවුරු කළ අවස්ථාවක එය මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට තීන්දු කර, පොරොන්දු කඩකළ පාර්ශ්වය ලබාගත් ආණ්ඩු බලය ආපසු කැඳවිය හැකිවිය යුතුය. එවැනි තදබල නෛතික ප්‍රතිපාදනයක් අවශ්‍ය වන්නේ බලය අත්පත් කර ගැනීම සඳහා කරනු ලබන සමූහ රැවටීමක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනියමින් උල්ලංඝනය කිරීමක් වන බැවිනි.
රාජ්‍ය සංවිධාන ව්‍යුහයේ ඉහළම ආයතනය අමාත්‍යාංශයයි. ජනවරමක් ලබාගන්නා ආණ්ඩුවක ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම ඇරඹෙන්නේ අමාත්‍යාංශ මගින්ය.
අමාත්‍යාංශයක් සතු විශාල සම්පත් ප්‍රමාණය හැසිරවීමේ පරිපාලන ප්‍රධානියා ද, ගණන් දීමේ ප්‍රධානියා ද, (chief accounting officer) වන්නේ එහි ලේකම්වරයාය. අමාත්‍යාංශ ලේකම්වරයෙක් දෙයාකාරයකින් කටයුතු කරයි. ඔහු ඇමැතිවරයාත්, අමාත්‍යාංශයත් අතර සම්බන්ධීකාරකයකු වශයෙන් ද අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරමින් එම යාන්ත්‍රණය පරිපාලනය කරයි. ඇමැතිවරයාත් අමාත්‍යාංශයත් (පරිපාලන යන්ත්‍රයත්) සම්බන්ධීකරණය කිරීමේ කාර්යභාරය, එනම් ජනවරම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හා ක්‍රියාත්මක වැඩපිළිවෙළ බවට පරිවර්තනය කිරීම, රාජ්‍ය ලේකම් හෝ වෙනත් සුදුසු නමකින් හැඳින්වෙන දේශපාලන ලේකම්වරයකුට පැවරිය යුතු ය. දේශපාලන මැදිහත්වීම් කරනු ලැබිය යුත්තේ මේ ඉහළ මට්ටමේ දී පමණි. එසේ වුවද තවදුරටත් අමාත්‍යාංශයේ ප්‍රධාන විධායක නිලධාරියා ද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ද විය යුත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාය. ස්ථිර ලේකම් ඔහුය.
ජනවරම, රජයේ සැලසුම් හා ක්‍රියාත්මක වැඩසටහන් බවට පත්කිරීමේ ප්‍රධාන වැඩ කොටසක් කරනු ලබන්නේ දේශපාලන පත්කිරීමක් වන රාජ්‍ය ලේකම්වරයා ය. දේශපාලනඥයන් මහජනයාට දී තිබෙන ප්‍රතිඥා (ජනවරම) ප්‍රායෝගික වැඩසටහන් බවට පරිවරත්නය කිරීමේ කුසලතාවෙන් පිරුණ කාර්ය ශූර පුද්ගලයන් දේශපාලන ලේකම් තනතුර සඳහා තෝරාගත යුතුය. ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී දේශපාලන රාජ්‍ය ලේකම්වරයකු කෙරෙන් විශාල උද්යෝගයක් බලාපොරොත්තු විය හැකිය. ඔහුට තම අසුනේ දිගටම රැඳී සිටීමට නම් අවංකව හා කාර්යක්‍ෂමව වැඩ කර, මෙහෙවර සපුරාලිය යුතුය. ඔහුට කල් මරමින් සිටිය නොහැකිය.
රාජ්‍ය සේවකයා දේශපාලනඥයාට ගැතිවීමට අවශ්‍ය නැත. එහෙත් ඔහු ජනවරමක් ලබාගෙන සිටින ආණ්ඩු පක්‍ෂයට විශ්වසනීය ලෙස සේවය කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රටක සමාජ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ එලෙසය.
දේශපාලනය විධානයෙහි තැබීම යන්නෙන් අදහස් කරන්නේ ජනතා පරමාධිපත්‍යය ඔසවා තබන බව හා බලයට පත්වන ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළ මුල් තැනෙහි තබන බවය.
දේශපාලන හිතවතුන්ට අයථා සංග්‍රහ කිරීම, ක්‍රමානුකූල නොවන පත්වීම් කිරීම, විධි ප්‍රකාර ගනු ලබන පරිපාලන තීරණ වෙනස් කිරීම, දැන හැඳුනුම්කම් උඩ පත්වීම් ලබාගෙන කිසි වැඩක් නොකර සිටීම හෝ ආයතන විනය නොතකා හැරීම යනාදිය අක්‍රමිකතා මිස දේශපාලනය විධානයේ තැබීමේ ප්‍රතිඵල නොවේ.
ඇතැමෙක් තමන්ගේ පෞද්ගලික කාරණාවලට හා එදිරිවාදිකම්වලට දේශපාලන පාටක් දෙමින් තමන්ට හානියක් සිදුවී ඇතැයි කියා හෝ පළිගැනීමට ලක්වී යැයි කියා හෝ සහන ඉල්ලති. නැතහොත් අන් කිසිවකුට දඬුවමක් කරන ලෙසට ඉල්ලති. “දේශපාලන නෑදෑකම්”වල බලය පෙන්වා තවත් ඇතැමෙක් සම්මත රෙගුලාසිවලට පටහැනිව රාජ්‍ය අරමුදල් හා දේපළ පරිහරණය කිරීමට සැරසෙති. තමන්ට හිමි නැති තනතුරු හා වරප්‍රසාද ලබාගැනීමට උස පැනීම් හා දුර පැනීම් කරති. ඒවාට ඉඩ නොදෙන නිලධාරීන්ට “ආණ්ඩු විරෝධී” ලේබල් අලවති. ආණ්ඩුවේ දේශපාලන ගමනට බාධා කරන්නෝ යැයි ඔවුන්ට දඬුවම් කරන ලෙස කියා සිටිති. මේවා බරපතළ අක්‍රමිකතා, අවිනීතකම් හා ද්වේශ සහගත හැසිරීම් මිස දේශපාලනය විධානයේ තැබීම නොවේ.
“ස්වාධීන රාජ්‍ය සේවය” යන්න තර්කානුකූල මිත්‍යාවකි. කොතැනකවත් ස්වාමියකු නැති සේවකයකු සිටිය නොහැකිය. තරාතිරම කුමක් වුවත් රාජ්‍ය නිලධාරීන්ගේ ස්වාමියා මහජනතාවයි. 1960 දශකය පමණ දක්වා යම් පුද්ගලයකු වෙත රාජ්‍ය නිලධාරියකු ගෙන් (උදාහරණයක් ලෙස දිසාපති, අමාත්‍යාංශ ලේකම්) ලැබෙන ලිපියක අවසානයේ දැක්වුණේ “මීට, ඔබේ කීකරු සේවක” යනුවෙනි. වචන මාත්‍රයෙන් එය එසේ වී නමුදු මහජනයාගේ මෙම අධිකාරි බලය ක්‍රියාත්මක වන්නේ දේශපාලන අධිකාරිය (ව්‍යවස්ථාදායකය හා විධායකය) හරහාය.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, අස්කිරීම්, උසස්වීම්, මාරුවීම් ඇතුළු පරිපාලනයට දේශපාලනඥයා ඇඟිලි ගැසිය යුතු නැත. රාජ්‍ය සේවකයාට නොබියව රාජකාරිය කළ හැකිය. ඔහුට අපක්ෂපාතීව රාජකාරිය කළ හැකිය. එහෙත් ඔහු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙළට බැඳී සිටිය යුතුය. මේ නම් වචන හරඹයක් යැයි කෙනකුට සිතෙන්නට හැකි නිසා උදාහරණයක් දැක්වීම සුදුසු ය.
කොළඹ සිට මාතරට වාහනයක් යැවීම යම් වැඩපිළිවෙළක එක් අංගයක් යැයි මොහොතකට සිතමු. එය පවරනු ලැබූ රාජ්‍ය නිලධාරියා එම කාර්යය තම රාජකාරිය ලෙස භාරගත යුතුය. ඔහු ඊට පක්‍ෂපාත විය යුතුය. වාහනය අතරමග නතර කර දැමීමට හෝ ගාල්ලෙන් හරවා වෙන ගමනක් යෑමට හෝ ඔහුට අයිතියක් නැත. ඔහුට මේ ගමන නොබියව යා හැකිය. ගමන යා නොහැකි යැයි වාද කරන්නට ඔහුට ඉඩක් නැත. එය නිෂ්ඵල ක්‍රියාවක් යැයි ද යා යුත්තේ හික්කඩුවට පමණකැයි ද කියා සිටින්නට ඔහුට අවසරයක් නොලැබේ. අපගේ සාකච්ඡාවට භාජනය වන වචනවලින් පවසන්නේ නම්, ඔහුට ජන වරම අභියෝග කළ නොහැකිය. එහෙත් ගමනාරම්භයේ සිට අවසානය දක්වා මාර්ග නීති ගරු කරමින් “ස්වාධීන” ලෙසත් “අපක්ෂපාතවත්” ඔහු රිය පදවා ගෙන යා යුතුව ඇත. වෙනත් වචනවලින් සඳහන් කළහොත් ඔහු කාර්ය පටිපාටි අනුගමනය කරමින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබාගැනීම පරමාර්ථය කර ගෙන ගමන යා යුතුය.
දේශපාලනය විධානයෙහි තැබීම යන්නෙන් අදහස් කරන්නේ ජනතා පරමාධිපත්‍යය ඔසවා තබන බව හා බලයට පත්වන ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළ (ජන වරම) ක්‍රියාවට නැංවීම බව කලින් සඳහන් කළෙමු. පොදුවේ රටක ඉදිරි ගමනත්, විශේෂයෙන් රාජ්‍ය යන්ත්‍රයේ දිසානතියත් තීරණය වන්නේ මේ දේශපාලන මැදිහත් වීමෙනි.
අපට සිටි විශිෂ්ටතම දේශපාලනඥයා රජතුමාය. ඔහු සමස්ත රටවැසියාට ම නායකත්වය දුන්නේය. රටවැසියාගේ හිතසුව පිණිස දැහැමින් සෙමෙන් රාජ්‍ය විචාරණය කළ රජවරුන් පිළිබඳ ඓතිහාසික උරුමයක් අපට තිබේ. ඒ කාලයේ ඉදිකළ වැව් හා වාරි කර්මාන්තයන් ගෙන් අපි තවමත් කුඹුරු අස්වද්දන්නෙමු. ගොඩනැඟූ ස්මාරක දෙස තවමත් ඇස් දල්වා බලන්නෙමු. තැනූ වෙහෙර දාගැබ් වන්දනාමාන කරන්නෙමු. ලියූ පොතපත ඉහළින් අගය කරන්නෙමු. දිනූ සංග්‍රාම ගැන උදම් අනන්නෙමු.
සෑම පුරවැසියකුම දේශපාලනඥයකු වියයුතුය. දේශපාලනඥයකු වීමට දේශපාලන පක්ෂයකට සම්බන්ධ වීමට ම හෝ මැතිවරණවලට ඉදිරිපත් වීමටම අවශ්‍ය නැත. සෑම පුරවැසියකුම ආචාරධර්මවලින් බැඳී සිටින කැප වූ පුරවැසියන් (devoted citizen) විය යුතුය. කැපවූ පුරවැසියකු යනු ඔහු හෝ ඇය මුහුණ දී සිටින සැබෑ තත්ත්වයන් දන්නා පුරවැසියෙකි. මේ පරම්පරාව සහ ඉපදීමට සිටින පරම්පරා වෙනුවෙන්, කැප වීමට සූදානම් පුරවැසියෙකි.
දේශපාලනය යනු කීර්තිමත්ම හා වැදගත්ම වෘත්තියයි. සමාජයේ පැතිර පවත්නා බොරුව හා හොරකම හේතුවක් කර ගෙන “දේශපාලනඥයා” නම් වූ පොදු පුරවැසියාගේ චරිතය ඝාතනය නොකළ යුතුය.
දේශපාලනඥයකු හොරකමක් හෝ බොරුවක් කරන අවස්ථාවක ඔහු හෙළා දැකිය යුත්තේ හොරෙකු හෝ බොරුකාරයකු හැටියට මිස දේශපාලනඥයකු හැටියට නොවේ. සීමාන්තික කෑදරකම හැර, කැපී පෙනෙන වෙන කිසිවක් ප්‍රදර්ශනය නොකරන ඔවුන් බොහෝ දෙනෙක් නායක ප්‍රතිරූපකයන්ය. (misleaders) දේශපාලනඥයන් ලෙස වෙස් බැඳගෙන සිටින්නවුන්ය. දේශපාලනඥයකු වීමත්, හොරකම හා බොරුවත් අතර ඍජු සම්බන්ධයක් නොමැත. එකක් අනිකේ අනිවාර්ය පැන නැඟීමක් හෝ ප්‍රතිඵලයක් හෝ නොවේ. එය මෙසේ ද කිව හැකිය. “සියලුම දේශපාලනඥයෝ හොරු නොවෙති, සියලුම හොරු දේශපාලනඥයෝ ද නොවෙති.”
දේශපාලනඥයන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් සකස් කිරීම අත්‍යවශ්‍යව තිබේ. සෑම දේශපාලන පක්‍ෂයක්ම තම පක්‍ෂයේ අපේක්‍ෂකයන් හා නියෝජිතයන් කෙරෙහි බලපාන්නා වූ ආචාර ධර්ම හා වෘත්තීය සාරධර්ම සංග්‍රහයක් සකස් කර ඔවුන් වගකීමට බඳවා ගතයුතුය. එවැනි ආචාර ධර්ම සංග්‍රහයන් මහජනතාවගේ දැනගැනීම සඳහා විවෘත විය යුතුය.
දේශපාලනඥයකු/පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට කිසියම් අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය ද?
දේශපාලනඥයන්ගේ හොර, බොරු, වංචා, දූෂණ සියල්ලට හේතුව අධ්‍යාපන සුදුසුකම් නැති පිරිසක් පාර්ලිමේන්තුවට ගොස් සිටීම යැයි ඇතැමෙක් කියති. මෙය සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි.
අවකල්ක්‍රියා, අධ්‍යාපන සුදුසුකම් අතින් කෙළපැමිණි පුද්ගලයන් අතින් ද සිදු වී තිබේ. ඔවුන් අතින් සිදුවන අවකල්ක්‍රියාවන්හි බරපතළකම වැඩි ය. මහජනයා සතු තැන්පත් මුදල් මංකොල්ල කෑ සමාගම්වල ද, මහජන සම්පත් කොල්ලකෑ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ද, සංවර්ධන ව්‍යාපෘතිවල ද, ඉහළ තනතුරු දරමින් මුදුනේ විරාජමාන වූයේ ඉහළ විභාග සමත් වූ අයයි. මේ ඊනියා අධ්‍යාපනික සුදුසුකම් ලැබූවෝ මහජනයාගේ උකුසු ඇසින් බේරී හොරකම් හා වංචාව නීතිය ඉදිරියට පැමිණවිය නොහැකි ආකාරයේ සැලසුම් සකස් කළහ. එය සමාජමය අපරාධයකි. මේ අවාසනාවන්ත තත්ත්වය “අපේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල උගන්වන්නේ මොනවාද” යන ප්‍රශ්නය අප ඉදිරියේ තබයි.
ඉහත දැක්වූ කරුණුවලින්ද, ඉතාම නිදහසේ ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපන සහතික ලබාගැනීමට ඉඩකඩ ලැබී තිබෙන බැවින්ද, අධ්‍යාපන ක්‍රමයේ සමස්ත පරිහානිය සැලකිල්ලට ගන්නාවිටද, අපට පෙනී යන්නේ අධ්‍යාපන සහතික මිනුම් දණ්ඩක් කරගත යුතු නොවන බවයි. එමෙන්ම, වයසින් කෙනකුගේ අවබෝධ ඥානය හෝ සංජානන කුසලතා හෝ පරිණතභාවය මැනිය නොහැකිය.
මහජනයාගේ හද ගැස්ම තේරුම් ගන්නට හැකි, ඔවුන්ගේ කැමැත්ත ලබාගන්නට ඔවුන් හා ගැවසෙන්නට කැමැති ඕනෑම කෙනකු දේශපාලනඥයකු වීමට සුදුසු ය.
ජනාධිපති ධුරයට, පාර්ලිමේන්තුවට හෝ අන් කවර මහජන සභාවකට (පළාත් සභා/ප්‍රාදේශීය සභා) හෝ පත්විය යුත්තේ රටත් ලෝකයත් ගැන පොදු දැනුමක් හා හැම දෙයක් ගැනම සාමාන්‍ය දැනුමක් (common sense) ඇති, මහජනයා සමග මෙන්ම විශේෂඥ දැනුමැති පුද්ගලයන් සමග ඉවසිලිවන්තව හා සංවේදීව වැඩ කළ හැකි, දේශපාලන පරිචයකින් යුත් තමාගේ හොඳ නම (කීර්තිය) ගැන සැලකිලිමත් වන මිනිසුන් ය.
දේශපාලන පක්‍ෂ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කිරීමේ ශෛලියක් තිබිය යුතු අතර කවර මැතිවරණයකට වුවද අපේක්‍ෂකයන් තෝරාගත යුත්තේ විවෘත තෝරාගැනීමේ ක්‍රමවේදයකිනි. මහජනයාට මැතිවරණයකදී කළ හැක්කේ පක්‍ෂ මගින් ඉදිරිපත් කරන අපේක්‍ෂකයන් අතරින් කෙනකු තෝරාගැනීමයි. මුල්ම තේරීම ඇත්තේ පක්‍ෂයට ය. වරද පටන් ගන්නේ එතැනිණි. නිවැරදි කළ යුත්තේ ද එතැනය. දැන දැනත්, නොනිසි පුද්ගලයකුට නාමයෝජනා දීමට දේශපාලන පක්‍ෂ නායකයන්ට සිදුවන්නේ එම පුද්ගලයා සතු හෝ ඔහුගේ අණසක යටතේ පවතින සල්ලි මලු හෝ චණ්ඩිකම් දිහා බලාගෙන ය. පවත්නා දිස්ත්‍රික්ක හා මනාප ක්‍රමය තිබෙන තාක්, අපේක්‍ෂකයාගේ සල්ලි මල්ල දෙස නොබලා බැරි ය. මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය නොකර, මෙම උගුලෙන් ගැලවෙන්නට බැරි එනිසා ය.
අද දේශපාලනඥයාගේ කාලයෙන් සැලකිය යුතු කොටසක් වැය වන්නේ ප්‍රභූ මහජන සම්බන්ධතා නිලධාරියකුගේ කාර්ය ඉටු කිරීමටයි. බොහෝ දේ කර ගැනීමට “ඉහළ සමාජයේ” දැන හැඳුනුම්කම් අවශ්‍ය වීමත් “සාමාන්‍ය” මිනිසාට ළංවිය හැකි “ඉහළ” සමාජය දන්නා කියන පුද්ගලයා දේශපාලනඥයා වීමත් ඊට හේතුවයි. දේශපාලනඥයා “ඉහළ” සමාජයෙන් පැමිණි කෙනකු වීම නිසා හෝ පසු කලෙක “ඉහළ” සමාජයට නැඟගත් අයකු වීම නිසා මේ රාජකාරිය කිරීමට ඔහුට ආරෝපිත දේශපාලන හැකියාවක් හා ප්‍රාග්ධනයක් ලැබී තිබේ. දේශපාලනඥයාට ඔහුගේ රාජකාරිය කිරීමට කාලය හා ඉඩ ප්‍රස්තාව ලබාදීමටත්, මහජනයා මේ ගැතිබවෙන් මුදා ගැනීමටත්, පුරවැසි ප්‍රඥප්තියට පුළුවන.
මැතිවරණ පිටියේ බල පුළුවන්කාරකම් පෙන්වීමට හා සර්කස් දැක්වීමටත්, මනාප පොරයෙන් ජය ගැනීමටත් විශාල වියදමක් දැරීමට සිදුවී තිබේ. මෙම වියදම් අඩු කරගත හැකි ලෙසට මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකරන තුරු දේශපාලනඥයාට ස්වාධීන වීමට නොහැකිය. දේශපාලන පිටියට පිවිසීමට කැමැති සුදුස්සන් බොහෝ දෙනකුට ඒ සඳහා ඉඩ ලබාගත නොහැකිය.
දේශපාලන තරගකාරුවන්ට සමාජ සුබසාධන කටයුතුවලට විශාල වියදමක් දරන්නට සිදුවී තිබේ. ධනවත් “ප්‍රභූ” දේශපාලනඥයන් සිටි කාලයේ දී ඔවුන්ට මේ වියදම් දරාගත හැකි විය. එහෙත් මෙකල ඒ සමාජ ආර්ථික පදනම වෙනස් වී ඇත. මහා පරිමාණයේ මුදල් දැන් ඇත්තේ ව්‍යාපාරික ප්‍රජාවටය. දේශපාලනඥයා ඔවුන්ගේ හිරකාරයකු බවට පත්වීමට ඉඩ හැරීම බලවත් ඛේදවාචකයකි. මැතිවරණ තරගයේ දිග පළල අඩු කෙරෙන ආසන ක්‍රමයට නැවත ආපසු නොගොස් දේශපාලනඥයාට ස්වාධීන වීමට නොහැකිය.
ආර්. ඒ. ජයවීර
(බොර දියෙන් පෑදි දියට “නව යුගයක පිවිසුම් මඟ ආණ්ඩුක්‍රම වෙනස” අර්ථ ගවේශකයෝ යෝජනා ග්‍රන්ථයෙනි)