Local

වෙනස් නොවන නව සේවා ව්‍යවස්ථාවක් ලංගමයට හඳුන්වා දෙනවා -ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

Tuesday, 09 January 2024 - 8:48 am

එළැඹෙන නිදහස් දිනයට පෙර ආණ්ඩු වෙනස් වුවත් වෙනස් නොවන නව සේවා ව්‍යවස්ථාවක් ලංගමයට හඳුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයට වසර හැට හයක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ජාතික සැමරුම් උත්සවය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මැදවච්චිය ප්‍රාදේශීය වැඩ බිම් පරිශ්‍රයේදී පැවති අවස්ථාවේදීය.

මේ සැමරුම් උත්සවයට සමගාමීව ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට මූලිකත්වය ගත් එවක ප්‍රවාහන ඇමැති මෛත්‍රීපාල සේනානායක මහතා අනුස්මරණය කරමින් මැදවච්චිය ලංගම ප්‍රාදේශීය වැඩපොළ Òමෛත්‍රීපාල සේනානායක ඉංජිනේරුමය නිෂ්පාදන කර්මාන්ත ශාලාවÓ ලෙස නම් කර සමරු ඵලකය නිරාවරණය කිරීම ද ඇමැතිවරයා අතින් සිදු විය.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එවකට අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ජනසතු සේවාවන් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට උරදුන් හිටපු ඇමැති මෛත්‍රීපාල සේනානායක මහතාට ගෞරව පිණිස මෙවර 66 වන ජාතික උත්සවය මැදවච්චිය ප්‍රදේශයේදී සංවිධානය කිරීමට ඇමැතිවරයා විසින් උපදෙස් දී තිබේ.

එහිදී අදහස් දක්වමින් ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මහින්දාගමනයත් සමඟ මෙරට ඉතිහාසයේ ගමන් මඟ වෙනස් වීම ආරම්භ වූයේ ඓතිහාසික රජරට පුරවරයෙන්. එම ඉතිහාසයේ එක් සුවිශේෂී යුගයක් 1956 ආරම්භ වුණා. ඒ වන විට ලෝකයේ වෙළෙඳපොළ ධනවාදී ආර්ථික ක්‍රමය සහ මධ්‍යගත සැලසුම් සමාජවාදී ආර්ථික ක්‍රමය වශයෙන් ප්‍රධාන ආර්ථික ක්‍රම දෙකක් ක්‍රියාත්මක වුණා. ඒ අනුව යමින් බණ්ඩාරනායක පාලන සමයේදී අපේ රට ද ජනසතු සේවා ක්‍රමය ආරම්භ කරමින් පුද්ගලික අංශයට වඩා හොඳ පොදු ජන සේවාවක් දීම ක්‍රියාත්මක කළා. එම යුග මෙහෙවරට අයෝමය නායකත්වයක්‌ දුන් රජරටින් බිහි වූ මෛත්‍රීපාල සේනානායක මහතා ප්‍රවාහන ඇමැතිවරයා ලෙස ඉටු කළ මෙහෙවර අප සැම කෘතගුණ පූර්වකව සිහිපත් කළ යුතුයි. ඒ මහතාට ගෞරවයක්‌ ලෙස මැදවච්චිය වැඩපොළ මෛත්‍රීපාල සේනානායක ඉංජිනේරුමය නිෂ්පාදන කර්මාන්ත ශාලාව ලෙස නම් කර මේ වසරේ අප සතු ප්‍රධානම කර්මාන්ත ශාලාවක් බවට පත්කිරීම සිදු කරනවා.

රාජ්‍ය සේවයේ ඉහළම පළපුරුද්දක්‌ සහිත නිලධාරියකු වන වත්මන් සභාපතිවරයාට මේ ආයතනය යළි ගොඩනැඟීම සඳහා වන වගකීම භාරදී තිබෙනවා. ඒ අනුව දීර්ඝ කාලයක් පැවති ගැටලු රැසකට විසඳුම් සැපයීම මේ යටතේ ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ බඳවා ගැනීම්, උසස් වීම්, මාරුවීම් ආදිය සඳහා නිසි සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට විශාල උත්සාහයක්‌ දැරීමෙන් අනතුරුව තවත් වැඩ කොටස් කිහිපයක් පමණක් ඉතිරිව තිබෙනවා. එයත් සම්පූර්ණ කරමින් එළැඹෙන නිදහස් දිනයට පෙර එම සේවා ව්‍යවස්ථාව හඳුන්වා දීමට අප කටයුතු කරනවා. ඒ අනුව ඇමැතිවරුන්, ආණ්ඩු වෙනස් වුවත් වෙනස් නොවෙන සේවා ව්‍යවස්ථාවක් ජනතාවට දීම අපේ අරමුණයි.

ආයතනයේ සියලු දෙනා ආදර්ශවත් ලෙස වැඩ කටයුතු කිරීමෙන් මේ වසර සමස්ත ලංගම ආදර්ශවත් ආයතනයක් බවට පත් කරගැනීමට කටයුතු කළ යුතුයි. පසුගිය නිදහස් සමරුවට සමගාමීව නව බස් රථ පන්සියයක් සියලුම ඩිපෝවලට දුන් ආකාරයටම මේ වසරේ නව බස් රථ දහසක් ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ලෝකයේ බොහොමයක් දියුණු රටවල් අනුගමනය කරන ආකාරයටම මෙරට පොදු ප්‍රවාහන සේවාවන් සඳහා විදුලි බස් රථ හඳුන්වා දෙන වසර බවට මේ වසර පත් කිරීමට අප කටයුතු කරනවා. කාර්ය මණ්ඩලයෙන් ඉතාමත් අතළොස්සක පිරිසක් සිදු කරන මූල්‍ය වංචා සහ දූෂණ වැළැක්වීමට ඊ ටිකටින් ව්‍යාපෘතිය ඉදිරි මාස කිහිපයේ ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එයින් ලංගමය මේ වසරේ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කිරීමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා. 67 වන සංවත්සරය වන විට වැඩිම ජනතා සේවයක් සලසන රාජ්‍ය ආයතනය බවට ලංගම පත් කිරීමට හැකි වෙනවා.”

සමරු වැඩසටහන යටතේ ආයතනයේ ප්‍රගමනය උදෙසා කැපවූ කාර්ය මණ්ඩල සාමාජිකයන් අගයමින් ‘විශිෂ්ටතා ශක්ති ප්‍රණාම තිළිණ’ පිරිනැමීම ද ඇමැතිවරයා ඇතුළු ආරාධිතයන්ගේ අතින් සිදු කෙරිණි.

සංවත්සර උත්සවය සිහිපත්වනු පිණිස ඇමැතිවරයා විසින් නිෂ්පාදන කර්මාන්ත ශාලා පරිශ්‍රයෙහි පොල් පැළයක් රෝපණය කිරීම ද සිදු විය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම, මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ, මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ, මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන, මන්ත්‍රී එච්. නන්දසේන, හිටපු ඇමැති එච්. බී. සේමසිංහ, හිටපු ඇමැති තිස්ස කරලියද්ද, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහත්වරුන්, ආයතනයේ සේවය කළ හිටපු සභාපතිවරුන් ඇතුළු නිලධාරීහු ද, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීහු ද, කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද මේ වැඩසටහනට එක්ව සිටියහ.

 


Top Stories
wedivistara

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

wedivistara

නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්

wedivistara

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා

wedivistara

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකියි – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි

wedivistara

කෘෂිකර්මාන්තය නවීකරණය කිරිම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

wedivistara

ජනපතිගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

Trending
wedivistara

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි

wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා – ජනපති


NEWS ALERT